ශෙනුල්යා බොහෝ වේලාවක් සදෙව්ගේ උරහිස මත හිස තබාගෙන මුහුදේ රළ පැමිණ වෙරලෙදි බිඳී ආපසු යන අයුරු බලාසිටියාය.
“ශෙනූ මොනවද කල්පනා කරන්නෙ.?මොනවාහරි කියන්නකො ඉතින්……”
“මට බයයි සදෙව් මේ වෙරළට එන රැල්ල වගේ මගේ ජීවිතේට ආව ඔයා ආපහු ඈත්වෙලා ඈතටයයිද කියලා….”
එසේ පැවසීමට ශෙනුල්යාට සිතුණත් ඇය එය ගිල ගත්තේ සදෙව්ගේ හිත රිදේවි යැයි සිතාය.
“මොකුත් නෑ සදෙව්…..”
“හ්ම් එහෙමද.ඉන්නකො ටිකක් එහෙනම්…..”
සදෙව් බංකුවෙන් නැගිට තරමක් එහාට ගොස් රැගෙන පැමිණියේ අයිස්ක්රීම් දෙකකි.
මේ කුළුඳුල් ආදරය ගැන දෙදෙනාටම දැනුනු දේ දෙදෙනාම එකිනෙකාට පවසමින් සවස 3 පමණ වනතුරු දෙදෙනා ඒ බංකුවට වී සිටියාය.එතරම් වෙලා සිටියත් දෙදෙනාට දැනුනේ කාලය වෙනදාටත් වඩා වේගයෙන් ගතවී ඇති බවකුයි.
“වෙලාව ඉක්මනට ගිහින් වගේ ශෙනූ.ඔයාට ගෙදර යන්න රෑ වෙනවා.අපියමු දැන්…”
බීච්එකෙන් පිටත් වූ විට ශෙනුල්යාට දැනුණේ කවදාවත් නොදැණුන තරමේ දුකක් මෙන්ම පාලුවකි.එය සදෙව්ටද එසේම දැනුණේ ශෙනුල්යා ඔහුගේද පලමු ආදරය නිසයි.
“ශෙනූ මම එන්නම් ඔයාගෙ පස්සෙන් කිරුලපනටම.”
“අනේ කමක් නෑ සදෙව්.මට තනියම යන්න පුලුවන්.අනික ඔයාට කොල්ලුපිටියට මෙහෙම්ම ගියැහැකිනෙ.”
නමුත් ඔහු තමන් සමඟ පැමිණෙනබව ඇසුණු විට ශෙනුල්යාට දැනුනේ විශාල සතුටක් වුවත් එය සදෙව්ට වෙහෙසකර නිසා ඇය ඒ සතුට සදෙව්ට නොහැඟෙන සේ කතාකලාය.
“කමක් නෑ ලමයො.දැන් ඔයාමගේ නෙ.මගේ ශෙනූව පරිස්සම් කරන්නැතුව මම වෙන කාව පරිස්සම් කරන්නද?”
ශෙනුල්යා සිනහා වී එයටඑකඟ වූවාය.
කිරුලපනට පැමිණි පසු දෙදෙනාගේ කාර් රථ දෙකම නවතා ඒවායින් බැස ගොස් එකිනෙකාව වැළඳගෙන ඇය ඔහුටත්,ඔහු ඇයටත් සමුදුන්නේ යලි ඉක්මනින්ම හමුවීමේ බලාපොරොත්තුවෙනි.
“ගෙදරට ගිය ගමන් කෝල්කරන්න සදෙව්.මම බලන් ඉන්නවා.බුදුසරණයි පරිස්සමින් යන්න.”
මෙසේ පවසන විටත් ඇගේ දෑස්වල කඳුලුය.
“හරි හරි මොකද ඔය කඳුළු.මම යන සතුටටද දන්නෑ නේද?…
ඔහුපැවසුවේ විහිලුවට උවත් එයට ශෙනුල්යාට තරමක් කේන්ති ගියාය.
”මෝඩයා.ඔයාගෙන් දවසකට හරි ඈත්වෙනකොට මට සතුටුයි කියලා හිතෙනවද ආ…මට ඕනි හැමදාම ඔයාලඟටම වෙලා ඔයාගෙ තුරුලට වෙලා ඉන්න සදෙව්.”
“දන්නවා පැටියෝ.ඔයාව මගේ තුරුලට ඉක්මනටම ගන්නවා.බයවෙන්න එපා ශෙනූ…මම ගිය ගමන් කෝල් කරන්නම්.දැන් අඬන්නැතුව ඉන්නකෝ….”
ඔහු ඇගේ හිස අතගෑවේ ආදරයෙනි.සදෙව් කොළඹ දෙසට පිටත් වූයේ ශෙනුල්යා එතැනින් පිටත් වූ පසුවයි.
“ආ මේ එන්නෙ මනමාල කිරිල්ලි.මොකද මොකද අද සද්දෙ නැත්තේ.කවුරුහරි කටවහලා වගේ……”
අහිංසාගේ මෝටර් රථය දීමට ඇගේ නිවසට ගිය විටම ශෙනුල්යාව අහිංසා පිළිගත්තේ එසේ පවසමිනි.ශෙනුල්යා ලැජ්ජාවෙන් බිම බලාගත්තේ අහිංසා විහිළු කරන නිසයි.
“හරි හරි මොකද වුනේ.කොල්ලට කැමැත්ත දුන්නද? කැම්පස් එකේදි ඔයාගෙ පස්සෙන් කොල්ලො කීදෙනෙක් නම් ආවද?කැමති වුනේ නෑනෙ කාටවත්.”
අහිංසා සිනහවෙමින් පවසන විට ශෙනුල්යාද ඈ දෙස බලා සිනාසුනාය.
“අනේ මේ ඔයාගෙ පස්සෙන් ආව එකෙක් එක්කවත් ඔයා යාලු වුණාද.නෑනෙ…”
“හරි හරි ලමයො.ඉඳගන්නකො.මහන්සිත් ඇතිනෙ.”
අහිංසා පැවසුවේ අමුතුවටයි.
“විකාර කියවන්න එපා හරිද.ඔයා හිතන කිසි දෙයක් වුනේ නෑ.සදෙව් එහෙම කෙනෙක් නෙවෙයි.”
“කොල්ලො කොහොමත් කැමැත්ත ගන්න පළවෙනි දවසෙ මොකුත් කරන්නෑ.ඊටපස්සෙනේ…….”
“මේ මට මොනවා හරි හදන් එනවකො.පිස්සු කියවන්නැතුව.තිබහයි බන්…..”
අහිංසා කමලාට බීම එකක් හදන්නට පවසා නැවත පැමිණියාය.
“අහිංසා කෝ මල්ලි?”
“ඔන්න කඩේට ගියා.”
“ඇයි එයා තාම ඔයාගෙ වැඩකාරයද?”
ශෙනුල්යා ඇසුවේ සිනාවෙමිනි.
“මට කඩේකටවත් තනියම යන්න දෙන්නෑ දැන්.කොහෙට ගියත් මගේ පස්සෙන් අපේ ගේට්ටුවෙන් එලියට ගියාට පස්සෙ.”
“ඔයා වාසනාවන්තයි අහිංසා.ඔය තරම්ම බැඳීමක් තියෙන්නෙ එක්කො අක්කයි මල්ලියි අතර නැත්තම් අයියයි නංගියි අතර.ඒකට අපේ එකී එපාවෙනවා වෙලාවකට.මට මොකාක් හරි කියලා අවුස්සනවා.”
“ඒක ඇත්ත ශෙනූ ඔයා දන්නවනෙ පවන් එන්න කලින් මම කොච්චර පාලුවෙන්ද හිටියෙ කියලා.එයා ආවට පස්සෙ හැමදේම වෙනස් වුනා.”
“ආ මේ එන්නෙ පිස්සා……”
“ආ ශෙනූ අක්කත් ඇවිල්ලා.ගොඩක් වෙලා ද ඇවිත්.”
“නෑ හලෝ දැන් පොඩ්ඩක් වෙලා…..අක්කව පරිස්සම් කරගන්න කඩේටවත් යවන්නෑලු නේද?”
“ඔව් මට ඉන්නෙ මෙච්චරයිනෙ.”
පවන් එසේ පවසා අහිංසාගේ හිසට තට්ටුවකුත් දමා එතනින් ගියේය.
“දන්නවද මල්ලි අද මෙයාට බීච්එකේදි මුතු ඇටයක් හම්බවෙලානෙ.මාර හැපි එකේ ඉන්නෙ අද ශෙනූ.”
පවන්ද හයියෙන් සිනාසුන නිසා ශෙනුල්යා අහිංසාගේ අතට අතින් ගැසුවේ ලැජ්ජාවක් දැනුනු නිසයි.
මේ අතර සෙනිත් සේනාධීරගේ මරණයේ පරීක්ෂණ කටයුතු හා ඔහුට විරුද්ධ සාක්ෂි සෙවීම ශෙනුල්යා වෙනුවෙන් සම්පූර්ණයෙන්ම සදෙව් බාරගත්තේය.මරණය සිදුවූයේ ගොඩගම පොලිස් වසමේදී නිසා ශෙනුල්යාට එයට ඍජුව මැදිහත් වීමට නොහැකි වූවාය.
නමුත් එහිදී පවන්ව හසුවේවි යැයි සිතුණු නිසා ඇය බොහෝ විට පරීක්ෂණ කටයුතු ගැන සොයා බැලුවාය.පරීක්ෂණ කටයුතු ජයබාහු සේනාධීර ඇමති තුමා විසින් සී අයි ඩී එකට බාරදුන් නිසා ගොඩගම පොලීසියට පවා එයට අතදැමීමට නොහැකිවිය.
ඒ නිසා සම්පූර්ණ පරීක්ෂණ කටයුතු තිබුණේ සදෙව්ගේ යටතේය.
පවන් ගැන සදෙව්ට ශෙනුල්යා පවසා තිබූ නිසා ඔහුට පැවරූ රාජකාරිය වෙනස් කර සෙවුවේ සෙනිත් සේනාධීර මරණය සාධාරණීකරණය වන සාක්ෂි පමණි.සදෙව්ගේ හමුවීම ශෙනුල්යාට මහත් අස්වැසිල්ලක් වූවාය
ශෙනුල්යාගේ පොලිස්ථානයේ රාජකාරි කරන නිසල්ට පොලිස් පරීක්ෂක තනතුර දක්වා උසස් වීමක් ලැබුණේ මේ අතරයි.දෙපාර්තුමේන්තුව නිසල්ගේ දක්ෂතා සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන තිබුණි.
“My Congratulations Nisal “
ශෙනුල්යා නිසල්ගේ උසස් වීම ගැන දැනගත් මොහොතේ නිසල් අසලටම ගොස් අතට අත දී සුබපැතුවාය.
“තෑන්ක්යූ මැඩම්.”
“දන්නවද නිසල් මට අද ගොඩක් සතුටුයි.ඔයාට මේ පෝස්ට් එක හම්බවුන නිසා….”
“මැඩම් දන්නැති වුනාට මම ගොඩක් දේවල් ඉගෙනගත්තෙ මැඩම්ගෙන්.දැනටත් එහෙමයි.ඉස්සරහටත් එහෙම වෙයි.”
නිසල් පැවසුවේ හදවතින්මයි.නිසල් හා ශෙනුල්යා හිතවත් බව පොලිස් ස්ථානයේ රාජකාරි කරන සියලු පොලිස් නිළධාරීන් දනී.ඒවගේම පොලිස් ස්ථානයේ සිටින ලාබාලම නිළධාරීන් දෙදෙනා ශෙනුල්යා හා නිසල්ය.ඒ නිසා මේ කතාබහ දුටුවද අනික් නිළධාරීන් කිසිවෙක් මෙය වැරදි ලෙස නොසිතූහ.දෙදෙනාම සමවයසේ බව ද ඔවුන් හොඳින් දනී.