මෙහෙකාර සහෝදරයා (17 කොටස) mehekara sahodaraya

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ශෙනුල්යා සදෙව්ව හමුවීමෙන් පසු කෙලින්ම ගියේ නිවසටයි.ඇය නිවසට ගොස් නාගෙන පැමිණ රාත්රී ආහාරයත් වේලාසනම ගත්තේ සදෙව්ව හමුවීමෙන් පසු අමුතුම හැඟීමක් ශෙනුල්යාගේ සිතේ දඟ කල නිසයි.
මේ වෙනස ඇගේ මවට වඩා දැනුනේ ඇගේ නංගි සසිත්මාටයි.ඇය බොහෝවිට තම අක්කා සමඟ රණ්ඩුවීමට ප්රියකලාය.
“අම්මා…..අද මෙයාට මොකද වෙලා තියෙන්නෙ.අද හරි අමුතුයි.හිරකාරයෙක්ටවත් හිත ගියාද දන්නෑ…..”
මෙසේ පවසා සසිත්මා සිනහවූයේ කාමරයේ සිටි අක්කාටද ඇසෙන සේය.
“අම්මා…..මෙයා මට එකඑක ඒවා කියනවා.කටවහගෙන ඉන්න කියන්න හොඳේ…. “
ශෙනුල්යා කෑගැසුවේ කාමරයේ සිටමයි.මෙයට අවසානයේ මැදිහත් වන්නේ ඔවුන්ගේ පියා නොව මවයි.
“චූටි දුව… අක්කට ඕන්නැති කතා කියලා ගුටිකන්න එපා…..”
මවගේ විධානයෙන් පසු සසිත්මා නිහඬ වූයේ වෙනදාටද සිදුවන්නේ එයම නිසයි.නමුත් සසිත්මා සතියකට වරක්වත් තම සොයුරියව අවුස්සන්නට එවැනි කතාවක් කීම පුරුද්දක් කරගෙන තිබිණි.
සසිත්මා ශෙනුල්යා මෙන් නොව කටකාර තරුණියකි.ශෙනුල්යා කාමරයේ ඇඳට වී දුරකතනය අතට ගත්තේ ෆේස්බුක් සමාජ ජාලයේ ටිකක්වේලා හෝ සැරිසැරීමටයි.
ඇය ඩේටා ඔන් කර විනාඩි පහක්වත් යාමට මත්තෙන් වට්ස්ඇප් මගින් මැසේජ් එකක් දුරකථනයට ලැබිණි.එය, ඇය ඔන්ලයින් යනතුරු බලා සිට එවූ පණිවිඩයක් ලෙසයි ශෙනුල්යාට එක්වරම සිතුනෙ.
අංකය නොදන්නා එකකි.ඇය ඉක්මනින් පණිවිඩය කියවූයේ එවූකෙනා දැනගැනීමටයි.
“හෙලෝ මැඩම්.කොහොමද ඉතින්.”
දුරකතන තිරයේ එසේ ඉංග්රීසියෙන් එවා තිබුණි.ඒ කවුද කියා එක්වරම ඇයට අදහසක් නොවූනිසා ඇය නැවත පිලිතුරු පණිවිඩයක් යැවුවාය.
“කවුද ඔයා.හැංගිලා සෙල්ලම් කරන්නෙ මොකද?”
ඇගේ පණිවිඩයේ ⁣තරමක කෝපයක් ගැබ්වී තිබිණි.
“අම්මෝ තරහා ගිහින් නෙ පොලිස් නෝනට.අපිට හැංගිලා සෙල්ලම් කරලා තමයි පුරුදු මැඩම්.සොරි කේන්තිගියානම්.මම සදෙව්…”
එවර නම් ශෙනුල්යාගේ මුවට සිනහවක් නැගුණේ ඉබේටමයි.
“ඕ මෙයාද මේ.මොකද සී අයි ඩී ඔ⁣ෆිසර්.නින්ද යන්නෙ නැද්ද.ඇයි මාව මතක් වුනේ…”
“නෑ නෙ.පොලිස් ඔෆිසර්ව දැක්ක වෙලාවෙ ඉඳන් මට කන්නත් බෑ, බොන්නත් බෑ,නින්ද යන්නෙත් නෑ….මොකද මම බලාපොරොත්තු වුන කෙනා වෙනුවට මාව හම්බවෙන්න ආවෙ තරුණ අහිංසක සුරංගනාවියක්නෙ.”
“ඕ හෝ….ලස්සන හැමෝම අහිංසකයි කියලා හිතන්න එපා මිස්ටර්….”
ඔහුට යවන සෑම කෙටි පණිවිඩයක් පාසාම ඇගේ සිත සතුටින් පිරීගියේ ඇයටවත් නොදැනිමයි.දෙදෙනා රාත්රී 11 පසුවන තුරුත් මැසේජ් වලින් කතාකළහ.නමුත් ඍජුවම,හිතේ ඇති ආදරය ඇයට පැවසීමට සදෙව් බිය විය.
ඉන් දින පහකට පමණ පසු ශෙනුල්යා ඩියුටි ඕෆ් වීමට රෑ විය.එදින ඇය ඉතා කාර්ය බහුල දිනයකි.ඒනිසාම රාත්රී 7.30 පමණ ඇගේ මෝටර් රථයෙන් නිවසට යාමට ඇය පිටත් විය.
පොලිස්ථානයෙන් පිටත් වී විනාඩි පහලවකට පමණ පසු හදිසියේ ශෙනුල්යාගේ වාහනය මග නතර වූයේ ඇයට කරකියාගැනීමට දෙයක් නැතිකරමිනි.මාර්ගයේ වාහනද අඩු නිසා මෙන්ම රාත්රිය ද නිසා උදවුවක් ගැනීමටවත් කෙනෙක් අසලකවත් නොවීය.
ඇය කාර්රථයෙන් බැස එලියට වී සිටියේ උදවුවක් ගතහැකි යමෙක් හමුවේ යැයි බලාපොරොත්තුවෙනි.තරුණියක් නිසා අවදානමක් තිබුණත් ඇයට වෙන කල හැක්කක් නොවීය.
තරමක් වේගයෙන් පැමිණි බයික් එකක් ඇය අසල නතර කලේ ඇය තරමක් බියට පත් කරමිනි.මුහුණු ආවරණය නිසා ඒ කවුරුන්දැයි හඳුනාගත නොහැකි විය.ඔහු මුහුණු ආවරණය ගලවා ඉවත් කලේ ඇය බිය වූ බව දැනුණු නිසයි.
“මැඩම් මොකද ප්රශ්නෙ…”
ඔහු ඇගෙන් ඇසුවේ සුහදවයි.ඔහුව දුටු සැනින් ඇයට මහත් අස්වැසිල්ලක් වූයේ ඒ පැමිණ සිටියේ නිසල් නිසාය.
“ඕ නිසල්….පුදුමයි….මට කරදරයක් වෙන හැම වෙලාවකම ඔයා මං ළඟට එනවා නේද.?”
ඇය පැවසුවේ ඔහු යහලුවෙකු මෙන් සලකාය.
ඔහුගේ මුවෙහි වූයේ නිහතමානී සිනහවකි.
“අනේ මන්ද මැඩම් ඒකනම්.මටත් අද ඩියුටි ටිකක් වැඩිපුර වැටුණා.එ්කයි මමත් පරක්කු වුනේ.ඉතින් ඇයි මැඩම් මේ තනියම පාරෙ..?”
“කාර් එක නතර වුනානෙ නිසල්.හදාගන්න විදියකුත් නෑ.මොකද කරන්නෙ කියලා කල්පනා කලේ.”
අනේ සොරි මැඩම්.මමත් මැකෑනික් වැඩනම් දන්නෑ.ඒත් මැඩම් කැමති නම් වාහනෙ මෙතන දාලා මාත් එක්ක යන්න පුලුවන්.මම ගෙදරින් දාගෙන යන්නම් මැඩම්ව.”
“ඒත් නිසල් ඔයා අපේ ගෙවල් පාරෙ නෙවෙයිනෙ යන්නෙ.?”
“අවුලක් නෑ.මම මැඩම්ව මැඩම්ලගෙ ගෙදරින් දාගෙන යන්නම්.මම යන්නෙ බයික් එකේනෙ.අනික මැඩම්ව තනියම දාලා යන්නත් බෑ.
අපිට මැඩම් වුනාට මේ රෑ⁣ට කුඩුකාරයො එහෙම ඉන්නවා,උන්ට මැඩම් තරුණ කෙල්ලෙක්නෙ.තනියම ඉද්දි….අනික යුනිෆෝමුත් නෙවෙයි….”
නිසල්ගේ දක්ෂතා ගැන ශෙනුල්යා පැහැදී සිටියත් ඔහුගේ හිතවත් බව හා මනුස්සකම ගැන ශෙනුල්යා පැහැදුනේ අදයි.
“හරි එහෙනම්.ඔයාට කරදරයක් නැත්නම්….”
“අයියෝ මොන කරදරයක්ද මැඩම්.මට මැඩම්ව මේ රෑ තනියම තියලා යන්න බෑනෙ කීයටවත්.”
යැයි පවසා ඔහු මෝටර් සයිකලයෙන් බැස තරමක් එහායින් වූ වැසීම⁣ට සූදානම් වූ කඩයකට ගියේය.එහි හිමිකරුට ශෙනුල්යාගේ මෝටර් රථය ගැන පවසා යලිත් පැමිණියේය.
මේ නිසල් සමඟ යන ගමන ශෙනුල්යාගේ, පිරිමි පුද්ගලයෙකු සමඟ තනිව යන පලමු අත්දැකීමයි.
නමුත් නිසල් ගැන ඇයට පැහැදීමක් තිබූනිසා රාත්රිය වුවද බියක් නොදැනිණි.
නොසිතූ ලෙස හදිසියේ අකල් වර්ෂාවක් ඇතිවූයේ ගමන යා නොහැකි තරමටම වර්ෂාව දරුණු වෙමිනි.ශෙනුල්යාව තෙමෙන නිසා ඔහු වසා තිබූ කඩයක් අසල මෝටර් සයිකලය නවත්වා දෙදෙනාම එහි අයිනකට ගියේ වර්ෂාවෙන් බේරීමටයි.
⁣”සොරි මැඩම්.මං හින්දා තෙමෙන්නත් වුනා මැඩම්ට.”
“අයියෝ පිස්සු මෙයාට.මොකටද නිසල් සමාව ගන්නෙ.ඔයා වරදක් කලායැ.අනික වැස්සෙවුවෙ ඔයා නෙවෙයිනෙ.”
එසේ පවසා ශෙනුල්යා අහිංසකව සිනාසුනාය.නිසල්ව මිතුරෙකු මෙන් ඇසුරු කිරීමටයි ශෙනුල්යා වැඩියෙන් කැමති වූයේ.
“ඩියුටි වලින් පිටදි ඔයා මට ශෙනුල්යා කියන්න.අනික අපි දෙන්නා එක වයසෙනෙ.මට ඔයා හොඳම යාළුවෙක් වගේ.ඒකයි මම ඔයාව විශ්වාස කරන්නෙත්.”
ශෙනුල්යාගේ වදන්වලින් නිසල් පුදුම විය.නමුත් ඒ වදන්වලට එකඟ වීමට ඔහුට නොහැකිවිය.
“අනේ මැඩම්.මට මැඩම්ට නම කියලා කතාකරන්න බෑ.මම මැඩම් යටතෙ ඉන්න සාමාන්ය නිලධාරියෙක්.මැඩම්ගෙ ඕනිම ප්රශ්නෙකට මම ඉන්නම් මැඩම් එක්ක.හැබැයි නම කියලා කතාකරන්නෙ නම් නෑ.”
ඔහුගේ හඬේ තිබුනේ බියමුසු වූ ගෞරවනීය බවකි.
“ඒක නෙවෙයි නිසල්.ඔයා මගෙ යාලුවගෙ කාර් එක එයාගෙ ගෙදරට ගෙනිහින් දුන්නා නේද.”
“ඔව් මැඩම්.ඇයි?”
“නෑ …අහිංසට කතාකරන්නවත් බැරිවුනා මේ වැඩ හින්දා.කෙල්ල හිතනවද දන්නෑ මං තරහා වෙලා කියලා…”
“නෑ මැඩම් අහිංසා මිස් එහෙම හිතන එකක් නෑ.එයා ගොඩක් හොඳ කෙනෙක්…..”
“ම්…ම්…ඔයා එක දවසයි එහේ ගියෙත්.අහිංසාගැන හොඳට දන්නවා වගේනෙ කතාව.මොකද එයා කිවුවෙ….හිතට ඇල්ලුවද කෙල්ලව….ආ…..”
ශෙනුල්යා පැවසුවේ වර්ෂාව දෙස බලාගෙන සිනාසෙමිනි.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!