අපේ ඉස්කෝලෙ ඇත්තෝ දෙයියනේ කියලා උසස් පෙළ පන්තියටත් ගොඩ වෙලා යන්තං ඇටෙන් පොත්තෙන් එළියට බැස්ස කාලෙක තමා අද කතාවෙ කතා නායක උන්නාන්සෙව හා හා පුරා කියලා අපිට මුලිච්චිවෙන්නේ ඕං. කියමනක් තියෙනවා නොවැ “පතාගෙන ආ හැටියටයි ඔතාගෙන යන්නේ ” කියලා. එලෙසින්ම මෙතුමාගේ පෙර භවයක කරන්නට යෙදුණාවූ කුසලාකුසල කර්මයක ආනුභාවයෙන් මෙන්න මේ කියන්නා වූ ඇදුරුතුමාගේත්, කටහැකර කට්ට කෛරටික වෙට්ට පිත්තල ගෝලබාලයින් වුණු අපි අතරත් මේ දෛවෝපගත හමුවීම සිද්ධ වෙච්චි.
ඉතින් ආයුබොවන්ඩ ඒ කාලෙ ඔය කියන සංක්රාන්ති සමයේ අපේ පන්තියටත් සෙට් වුණේ ඕනම කුප්ප නසරානි ක්රියාවකට නෑ බෑ නොකියා සම්මාදම් වෙන හැත්ත බුරුත්තක්. ඔක්කෝගෙම වගේ මොලේ පොඩි කචල් එකක් තිබ්බේ නෑ කියන්ටමත් බෑ. ඉතින් මේ පප්පලා ටික හිටියෙ විද්යා අංශයේයි කියමුකෝ. ඔයි කාලෙ අපි කොහොමත් පොළොවට අඩි දෙක තුනක් උඩින් තමා ගමන් කරන්නෙ. කෑම දිරවගන්නෙ කොහොමද කියලවත් නොදන්නවා වුණාට ඒ කාලෙම අපිත් ඉතින් “ජීවක වෛද්යතුමා අපය. අප ජීවක වෛද්යතුමාය” කියාලා ස්තෙතස්කෝපයක්ද සිහිනයෙන් ඇග ලා මහත් උදාරම් ලීලාවෙන් සිටින්නාහ. බයෝ කරන ළමයි වශයෙන් ආඩම්බරයෙන් සිටින්නට යැයි විටින් විට හිස් අවකාශයෙන්ද දෝංකාර ඇසෙන්නේය. එසේ නික්මුණු නිර්නාමික හඩට අපද සවන් දී හිස උරස කද ඍජුව තබා නිකට මදක් උස්සා තේජාන්විත ලීලාවෙන් ක්‍රියාවෙහි යෙදුණාහුය.
මෙසේ අප විසින් ඇල්බට් අයින්ස්ටයින් නම් වූ දිව්යරාජයා උදේ දිවා රෑ අදහන කල්හී එතුමාගේ දේව ධර්මය ජනගත කිරීම උදෙසා අප පන්තියට වැඩම කරන්නට නියමිත වූ දේව දූතයා පිළිබඳ තොරතුරු වටින් ගොඩින් සේම විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින්ද ලැබෙමින් පැවතුණේය. අප පාසල් පැමිණියා වුවද දේව දූතයා පේපර් මාර්කින් ගොසිණි. එතුමන් ඉතා සිහින් සේම උස් වූ සිරුරක් ලද්දාලුය. මද සිනා ඇත්තාලුය. ගමන් කරද්දී තමාට පෙර යන්නා වූ සළුපිළි අදින්නාලුය. යමක් බිම තිබී ඇහිදින කල්හී එක් අතෙකින් කමිසය ඉහළින් අල්ලා එය ඇහිදින්නාලුය.
කෝමින් කෝමහරි අපේ ඇදුරුතුමා එනතෙක් එතුමාගේ එකී මෙකී නොකී විස්තර එක්කාසු කොරගෙන අපේ අක්කලා ටික ඔන්න මග බලාන ඉදපි. ඔයින් මෙයින් දවසත් උදාවෙලා එතුමත් සැපත් වුණා. බැලූ බැල්මට අහිංසක මූණැති මෙතුමා නමින් ‘සරණ’ නම් වුණත් එකල සමාජගත වූ මේනියාවක් හේතුවෙන් සර්ට ‘පූසා’ යැයි නමක් දාන්ටත් මේ අක්කා නගෝලා පසුබට වුණේ නම් නෑ ඕං. දැන් කට්ටිය අපේ කාලේ මෙහෙම දේවල් වුණේ නෑ අපෙ හාන්දුරුවනේ කිව්ව්ට වැඩක් නෑ බොලේ අපේ කාලෙ එහෙම වෙලා.කොහොමහරි සර් අපිට ඉගැන්නුවේ පිසික්ස්. කරපු මිනිස්සුන්ට නම් අමුතුවෙන් කියන්ට ඕන්නෑනෙ ඕක එසේ මෙසේ සබ්ජෙක්ට් එකක් නොවෙයිය කියලා.ඒකෙ සනීපෙ අපිට තුන් මාසයක් යන්නටත් මත්තෙන් මනාව වටහාදීල අහසේ හිටිය අපිව පොළොවට ගොඩබැස්සුවෙත් මෙතුමම තමා. අපිට මේ පිසික්ස් කියන මහා කළු වළාකුලේ එකම රිදී රේඛාව ඉතින් සෑර් තමා. කාලච්ඡේදෙ එනකල් බඩකට උලාගෙන බලන් හිටියෙ විෂය ඉගෙන ගැනිල්ලටත් වැඩිය අපිට උගන්නන්ට හිටිය එකම සර් බලා කියා ගන්ටදෝයි කියලා සැකයක් මට නැත්තෙමත් නෑ ආයුබොවන්ඩ.
කොයි කොයි වෙතත් අපෙ නසරානි කෙල්ලො ටිකයි සර්තුමයි ගජ යාළුයි. බෝඩ් කෑල්ලේ ලියන ගමන් වමතෙ බැදි පතරංග ඔරලෝසු කට්ට දකුණතෙන් උඩට කරන පුරුද්දත්, පාඩමක් උගන්නල අන්තිමේට “හරිද හරිද තේරුණාද තේරුණාද ” ඇහිල්ලත්, ළමයින්ගේ සතියක පැමිණීම එක දවසේ ලකුණු කෙරිල්ලත්, මාසයක් පුරාවට ස’ල් උපකරණ පරීක්ෂණය(දන්නෝ දනිති) කිරිල්ලත්, ළමයින්ට ගෑවී නොගෑවී යන ලෙසින් හින්ට් ගැහිල්ලත්, අපි කරපු කියපු මෝඩ වැඩ ගනන් නොගැනිල්ලත් සර්ටම ආවේණික පරම පූජිත ලක්ෂණයන් වුණා. අපිට සර්ව සර් කෙනෙක්ට වඩා පියෙක්, සහෝදරයෙක් ගානටම ලෙන්ගතු වෙන්නෙත් ඔය හින්දම තමා මිත්‍රවරුනි.
දවසක් දා මායි මගෙ අසමජ්ජාති යාළුවො දෙන්නයි පිටිපස්සෙම පෝලිමට වෙලා ඔන්න බර කතාවක. කවදත් අපිට “පිටුපස පෝලිම වෙන්කර ඇත” තමයි. අපි ඉතින් හොද නැති ළමයි නොවැ. කොහොමහරි කතාවටම සමවැදිලා ඉන්නකොට මෙන්න බොලේ ගුවනින් කළු ගුලියක් පාත් වුණා කියහල්ලකො. ආයෙ ඉතින් සතෙක්ද අහවල් මගුලද කියල බල බල හිටියෙ නෑ ඕං පැන්න ගමන් අතට අහුවුණු කොහු කෑල්ල අමෝරාගෙන මං ආයුධ සන්නද්ධ වෙන ඩිංගට මෙන්න යකෝ මගේ අපාය සහයක මිත්‍රයා අර ගුලිය ලෙසටම පාගනවා. අනිත් එකී ස්වරාලෙ ස්වර තන්තු නහුතෙටම කම්පනය කොරගෙන කාගෙත් කන්කළු වෙන ධ්වනි තරංගයක් පිට කරාය කියමුකෝ. දැන් පන්තියම අප දෙස ස්ටෙයාරින්. ගුලිය පෑගිල්ල අවසානයේ ඕං එළඹෙන්නේ මේ කවර වෙඩින් එකක් දැයි සොයා බලන තීරණාත්මක මොහොතයි. බැලින්නම් මේ ප්ලාස්ටික් කැරපොත්තෙක් නොවැ. මූව ගෙනාපු පින්වන්තිය තමයි ඌව අපෙ පොට් එකට වීසික්කා කොරලා තියෙන්නේ.දැන් ඉතින් මුගෙන් වැඩක් ගන්නැතුවත් බෑනේ. නැත්තන් ගෙනාවටත් පාඩුයි නොවැ. ඔන්න ඔයි වෙලේ තමයි පන්තියේ අක්කලගෙ ටියුබ් ලයිට් පත්තු වෙන්නෙ.
එදා කොහොමහරි අපි උසස් පෙළට අත්සන් කොරාපු දවස. හවස් වෙලා සර්තුමාත් වැඩම කරල බමුණුගෙදර, කහටගෙදර මුදියන්සෙලාගේ රටේරාළලාගේ යනුවෙන් මුල සිට නම් අඩ ගහල ඔන්න අත්සන් කරාපි.
ඔයි අල්ල පනල්ලේ අපෙ පන්ති නායිකාව වෙච්චි කටහැකර කැහැටු ෆ්රෙඩා අර කැරපොත්තව පන්ති වාර්තා පොත අස්සෙ ඔබලා ” සර් මේ රෙකෝඩ් බුක් එකේ පොඩි අවුලක් තියේ ” කියල ඕක අපේ සර්තුමා අතට පත් කොරාපි. හරි දැන් පන්තියම සයිලන්ට්. සර්ත් ඉතින් ඇයි මොකක්දැයි කියාලා ඔන්න පෙරලනවා එකින් එක පිටු. අපිත් ඔන්න සර්ව ගිලින්ට වගේ ඇස් ගෙඩි දෙකත් ලොකුකොරාන බලාන ඉදපි. පිටුවක් පෙරලෙන පෙරලෙන ගාණට අපිට ඉතින් උගුර අස්සෙන් හික් ගාල හිනා යන්ටම එනවා. හිනා කදුලුත් ඇස්වලින් එළියට පනින්ට බලාගෙන. ලබ් ඩබ් ලබ් ඩබ් නෙවෙයි දැන් ධාධිං ධිං ධිං ධා දොමිකිට කිට තා කියල පපුවත් ගැහෙනවා. අපිත් ඉතින් කැරපොත්තා සීන්නෙකට එන්ටර් වෙනකන් කෙල හලාගෙන බලාගෙන ඉදපි.
හා හා තාලෙට පිටු පෙරලෙනවා… හිමීට කාලෙ ගෙවෙනවා… අරූට තව ළං වෙනවා… අපි දැන් බලා ඉන්නවා…
හරි වැඩේ පත්තු වුණා. කැරපොතුතුමා සර්තුමාට ෆේස් ටු ෆේස්. සර්ත් මොහොතක් තුෂ්නිම්භූතව බලා ඉදල, බය වෙලා කෑගහල අපි පොඩිවුන්ගෙ බලාපොරොත්තුව මල් ඵල නොගන්වා මේ මොකක්දැයි මේ ෆීලින් එක මූණෙ රුවාගෙන කැරපොත්තට ඇගිල්ලෙන් ගහල අයින් කරන ගමන් “මේ පන්තියේ කුණුවල හැටියට කැරපොත්තෙක් නොහිටියොත් තමා පුදුමේ” කියාපි. “අයියෝ නහී නහී” සෑර් අපේ ෆීලින්ග්ස්වලට හර්ට් කරා. කැකිරි පලන්නම්මය කියල බලාන හිටපු මොහොත බලාන ඉද්දිම සුන්නත්දූලි වෙල ගියා.
තවත් දවසක ඔය වගේ සෑර් උගන්න උගන්න ඉද්දී අල්මාරිය අස්සෙන් ආව මී පැටියෙක් ඩෙස්සෙක උඩින් දිව්වාය කියමුකෝ. ඒක දිහා බිරන්තත්තව බලන් ඉදපු අපි අතරෙ හිටිය මීයෙක් වගේම බට්ටෙක්. මුන්දැ කියාපි ” මීයා හිටියට අවුලක් නෑ පූසත් ඉන්නවනේ”යි කියල. ආයේ එදා නම් බල බල ඉන්ට වෙලාවක් නෑ ආයුබොවන්ඩ කළින් ඉතිරි වෙලා තිබ්බ කැකිරිත් එක්කන් පලාගෙන පලාගෙන ගියා. හම්මේ ඉතින් රිටර්න් එක ගන්ටත් එපෑය පුතේ.
ඒ කොහොම වෙල හරි අපි විභාගේ ලියල අහවර වෙන්ටත් කලියෙන් සර්ට වෙන ඉස්කෝලෙකට මාරුවීමක් ඇවිදිල්ලා. හමුවීම වෙන්වීම ලෝකේ හැටි කිව්වලු. හ්ම්… අන්තිමේදී සර් වෙන්ව යන එක වෙනුවෙන් පොඩි උත්සවයක් පන්තියේ. විද්යා අංසෙ සර්ල මැඩම්ල ඔක්කෝමත් ඇවිදින්. ඔන්න එක එක්කෙනා කතා පවත්වනවා. අපේ එකෙක් කතාව කරගෙන යන ගමන් ” සර් හරියට නිකන් අපිට සහෝදරයෙක් වගේ” කියපු හැටියෙ එකපාරටම ‘හික්’ ගාපි. මේකිට දැන් හිනා ගියා තමයි කියල හිතපු අපිත් හිනාවෙන්නම්මය කියල කටත් උරුක් කොරන් බලන් ඉන්නකොට මෙන්න මූ අඩනවා. හරි දැන් අපිටත් බඩු. අඩන්ට හිටපු මිනිහට ඇහැට ඇන්නා වගේ වැඩක් තමා වුණේ ඕං. සර්ත් මූණ එල්ලගෙන. අවසානෙ අඩල දොඩල සර්ටත් වැදලා පුදලා ශේප් එකේ පාටියට ගෙනත් තිබ්බ කප් කේක්වලින් දුක නිවාගත්තා.
හැබැයි ඉතින් සර් අපෙන් ගැලවුණාය කියලා හිතුවොත් නම් ඔබතුමාලට වෙච්චි ලොකු වැරදීමක්. විභාගත් ඉවර වෙලා සර්ව හොයාගෙන බස් එකක්ම ගියා සැපදුක් බලා කියාගන්ට. ආයෙ ආයෙත් යන්ටමයි ඔන්න අපේ බලාපොරොත්තුව. ගැලවීමක් නෑ පුතේ. පතාගෙන විත් ඔතාගෙන යන හැටි නොවැ.
චතුරිකා අබේසේකර