කළින් කතාව නොකියවා මෙහි සම්ප්‍රාප්ත වෙච්චි ඈයොන්ට මාගේ සාතිශය සංවේගය. ඒ පැත්තෙත් රවුමක් දාලා මේ කතාවට ගොඩවුණාය කියන්නේ හොද ගණන්. අර අහවල් දේකටවත් නෙවේ ඕං. මේ උදවිය සරණ මනංකර බිළාල අඩවියේ කරක් ගහනවනම් අපේ රටක් වටින සෑර්තුමයි එතුමාගේ ගෝලබාලයින්ගෙයි කතා වස්තුවේ පූර්විකාවට එබිලා බලන්ටම වෙනවා. ඒත් එහෙමකට හදිස්සියක් නෑ ආයුබොවන්ඩ. හීන් සීරුවේ බහිමුකෝ කතාවට.( හා හා පය පැටලෙයි. බලාගෙනයි.)
අපිත් ඉතින් එ ලෙවෙල් පන්තියට ඇවිල්ලත් අවුරුද්දකුත් ගතවුණාය කියමුකෝ. කරවටක් වැඩ කන්දවල්වල එරිලා එරිලා ‘මියෑව්’ කියා ගන්ටවත් පණ නැතිවෙච්චි අපේ බකපඩිකම් සිද්ධාලේප අසමෝදගම් බිව්වාය වගේ කොහෙන් ගියාද දන්නේ නෑ ඕං. ආවඩා ආයුබෝවේවා කියල බෙරේ බැදගත්තත් වැඩැක් ඈ. ගහන්ටත් එපෑය දැන්. කොහොම නමුත් ලෝකෙ දඩම සබ්ජෙක්ට්ටෙක ලෙස විරුදාවලි ලත් පිසික්ස් එක්ක නම් අපේ ජීවිත බෙර පදේ ගැහිල්ල තව තවත් අසීරු වෙලා තනි ඇහැට ඇඩෙන්ට ගත්තා. “අයියෝ මෙයත් එක්ක බෑ අනේ…” මානසිකව වැටිල අපේ දණිස්සත් තුවාල වෙලා හිටිය ඔය අල්ල පනල්ලේ තමයි කස්ටිය වාර්ෂික චාරිකාවට ලකලෑස්ති වෙන්ඩ ගත්තෙ. ආයෙහ් අපිටත් ඉතින් අවුරුදු කිව්වලු. “සුභෙන් සුභම වෙන නැකැත් බලාගෙන… කැවිලි පෙවිලි හැම උයා පිහාගෙන… මුදල් හදල් හෙම එකතු කොරාගෙන… රූං රූං ගා යන්ඩ ලෑස්තිය…” මේ ඇත්තොන්ට කියන්ට අපේ අක්කල සිංදු පවා හදනවා. එදාට බෙරයක්, ඩොලැක්කියක් ගේන්නම්‍ම කියනවා. අඩේ පැදුරු සාජ්ජයක්දැ බොල මේ. ඇස්වහක් කටවහක් නෑ කොයිතරම් තරම් නං උද්‍යෝගිමත් දැරිවියොද අම්මපා. උගන්නන වෙලාවට කුණු කෙල පෙරාගෙන බුදියගෙන නැත්තන් වෙලාවක කෝමා තත්වෙකට පත්වෙන මනෝපාරක් හරි ගහන් ඉන්න අපෙ ඇන්ටිල ටික දැන් ට්‍රිප්පෙක හේතු කාරණා කොට ෆීලින්ග් ඕසම් වෙලා. නැත්තන් මොකෝ ගතියකුත් නෑ නොවැ.
අන්තිමේදි අපි බඩකට උලාගෙන බලන් උන්නු දවස උදාවෙච්චි. කුකුළත් ඩෙඩ් වගේ නිදන් උන්නු උදේ පාන්දර ඔන්න අපෙ සර්යි බයෝ මැඩම් එක්කලයි අපි මාතරට ඔන් ද වේ…”හූ… ඕයේහ් කැකිරි පැලෙන ටිකිරි සිනාවයි හාහ් හා හාහ් හා ඇගෙ ගමන බිමන නාරි ලතාවයි ඕහ් හො ඕහ් හෝ..රපට රපට රපට රපට රපට රපට රප ටප් ටප්..සුරාංගනි සුරාංගනි…” ශෘතිය ගිහින් කැළේ… අපි නම් නෑ සැලේ… උඩැක්කිද ඩොලැක්කිද අදාලම නෑ ආයුබොවන්ඩ අහුවුණු එහෙකට ගගහ අපි දැන් ගිරිය කඩාගෙන කෑ ගහනවා. ආහ් “මියුසික්” හරි දැන් භරත කථක් කථකලී උඩරට පහතරට ඔක්කොම රීමික්ස්. “ලියතඹරා මුදු කුසුමකී ඈ” කිව්වලු. එකෙන්ම අපේ උන් අය සතර පෙර නිමිති අල්ට්‍රා ප්‍රෝ මැක්ස්. මේ එක ගොයියෙක්ටවත් ඔය ලස්සන තැනක් අරහෙ මෙහෙ බලා කියාගන්න අරමුණක් හෙම නෑ ඕං. බස් එකේ යන ගමන් පිස්සුවක් කෙලින්නේ කෙසේද? අපේ පරම සතුට එයමැයි. ඒ හැර අන් කවර විනෝදයක්දැ.
දිගට හරහට හයිවේත් බඩගාල ජයග්‍රාහී ලෙස අපි අවසානෙට ඇවිදිල්ලා. වෙන කොහෙදෑ ඉතින් “මාතර මාතර දකුණු රටේ මාතර ” ඔන්න ඉස් ඉස්සෙලාම අපි හෙල බොදු සිරිතට පන්සලක් වැද පුද ගත්තාය කියමුකෝ. ඔය හරියෙදි අපෙ බස් ටික නවත්තල තියෙද්දි කවුදෝ පින්වතෙක් අපිට ජනේලෙකින් කෙහෙල් ඇවරියක් දීලලු. ආයෙ අපෙ රිලා අක්කල ටිකත් අය කවුද දුන්නෙ කින්ද මන්ද නෑ “මර මර කොටා දමන්නං”කිය කිය කෙහෙල් මරනවා. එකෙක් “අපි අද විස දේවල් කාලත් එක්කන්. මෙව්ව හරි කන එක ඇගට හොදා” කියල සෞඛ්‍යමය උපදේශෙකුත් ලබා දීල දෙක තුන ගිලිනවා කියහල්ලකො. අපිට ඉතින් අහක දාන්ටත් ඇහැකියැ. ඕකෙන් මේකෙන් පස්සෙ අපි ගියා ප්‍රදීපාගාරයක් බලන්ඩ. ඒකෙ මුදුනටම නැගල වටේටම රබර් ඇහැ දාල ලෝකෙ කෙළවරත් බලා කියාගෙන නැවතත් පොළොවට සම්ප්‍රාප්ත වුණා. දවල්ට ඔතෙන්දිම කෑමත් කාල හෙම ඉද්දි අම්මෝ “දිල්තෝ පාගල් හේ” කිව්වලු. පට්ට රස්නෙයි. පෝරණුවෙ දාල වගේ තැම්බෙනවා. ඔන්න බීච් යන්ඩයි සූදානම ඉතින්. ඔය අස්සෙ අපේ මිනිසෙක් කට්ටියගෙන් ට්‍රිප් එකේ අදහස් විමස විමස තමන්ගෙ ප්‍රාණ හා සම වෙච්ච තඩි කැමරා කොටයකුත් උස්සගෙන එහෙට දුවනවා. මෙහෙට දුවනවා. හැම නඩේකම ඉන්නවා වගේ උන්දැ තමා අපේ නඩේට කැමරාශිල්පියා. (අපෙන් එකෙකි ඒ මිනිසා.)ඔය අස්සෙ එකෙක් කෑ ගහපි බීච් යන්ට ෂෝට අදින්නෙ ගවුමට උඩින්ද? යටින්ද? කියල. දැන් ඔබතුමාල,තුමීල හිතුවනම් මුන්දැ එන පොට හොද නෑ කියලා සමාවන්න පොඩි වැරදි වැටහීමක් ආයුබොවන්ඩ. කතාව යන්නෙ ඒ දිසාවට හාත් පසින්ම වෙනස් කේස් එහෙකට.
අපි බීච් යන අතරතුරේ කිසියම්ම හෝ වුවමනාවකට බස් එක පොඩි වෙලාවකට නැවැත්තුවයි කියමුකෝ. ඒ අතරෙ අපෙ කැමරාමන් සහ ෂෝට්මෑන් (වචනයේ පරිසමාප්ත අකාරයෙන්ම මුන්දැ ෂෝට් එකෙකි.) වන්නම් දහ අටක්ම පාහේ නටා අවසානයේ මද විරාමයක් උදෙසා අසුන්ගත වුණාලු. එදා නම් අපි පිටත් වුණේ අහවල් නැකතින්ද කියන්ට දන්නෑ මිත්‍රවරුනි. හැබැයි ඒ නැකත ජනේලෙන් බස් එක අස්සට එක එක විසිකුරුත්තන් පාත් වෙන නැකතක් බැව් නම් කිව මනාය. ඔය නැකතේ ආනුභාවයෙන් අපේ ෂෝටාට යාබද ජනේලයෙන් පාරේ ගිය දකුණෙ කොලුවෙකු විසින් නම්බරයක් විසි කරලාලුය. හම්මේ ඉතින්… ඒකත් ජයසිරි මංගලම්… වේවා ශ්‍රී සුභ මංගලම්… උඩරට මැණිකෙල විත් පහතරට හාමුලා… නියමෙට පෑහෙනව නොවැ.
රිලවට දැලි පිහිය අහුවුණා වගේ. මුලු පන්තියම සෙට් වෙලා දැන් කසුකුසුව. “නම්බරේ දැම්මේ කෝල් කොරන්ට නොවැ අඩේ ගම්මු ගම්මු කෝල්ලෙකක්..” ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒකමතික තීන්දුව එයයි. හරි දැන් කාගේ පෝන් බඩකඩිත්තුවදෑ බොල බිල්ලට දෙන්නේ. ට්‍රිප් ගියා වගේ නෙවේ ගෙදර යන්ටත් එපෑය ඊළගට. ඔය වසවර්තිකම් කරලා ගෙදරින් කෑම සලාකෙ කපල දැම්මොත් හෙම. ම්ම්හ්..නහී නහී… මේක කරන්ඩ බෑ යකඩෝ බය වියත රැක ගන්ඩත් එපෑය කෙල්ලනේ. ඔයි වෙලාවෙ තමයි “අපි වෙනුවෙන් අපි නොව අපි වෙනුවෙන් සෑර්” කියල මතක් වෙන්නෙ. එතුමාගේ ගෝලබාලයින් හට මහත් දාරක ස්නේහනයෙන් යුතු එතුමාට අපේ වචනයක් අහක දාන්ට ඇහැකියැ. ඒත් ලිපිය කියවන මේ ඇත්තොන්ගෙ හිතේ ඇති සර්ගෙන් මොන පෝන් ඉල්ලිල්ලක්දැයි කියල. අන්න එතනයි මිත්‍රවරුනි අපේ ඇදුරුතුමන් වෙනම මලක් වෙන්නෙ.
බලන් ගියාම සර්වත් නරක් කරල තියෙන්නේ අපියි ආයුබොවන්ඩ. හරි දැන් සර්යි මැඩම්වයි එක්කාසු කොරගෙන ළමයි ඔක්කොම වට වෙලා බස් එක අස්සෙ. අපෙ නඩේ කැමරාශිල්පියා තමා දැන් වැඩේට අත ගහන්ට යන්නෙ. අපි කෙටියෙන් උන්දැට කැ.ශි. කියමුකෝ. අම්මෝ සර්ගෙ පෝන් එකෙන් කෝල් අරන් සර්ටත් ගෙදර දොර වැහෙයිද මන්ද. වැඩේටත් කලියෙන් කට ගිහිල්ලා කනේ. ඔන්න නම්බරේ සර්ම ඩයල් කරාය කියමුකෝ. හරියටම වෙලාව අපරභාග හතර පසුවී විනාඩි පනස් පහයි.
සර්: “මං මිස් කෝල් එකක් ගහන්නම්..මට ගනීනේ”
මැඩම් : “රහස් පරීක්ෂක වැඩක් වගේ”
හැක හැක ගාලා අපේ එවුන් දැන් හිනා කනවා. අපිටත් ඉතින් ෆුල් ආතල්. මුළු නඩේම පෝන් එක දිහා කට ඇරගෙන හිකි හිකි ගානවා. ඔහොම පුළුවනැයි බොලේ කෝල් ගන්ට. සර් දොග් ගාලා හැරුණු ගමන්,
සර්: “මේක සේරම වට වෙලානේ”
කැ.ශි : “ඉතින් සර් ඔහොම මිස් කෝල් ගහල
බෑනේහ්”
සර් : “බෑ බෑ මොනව කියයිද දන්නෑනෙ..
අහ් අහ් ගන්නවා ගන්නවා
මං ගන්ටද එක්කො?”
සර්ම කතා කරන්ටද කියලත් අහනවා. එහෙම බෑනේ දෙයියනේ. පෝන් එක ලිස්සලා ඇවිදින් කොහොමහරි අපේ මෑන්ස් අතේ.
කැ.ශි : “හෙලෝ …හෙලෝ..හෙලෝ..ව්..
අනෙහ් ! අනේ ඔයාහ් මට චිට් එකක් දාල
තිබ්බා…..හ්.. හෙලෝව්…
ඒක කියන තාලෙ. කනට මී පැණි වක් කරා වගේ. මරගනන් පරාදයි. අප්පොච්චියේ අපෙ උන්ට දැන් හිනායනව අයෙ මැරෙන්ඩම. කතා කරන්ට එපා ආයුබොවන්ඩ අපෙ මැඩම් අත්පුඩියකුත් ගහල හිනා වුණා කියහල්ලකො. අම්මෝහ්..කොහොමහරි අපේ දකුණෙ පුතාට තේරිලද කොහෙදො මුන් මේක කතා වෙල දෙන වැඩක් කියල. මූ කට් කරානෙ බොලේ. ඒ පාර අපේ අක්කල හූත් කිය කිය හිනා වෙනවා.
දැන් කතාව අවසානයි මිත්‍රවරුනි. නහී නහී මෙන්න බොලේ මෙ උන්දෑ කෝල් කොරනවා. අඩෝ නියමයි.
සර් : “මේන් මට ගන්නවා. දැන් එස් එම් එස් එනවා
මට” සර්ටත් ඉතින් හිනා කටයි.
මැඩම් : “සර්ට ගෙදර නම් යන්ට බැරි වෙයි අද.”
ඒකනම් වෙන්ට බැරි කමකුත් නෑ වගේ.
අයියෝ ආයෙ කට් වෙච්චි. හරි ආයෙත් ගන්නවා අපි. සර්යි අපියි නම් වැඩේ අතාරින්නෙ නම් නෑ දෙයියෝ.
කැ.ශි : හෙලෝහ්…හෙලො ඇයි ඔයා කට්
කරන්නේ ….හෙලෝ…..හ්..
අනේහ් අනේ…
දකුණේ කොළුවා : ඒකනෙ නේහ්…
කැ.ශි. : ඉති ඉතින් ඔයා චිට් එක දාලා ඇයි ඔයා කට්
කරන්නේ…මං ගත්තම…
අනේහ් හොද නෑ …හෙලෝහ්… ඈ…
හෙලෝ..හ්
අනේ ඉතින් ඔවාහ් කට් කරනවනේහ්..මං
ගත්තම..හ්.. දැන් කොහෙ? හෙලෝ..හ්
ඒ කියන්නෙ ඉතින් ඔයා ආන්සර් කරලහ්
කතා කරන්නෙ නෑනේ…මොනාද අප්පා…
අපිටත් දැන් සිග්නල් ඇඩ් එකක වගේ දිගට හරහට සිනා බෝ වෙනවා. එව්වා බෝ වෙලා හුස්මත් හිර වෙන්ඩ එනවා.
අම්මෝ කොළුවා බය වෙලාද කොහෙද. නියම ඉසකුඩිච්චියක් නොවැ සෙට් වුණේ කියලා. ආයෙ නම් ගත්තෙ නෑ ඕං. ගත්තත් ඉතින් සර්ටනෙ සෙට් වෙන්නෙ. අපි නෑ ඕවට.
මේ සිද්ධිය වීඩියෝගත කරපු පින්වතාට පින්සිද්ධ වෙන්ට අපි නාකි වෙලත් තාමත් බල බල හිනා කනවා. දැන් මේ උදවිය මේක අබුද්දස්ස කාලෙනේ කිව්වට වැඩක් නෑ ආයුබොවන්ඩ. පිස්සුවක් කෙලීමේ අරමුණ ඉස්සරහට ආව එකයි සීන් එක. ඔව් ඔව් ඒකත් අපෙ වැරැද්ද..අපෙ වැරැද්ද.. හ්ම් හ්ම්…
ඉතින් කොල්ලනේ..කෙල්ලොන්ට චිට් එකක් දාද්දී පරිස්සමට දාපල්ලා මයෙ අප්පා. කවුදෑ දන්නේ ඒ දැරිවියොත් අපි වගේ අසමජ්ජාතියොද කියල. ඒකත් හරි. එ උන්දැලටත් අපිට වගේ වටිනා කියන ඇදුරුතුමෙකුත් ඉන්නවනම් ඔයැයිලැට බඩුම තමයි
චතුරිකා අබේසේකර