උදෑසන ශෙනුල්යා පැමිණ කාරණාව පවන් සමඟද කියූ නිසා ඇය ගියේ සදෙව් හමුවීමට බව ඔහුද දැනගත්තේය.
“මේ හලෝ ඔයාට කවුරුවත් නැද්ද?….”
පවන් අහිංසාගෙන් ඇසුවේ දෙදෙනාම තේබොන වෙලාවෙදියි.
“ඇයි මට ඔයා ඉන්නේ…..”
අහිංසා පිළිතුරු දුන්නේ ගාණක් නැතිවයි.
“එහෙම නෙවෙයි හලෝ.විශේෂ කෙනෙක් එහෙම…”
“මට ඉන්න විශේෂ වැදගත්ම කෙනා ඔයානෙ….”
“අයියෝ එහෙම නෙවෙයි අනේ.බෝයි ෆ්රෙන්ඩ් කෙනෙක්….”
“ආ.මම දන්නවා මෝඩයො ඔයා ඇහුවෙ මොකක්ද කියලා.මම පොඩි එකෙක්යැ.නෑ මට ඉඳලත් නෑ.දැන්ම උවමනාවකුත් නෑ…”
“ඉතින් ඔයාට මේ කාලෙදි ඉන්න එපැයි.ශෙනූ අක්කටත් කෙනෙක් හම්බවුනානෙ…”
“ඇයි ඔයාට මාව වදයක්ද.මට කොල්ලෙක් හොයලා දෙන්න හදන්නෙ ආ….”
“පිස්සුද හලෝ.මම ඔයාට වදයක් වුනොත් මිසක් මට ඔයා වදයක් නෙවෙයි කියලා දන්නවනෙ.”
“දන්නවා පැටියො දන්නවා.අනික මතක තියාගන්න ඔයාව මට කවදාවත් වදයක් වෙන්නෙ නෑ.”
අහිංසා පවන්ගෙ හිසෙන් අල්ලා ඇගේ උරහිස වෙත පාත් කර ටිකක් වෙලා ඔහුගේ හිස අතගෑවේ ආදරයෙනි.පවන්ද අහිංසාගේ උරහිසට හිස තබා බොහෝ වෙලාවක් සිටියේ දැනුනු සෙනෙහස නිසාමයි.
නිවසේ මෙහෙකාර කමලාට මුලින් අහිංසා පැවසුවේ කමලා යැයි නම කියා වුවද පුරුදු ලෙසම පවන් ඇයට ඇමතුවේ කමලා නැන්දේ කියායි.ඒ නිසාම අහිංසාද එසේ ඇයට කතාකිරීමට පුරුදු වූවාය.
කමලා අහිංසාගේ හා පවන්ගේ මේ ආදරය දැක පුදුම වූයේ ජීවිතයට අතරමගින් හමුවූ අයෙකු සහෝදරයකු ලෙස අහිංසා සැලකීමයි.ඇත්තටම ඕනෑම අයෙකු එසේ සිතනු නිසැකය.
මේ අතර ශෙනුල්යා වටපිට බලමින් වෙරලේ රැල්ල දෙසට ගමන්කලේ සදෙව්ව සොයාගැනීමේ බලාපොරොත්තුවෙනි.ඔහු කොයි මොහොතේ හෝ ඇසගැටෙනු ඇතැයි ඇය බලාපොරොත්තු වූවාය.
“ම්…..මිස් කාවද දන්නෑ හොයන්නෙ….”
ඇගේ පිටුපසින් ඇසුණු කටහඬට ඇය ගැස්සී පිටුපස හැරුණාය.සිටියේ ළා නිල් හා තද නිල් පැහැ මිශ්ර අත්දිග ෂර්ට් එකක් වැලමිට තෙක් නවා දිගු කලු ඩෙනිමක් හැඳ ජෙල් ගා හිසකෙස් උඩට පීරා සිටින ඉතාම කඩවසම් සදෙව්වය.
ඇය දෑස් තරමක් විශාල කරගෙන ඔහු දෙස ටිකක් වෙලා බලාසිටියේ ඇසිපියවත් නොගසායි.
“ඇස්වලට වැලි යයි නේද තවටිකක් වෙලා ඔහොම බලාහිටියොත්….”
ඔහු ඇසුවේ සිනාසෙමිනි.ඇය පියවි සිහියට පැමිණියේ ඒ හඬටයි.ඇයට ඒනිසා මදක් ලැජ්ජා සිතී බිම බලාගත්තාය.
“අපි යමුද අර අතන තියෙන බංකුවට…..ඔයා එනකල් හිටගෙන ඉඳලා කකුල් දෙකත් රිදෙනවා….”
සදෙව් එසේ පැවසුවේ විහිලුවට ඇය දෙස බලා සිනාසෙමිනි.
ඇය ලැජ්ජාව නිසා හිසවනා ඔහු සමගින් හෙවණේ වූ බංකුවක් වෙත ගොස් ඉඳගත්තාය.
ශෙනුල්යා බලාසිටියේ ඔහු යමක් පවසන තුරුය.
“ශෙනු මම ඔයාට ආදරෙයි රත්තරං.ඔයාමට කැමතියී නේද.”
ඔහු පැවසුවේ එක්වරම බංකුවෙන් නැගීසිට දෙනෝදාහක් ඉදිරියේ වැලිපොලොවේ එක් දණහිසක් බිමතබා ඇයවෙත දකුණු අතමිට මොලවා දිගුකරමිනි.
“මේ මොකද මේ..”
ශෙනුල්යා පැවසුවේ වෙරලේ සෙනඟද සිටින නිසා වටපිට බලමිනි.
“ඔයාමට කැමතිනම් මගේ අත දිගහැරලා බලන්න පුලුවන්.අකමැතිනම් නැගිටලා යන්න පුලුවන්.මම කවදාවත් ආයි ඔයාට කරදරයක් වෙන්නෑ ශෙනූ….”
ඔහුට ඇගේ සිතෙහිද කැමැත්තක්,ආදරයක් තිබූනිසා මෙන්ම ඔහුට අකමැති වීමට හේතුවක් ඇයට නොතිබූ නිසා ඇය පුදුමයෙන් ඔහුදෙස බලා ඔහුගේ අකුලවා ගෙන තිබූ ඇඟිලි එකින්එක මුදාහැරියාය.
ඔහුගේ අත්ලේ තිබුනේ කුඩා රතුදුඹුරු පැහැ පෙට්ටියකි.බැලූබැල්මටම එය ආභරණ දමාතබන වර්ගයේ එකකි.
ඇය එය අතට ගත්තාය.එහි පියන විවෘත කල පසු ඇගේ දෑස්වලින් කඳුළු ගලාගියේ ඇයටත් නොදැනිමයි.එහි වූයේ රතු මැණික් අල්ලා තිබූ රත්තරන් චේන් එකකි.
ඔහු එය අතට ගෙන ඇගේ ගෙලෙහි පළඳන විට ඇයට දැනුනේ අමුතුම හැඟීමකි.ඇගේ දෑස්වලින් තවමත් කඳුළු ගලායයි.
“ඇයි ඔයා තාම අඬන්නෙ ශෙනූ…..”
“සතුටට රත්තරං සතුටට.මම ඔයාට ආදරෙයි සදෙව්.මං ආදරෙයි….”
ඇය කිවුවේ කඳුළු පිරුණු දෑසින් සදෙව්ගේ දෑස් දෙස බලාගෙනය.
“මම හිතුවෙ නෑ මේ තරම් ලස්සන සුරංගනාවියක් මට කැමති වෙයි කියලා.”
ඔහු පැවසුවේ ඇයව සිනහගැස්සීමටයි.
“මේ දේවදූතයට අකමැති වෙන්න තරම් ඔය කියන සුරංගනාවියට හේතුවක් නෑ”
ඇය පැවසුවේ දෑස්වල කඳුළු පිසදමමිනි.