ශිහාන් උන්මාදය 2 (ඉස්කෝලේ කාලේ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ශිහාන් උන්මාදය 2 ( අවසාන කොටස )
හැමදාම ශීහාන් ගැන ලියන්නේ කියලා බයින්න එපා හොදේ..මුල් කොටස කියවපු අයට මේක රහ වෙයි.
❤ ශිහාන්ගෙ හමුවීම ❤
එන්ටර් වෙමු කතාවට..එසේමෙසෙ පිස්සුවක් නෙමෙයිනේ ඉතින් මට ඒ කාලේ ශිහාන් ගැන තිබ්බේ..ඒක ගැන ආයේ අමුතුවෙන්ම සදහන් කරන්න ඕනේ නෑ නේ..දැන් ඉතින් සුපර් ස්ටාර් ඉවර වෙච්ච කාලේ,ඒ කාලේ ඉතින් ඒ වැඩසටහන ඉවර වුනාට එකේ ජනප්රියත්වය සැහෙන කාලයක් තිබ්බනේ..මට දැන් ඕනේ ශිහාන්ව කොහොම හරි හම්බවෙන්න..ෆෝන් නම්බර්ස් දෙක තුනක්ම හම්බවුණා එක එකා ගෙනල්ලා දුන්නා ශිහාන්ගෙ කියලා,සිගිති මොලේ වුනාට මිත්රවරුනී මම ඒ නම්බර්ස්වලට කතා කරන්න ගියේ නෑ මොකද ඒ කාලේ හෙන සීන් ගොඩක් ගියානේ ශිහාන් වගේ වෙන එවුන් කතා කරලා..
ඉතින් ඔන්න ඔහොම කාලයක් ඉන්නකොට සිරසෙන් පටන් ගත්තා වැඩසටහනක් සුපර් ස්ටාර්ස්ලා ගෙනල්ලා තෝර ගත්ත 4දෙනෙක් එක්ක වැඩසටහනක් කරන්න මතක ඇති ඔයාලට..ටීවී එකේ දානවා ෆෝන් නම්බර් එකක් ඒකට කතා කරන්න කියලා,ශීහාන්ව ගේන සතිය කිව්වම මම ඉතින් නම්බර් එකට සිය වතාවක් විතර අරන් ඔන්න යාන්තම් දවසක් එහෙන් ආන්සර් කරාම මගේ විස්තර ටික දුන්නා.පහුවෙනිදා ඔන්න ආවා ගෙදරට කෝල් එක මාව තේරිලා කියලා වැඩසටහනට,දෙයියනේ කොච්චර කට්ටියකින්ද මාව දැන් තේරිලා තියෙන්නේ කියලා හිතද්දී මට පට්ට හැපී..දැන් ඉතින් මම ඉන්නේ සිහින ගොඩක මට ශිහාන්ව හම්බවෙනවනේ කියලා..පොඩි අවුලක් දැන් තමා ආවේ අඩේ මම ඉස්කෝලේ යන ළමෙක් නිසා මට ඉස්කෝලේන් අවසර ගන්න ඕනා නේද කියලා හිතුනා,අපේ අම්මා කිව්වේ මැඩම්ගෙන් අහලා යන්න නැත්නම් යවන්නේ නෑමයි කියලා..
අපේ ඉස්කෝලේන් අපිව ටීවී වැඩසටහන් වලට යවන්නේ නෑ එහෙම,දැන් මක්කදැයී කරන්නේ.. මම හිතා ගත්තා මැඩම් බැන්නත් කමක් නෑ මම මැඩම්ගෙන් අහනවා කියලා..ඔන්න ඉතින් මම ගිහිල්ලා ඇහුවා මැඩම්ගෙන් මම යන්නද කියලා දෙවියන්ට ඔප්පු වෙච්චාදෙන් මැඩම් හා කිව්වා..අනේ අම්බෝ මගේ සතුට හීන මාලිගාවක් බැන්දා ඒ ටිකට,ඒත් එක්කම මැඩම් කියාපි “හැබැයි ඇදගෙන යන්න ඕනේ යුනිෆෝම් එක ටයි එක දාලා සුදු සපත්තු දෙක දාලා කොණ්ඩේ තියෙන්නේ පොඩ්ඩක් වුනාට ගොතාගෙන කිව්වා” මගේ හීන මාලිගාව ඕන්න මෙන්න කඩන් වැටෙන්න,වැටෙන්න දෙයක් නෑ මිත්රවරුනී බිදිලම ගියා..ඇයි දෙයියනේ ඒකට කලින් ආපු එවුන් ඔක්කොම ලෝක රූ රැජින තරගෙට යනවා වගේ ඇදුම් අදින්නේ..මම යුනිෆෝම් එක ඇදන් යන්නේ කොහොමද ? මම ඉතින් යාලුවෝ දෙන්නට විස්තරේ කිව්වම උන් දෙන්නත් කියාපි උබ ශිහාන් එක්ක දැනුම මිනුම තරගෙ කරන්න ද යන්න හදන්නේ කියලා..වැඩේ හරි යන්නේ නෑ කියලා දැනගෙන මම පට්ට දුකෙන් අතඇරලා දැම්මා වැඩසටහනට යන එක.
ඔයලා හිතන්නේ මම මගේ හීනේට ගියේ නෑ කියලද? පිස්සු හැදෙන සද කිව්වලූ..කාලයක් ඉන්න කොට මෙන්න අපේ පල්ලියේ සංවර්ධන සමිතියේ සෙට් එක මියුසිකල් ශෝ එකක් ලැස්ති කරලා කියලා ආරංචියක් ආවා ඒකත් එසේ මෙසේ ශෝ එකක් නෙමෙයී සුපර් ස්ටාර්ස්ලා ගෙන්නන්නේ කියලා තමා ආරංචිය ආවේ..දෙන දෙයියෝ ගෙට ගෙනවිත් දෙනවා කියන්නෙ නිකන් ද ? වැඩේ හරි පල්ලියෙන් ලැස්ති කරපු නිසා අපේ තාත්තත් අපි ඔක්කොන්ටම ටිකට් කලින්ම අරන් දුන්නා.දැන් ඉතින් ඔක්කොම හරි ශිහාන්ව දැක්කා වගෙ තමා මනෝපාර ගහගෙනම තමා එ දවස් ටිකේ හිටියේ..දැන් අම්මගෙන් අලුත් ඇදුමක් අරන් ඉල්ලලා පොරේ මම කොහොම හරි ගත්තේ අර ශිහාන් වැඩසටහනක ඇන්දා වගේ සුදු කලිසමයි සුදු ටී එකකුයි.
දෑස පියාගත් කල මට මැවෙන්නේ ඔබේ රුව,වැලිවේරියේ ඉදන් එන්නේ ලස්සන ඔබේ හඩ,ශිහානනේ අමතක නොවේ ලස්සන නුබේ කටහඩ අනේ….කියලා හිතන් කලින් දවසේ නින්දට ගියා.ඔන්න දවස උදා වුනා..නිවාඩු දවසට 10විතර වෙනකන් නිදා ගන්න මම එදා නැගිට්ටා මහ පාන්දරම,නැගිට්ටා කිව්වට නින්ද ගියේ නෑ මිත්රවරුනී..
හවස 5ට පටන් ගන්න තිබ්බ ෂෝ එකට මම උදේ ඉදන් ලැස්තිය අපේ අම්මා ඒ අස්සෙ බයිනවා තෝ එතන පුටු අඩුක් කරන්නද යන්න ලැස්තිය උදේ ඉදන් යන් යන් ගාන්නේ කියලා.වේලාව හරි මම තමා මුලින්ම ලැස්ති වුනේ..මොරටුවට යන්න ඕනේ අපි,මම අර පිටු 400 පින්තූර අලවපු පොතයි(පලවෙනි කොටසේ මේ ගැන මම කිව්වා ) පෑනකුයි අරන් දා ගත්තා බෑග් එකකට. අපේ අම්මා යන අතරමග මට නීතිමාලාව කියනවා..උබ නටන්න බෑ..කැහැගහන්න බෑ ශීහාන්ව දැක්කම,දුවන් එහෙම යන්න එපා ස්ටේජ් එකට ලැජ්ජ කරන්න ලැස්තිවෙන්න එපා ගගා හෙන ටෝක් ගොඩක් දෙනවා.
හෝල් එකක් ඇතුලේ ලැස්ති කරලා තිබ්බේ ෂෝ එක.ටිකට් අරන් අපිව දැන් ඇතුලට දැම්මා,මොකක්ද යකෝ මේකේ තේරුම මට ලගට ගිහින් පොඩ්ඩක් ඒ මනුස්සයා එක්ක කතා කරන්න චාන්ස් එකක් නැතිවෙයිද ඒවා කොහෙද මාත් එක්ක කියලා හිතනකොටම තමා දැක්කේ අපේ තාත්තගෙ හොදම යාලුවෙක් ප්රධාන සංවිධායක වගෙ හිටියේ මම ගිහින් කිව්වා ඒ අංකල්ට මාව පොඩ්ඩක් එක්කන් යන්න කියලා ශිහාන් ලගට..අනේ මේ මනුස්සයටත් සත්ව කරුණාව පහල වෙලා මාව දැන් එක්කන් ගියා පිටිපස්සට මගේ අර තඩි පොතත් අරන් මම යනවා යද්දි අපේ අම්මා මගේ දිහා රවන් වගේබලන් හිටියේ.පිටි පස්සට යද්දී තමා දැක්කෙ ගමේ බලවත් උදවියයී එයාලගේ ළමයිනුයී සේරම ආපු ස්ටාර්ස්ලා වටන් කරන් ඉන්නවා..
ඔන්න මම දැක්කා මගේ සිහින කුමාරයාව ටක ටක ටක ගගා පපුව ගැහෙනවා දණිස් පොල්කටු දෙක එකට වදිනවා…ඒ අස්සෙ කුරුල්ලෝ ඔලුව උඩ පියාඹනවා වගේ දැනෙනවා,වයලීන් එකක් ගහන සද්දෙත් ඇහෙනවා වගේ මම දැන් පුල් හොල්මන් ටික ටික මම දැන් ලගටම ගියා,කුච් කුච් හෝතාහේ එකේ කාජල් ෂාරුක් ලගට ගියා වගේ තමා මාත් දැන් සීන් එකේ..”දෙන්න නංගි පොත” අනේ ඇත්තටම පුදුම නිහතමාන කෙනෙක් වටේ ඉන්න හැමෝත් එක්කම සුහදව කතා කරා..මගෙන් දැන් අහනවා විස්තර නම මොකක්ද ඇහුවා මම නම කිව්වා ඒ අතර මේ මනුස්සයා මගේ පොතේ හැම පිටුවක්ම පෙරලලා බලනවා “මන් ළගවත් නැති පොටෝනේ ඔයා ලග තියෙන්නේ” ඕන් දැන් ශිහාන් කියනවා මට දැන් හෙන හැපී.මොනවද මන්දා ලියලා අත්සන් කරලා දුන්නා පොත..දැන් ඉතින් සමුගැනීම වෙන් වෙන්න දැන් ලගයී වෙන් වෙන්න බෑ දුකයී වගේ තමා..තව කෙල්ලො බලන් ඉන්නේ උන්ගේ වාරේ එනකන් මම ඉතින් සතරවරම් දෙවියන්ගේ පිහිට ලැබෙන්නයී දියුණුවෙන් දියුණුව ලැබෙන්නයී කියලා ආසිරි පතලා ආයේ එන්න හැරුනා..ඒත් ඉතින් පිටි පස්ස බල බලමයි ආවේ..”ඩොන් පටාන් ටකර ඩබාස් කෝ යකෝ මම” සිරාවටම කෝ මම බීම පතබැවිලා නේද ..අඩේ මොකක්ද සිරාවටම වුනේ මටම හිතා ගන්න බෑ.පිටි පස්ස බල බල ආපු නිසා ගලක කකුල පැටලිලා මම බීම.දෙයියනේ ලැජ්ජාව කෝටියයී.ඉස්සරහා හිටපු දෙන්නා තුන්දෙනා දැක්කා සීන් එක මම නැගිට්ට ගමන් බැලුවේ ශීහාන් දැකල ද කියලා,ගිය ආත්මේ ලාවට කරපු පිනකටද කොහෙද ශිහාන් දැක්කේ නෑ වැටිල්ල.මම ලැජ්ජාවෙන්ම අනිත් පැත්තෙන් හෝල් එකට යන්න එලියට බහිද්දී පල්ලියේ තරුණ සමිතියේ කොල්ලො කියනවා ” ආ අද නින්ද යයී නේද, සිහින කුමාරයාව දැක්කා නේද ? මොකද කිව්වේ” අනංමනම් ප්රශ්න ගොඩක් අහනවා,ඒ අස්සේ තව එකෙක් අහපීය “නංගී ඇයි ශිහාන්ව දැකලා කලන්තෙ දැම්මද කියලා” පොල්ලෙන් ගැහුවා වගේ ඔලුවට මුං කොහොමද මං වැටෙනවා දැක්කේ දැන් ඉතින් වසලා හමාරයිනේ.මට ශුවර් මුන් ටික මං වැටෙනවා දැක්කේ නෑ කියලා නිකන් කතාවට කියන්න ඇති කියලා හිතුවේ.ඒත් මූ කියාපී මොකද බන් කලිසමේම දුවිලි නා ගෙනනේ කියලා. හපෝයි එතොකොට තමා දැක්කේ සුදු කලිසමේ හැම තැනම දුවිලි කියලා..මුන් දැන් මේක අල්ලන් මට නෝන්ඩි කරනවා ආ උබ ශිහාන්ව දැකපු ගමන් වැටුණා නේ ගගා..මම ඉතින් කිව්වා “පිස්සු ද අයියේ මම වැටෙනවද එහෙම මොනවා වුනත් ඒ මනුස්සයා අපිට වඩා වැඩිමල් නේ අපි ගුණයහපත් ළමයි නිසා මම ශිහාන්ට දණගහලා වැන්දා කිව්වා” උන් සේරම අදටත් හිතන් ඉන්නේ මම ශිහාන්ට වැන්දා කියලා.
ඕන්න ඔහෝමයි වැටිල්ල වැදිල්ල කරේ මම
මෙතනින් නිමයි ශිහාන් උන්මාද කතා.
-රංගිකා හංසිනි-
ශිහාන් උන්මාදය 1 (ඉස්කෝලේ රස කතා)

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!