පවන් හා අහිංසා නිවසට පැමිණෙද්දී රාත්රී 7 පසුවී තිබුණි.ඔවුන් සමඟම තවත් පිරිසක් පැමිණ සිටි නිසා ගේට්ටුව විවර කල කමලා බියවුවද ශෙනුල්යා සිටි නිසා එසැනින් ම ඒ බිය ඇගෙන් ඉවත් වූයේ ඉබේමයි.
“අහිංසා බේබි මොකද මේ රෑ වුනේ.මම ඒත් බයෙන් හිටියෙ කරදරයක්වත්ද කියලා.”
“නෑ එහෙම දෙයක් නෙවෙයි කමලා.මේ මගේ යාලුවො ටිකක්.අහිංසයි මල්ලියි අපි සේරමයි ටිකක් ඇවිදින්න ගියා.ඒකයි රෑ වුනේ.”
ශෙනුල්යා ක්ෂණික මතක් වූ බොරුවකින් කමලාගේ හිත හැදීමට සමත් වූවාය.ඇගේ කණ්ඩායම නිලඇඳුමෙන් නොසිටි නිසා එය අවස්ථාවේ හැටියට සාර්ථක වීය.
“හරි අහිංසා ඔයාලා යන්නකො ගේ ඇතුලට.ඔයාගෙ වාහනේ දැන් අපිගාව තියෙන්නෙ.හෙට උදේම මම ඒක එවන්නම්.
අපි යනවා එහෙනම් පරිස්සමින්.ගුඩ් නයිට් අහිංසා.ගුඩ් නයිට් මල්ලී.කමලා,!අහිංසාවයි මල්ලිවයි හොඳට බලාගන්න ඕනි හොඳේ.”
එසේ පවසා ශෙනුල්යා පිරිස සමඟ පිටත් වූවාය.ශෙනුල්යා අවසානයට පැවසූ දේ ගැන කමලා සිටියේ කුතුහලයෙනි.දහවල් සිදුවූ සිදුවීමත් ඊට බලපෑවේය.
දහවල් 2.30 ට පමණ බෙල් එක නාද කරන හඬට කමලා ගේට්ටුව අසලට ගියාය.ගේට්ටුව අසල නවීන මෝටර් රථයක් නවතා තිබුණි.ඒ අසල සිටගෙන සිටියේ ඉහල පැලැන්තියේ කාන්තාවකි.
“කෝ අහිංසා බේබි ඉන්නවද.?”
“නෝනා කවුද?”
කමලා නැවත විමසුවාය.
“මම කවුද කියලා වැඩක් නෑ.අහිංසා ඉන්නවද කියලයි මට දැනගන්න ඕනි.”
ඇගේ හඬ තරමක් වේගවත් විය.
“අහිංසා බේබි ගෙදර නෑ.පණිවිඩයක් තියෙයිනම් කියන්න.මම කියන්නම් අහිංසා බේබිට…”
කමලා පැවසුවේ යටහත් පහත්වයි.
“එනවෙලාවක් කියන්න පුලුවන්ද?කොහේ හරි විශේෂ ගමනක් ද ගියෙ එයා…”
“මම දන්නෑ නෝනා ඒවා ගැන.උදේ ගියෙ. තාම ආවෙ නෑ.වෙලාවක් කියන්න බෑ හරියටම…”
කමලා පැවසූ විට පැමිණ සිටි කාන්තාව ආපසු යාමට ඇගේ මෝටර් රථයේ දොර ඇර මදක් නැවතිණි.
“සමහර විට අහිංසා බේබි ආයි එන එකක් ම නෑ.”
ඇය පැවසුවේ එපමණකි.ඇය තම වාහනයට නැගී එතැනින් නික්ම ගියාය.කමලා දවස පුරා බිය වී සිටියේ ඒ නිසයි.
රාත්රී ආහාරය ගැනීමට අහිංසා හා පවන් කෑම මේසයට පැමිණි පසු මේ සිදුවීම කමලා අහිංසා සමඟ පැවසුවාය.
අහිංසා වික්ෂිප්ත වී බැලුවේ පවන්ගේ මුහුණ දෙසයි.කෑම ගැනීම නතර කල අහිංසා දුරකතනයද රැගෙන කාමරයට ගිය නිසා පවන්ද ඇගේ පසුපසින් කාමරයට ගියේ යම් දෙයක් දැණුනු නිසයි.
“හෙලෝ ශෙනු.වැඩකද ඉන්නෙ.”
“නෑ අහිංසා කියන්න..මොකෝ මේ රෑ…”
“අද කවුරුහරි ගෑනු කෙනෙක් අපේ ගෙදර ඇවිත් ගිහින් තියෙනවා.එයා කියලා කමලා එක්ක මම ආයිත් ගෙදර එනඑකක් නෑ කියලා.මම ගැනමයි විස්තර අහලා තියෙන්නෙ…”
“ඉතින් කමලා විස්තර කියලද?”
“නෑ.මම එයාට කියලා තියෙන්නෙ පිට කිසිම කෙනෙක්ට විස්තර දෙන්න එපා කියලා.එයා මොකුත් කියලා නෑ.
අනික ශෙනූ අද සෙනිත් කියපු දේවල් එක්ක ඔය ගෑනු කෙනා ඒ සෙනිත් කියපු ගෑනු කෙනා වෙන්න ඕනි කියලා මට හිතෙනවා.”
“මටත් හිතුනෙ ඒකමයි අහිංසා.අපි බලමුකො.මම හෙට එන්නම්.සීසීටීවී රෙකෝඩ්ස් බලමු.කවුද කෙනා කියලා.අනිවාර්යෙන් අල්ලගන්න ඕනි එයාව.එයා වෙන්න ඕනි හෙඩ් මේ ගේම් වල.”
අහිංසා ද ශෙනුල්යාගේ කතාවට එකඟ වූවාය.පවන් සිටියේ මේ සියල්ල අසාගෙනයි.
“අක්කෙ ආයිත් ප්රශ්නයක්ද?”
“දැනුයි ප්රශ්න ටික පටන්ගත්තෙ මල්ලි.ඉස්සරහට මොන දේ වුනත් ඔයා මාත් එක්ක ඉන්නවා නේද?”
“ඔයා මොනවද මේ අහන්නෙ.මම ඔයාවෙනුවෙන් ඕනිම දෙයක් කරන්න දෙපාරක් හිතන්නෑ කියලා ඔයා දන්නවනෙ අක්කෙ.ඔයාට කිසිම දෙයක් වෙන්නෑ.මම ඔයා එක්කම ඉන්නවා.”
පවන් පැවසුවේ අහිංසාගේ අත් දෙකෙන් අල්ලා ගෙනමයි.
“මම අද ඔයාව තනියම යැවුවනම් ඔයාට මොනවා වෙයිද අක්කෙ.මම වෙලාවට ඔයා එක්ක බලෙන්හරි ගියෙ.නැත්තම්…..”
” හරි හරි…සොරි පැටියො.මම ආයි එහෙම කරන්නෑ.මම කොහේ ගියත් ඔයාවත් එක්කගෙනමයි යන්නෙ…”
අහිංසා පවන්ගේ කම්මුලක් මිරිකමින් පැවසුවේ සිනාසෙමිනි.
“වෙලාවකට මට මාර පුදුමයි හලෝ..”
“ඇයි ඒ?”
“නෑ ඉතින් මම මේ ගෙදරට ආවෙ සේවකයෙක් විදියට.ඒත් දැන් මම අපේ චූටි නෝනගෙ මල්ලි….”
“හ්ම් ඒකනෙ.ඒ ආපු සේවකයා දැන් මේ අහිංසගෙ ජීවිතේම වෙලා.එයා නැත්තම් මේ අහිංසා මේ ලෝකෙ නෑ.ඔයාව මෙහෙට එවන්න ඇත්තෙ දෙවියො කියල මටනම් හිතෙන්නෙ මල්ලි.”
“මටත් හිතාගන්න බෑ.හරියට හීනයක් වගේ.කාත්කවුරුවත් නැති කොල්ලෙක් සල්ලිකාර නීතිඥ නෝනා කෙනෙක්ගෙ මල්ලි වුනා කිවුවම.”
“බැඳීම් තියෙන්නෙ හදවතෙයි මල්ලි.අපිට ලේ නෑකම් තියෙන අයත් අපිට අමාරුම වෙලාවල් වලදි මගහැරලා යනකොට අඳුරන්නෙවත් නැති අය සහෝදරයො වගේ පිහිට වෙනවා.
මේ ලෝකෙ එහෙමයි.එක ලේ තිබුණත් සමහරුන්ට බෑ කවදාවත් සහෝදරයෙක් වෙන්න.එක ලේ නැතිවුණත් හදවතින් බැඳීම් තියෙනකොට ලේ බැඳීමට වඩා හදවතේ බැඳීම ශක්තිමත්.හරියට ඔයයි මායි වගේ…”
ඒ කතාවට පවන්ගේ දෑස්වල කඳුළු පිරුණේ ඔහුටත් නොදැනිමයි.ඔහු අහිංසාව බදාගත්තේ හිතපුරා තිබූ සහෝදර කම නිසයි.