ඉස්කෝලේ පන්තියේ ඉන්නවට වඩා මං ඉන්නේ වෙන වෙන තැන්වල.. කොටින්ම අවුරුද්ද අවසානේ හදයා හේවත් ගනන් සර් මගෙන් අහපි පුතා අලුතින්ද.. මං දැකලා නැනේ කියලා.. බොකු නැ සාන්ත…
වෙලාවකට සංගීත කාමරේ… කියන්න සංතෝසයි තිබ්බ සර්පිනාවේ ඉදලා සිතාර් එක වෙනකම් ඒ කාලේ ගහන්න පුලුවන්. වෙලාවකට නාට්ය කාමරේ. වෙලාවකට IT කාමරේ. වෙලාවකට කැඩෙට් රුම් එකේ. වෙලාවක හෝල් එකේ. වෙලාවකට…. යකෝ බලන් යද්දි මං පන්තියේ ඉදලම නැනේ…
ඔය කොහේ හිටියත් පාසලේ මං ආසම තැනක් තිබ්බා.. ඒ තමා කැන්ටින් එක.. ඉස්සර ඉස්කෝලේ යද්දි බස් එකේ යන්නයි කන්නයි කියලා රුපියල් 50ක් දුන්නා. බස් එකට 24යි. ඉතුරු ටික කන්න.. ඒමයි කියලා අපි බස් වල ගියාද.. නැ පිංවතුනි නැ… ඒ සල්ලි වලින් නුගේගොඩ සුපර් මාර්කට් එක ලග අයිස්ක්රිම් කඩෙන් 15 අයිස් කාලා 10 සරුවත් බිව්වා.. ඉතිම් මේම වෙලා මදි අපිට…
ආපසු…. ටොපික් එකට….
කොහොම හරි අපේ ඉස්කෝලේ මුලින්ම තිබ්බ කැන්ටින් එක.. හිටපු අය දන්නවා ඇති තිබ්බේ අලුත් බිල්ඩින් එක තියන තැන.. හරියට 10.20 වෙද්දි හිගන්නෝ පේලියක් එතන…
“ඒ මාලු පාන් කැල්ලක් දීපන්..”
“අඩෝ බිම උගුරක් දීපන්…”
“හිස් බීම බෝතලේ මට..”(ඒ කාලේ ඒක දුන්නාම රුපියල් 5ක් දෙනවා… ඔන්න බලපල්ලා අපේ ආර්තිකේ…)
“ඒ පොඩි එකා පාන් කැල්ලක් දීපන්….”
මේ සෙට් එකේ නායකත්වේ හිටියේ කවුද.. වෙන කවුද අප්පා… උත්තුංග දේහදාරි මං තමා….හරියටම හිගන පැලේ නායකයා… උදේ රුපියල් 50ක් ගෙදරින් ඉල්ලන් ඇවිත්… හවසට ගෙදර යන්නේ ඕන එකක් 10 කඩේන් බඩ පැලෙන්න කාලා… අන්න ඒමයි මිත්රවරුනි අපි සල්ලි හොයා ගත්තේ…
අලුත් බිල්ඩින් එක හදන්න මේ කැන්ටින් එක කැඩුනා… ජිවිතේ හෙනහුරා දසාව ලැබුනා.. මොනා කරන්නද… බලමුකෝ කියලා හිටියා.. ඒ අතරේ පිට්ටනියේම පරන විද්යාගාරේ අයින් කරලා එතනට කැන්ටින් එක දැම්මා.. පුදපු තැනම කාපි යකා.. එහා පැත්තේ ගුරු විවේකාගාරය… කොටින්ම පිනා පවා කෑම කන්න එන්නේ එතනට…
මා සහ මගේ හිගන රැල මේකට.. ඒ කියන්නේ අපේ ආර්තිකේ නගා සිටුවන්න කල්පනා කලා… දවස් ගනන්… මාස ගනන්… අන්තිමට නායක තුමා වුනු මගේ මොලේට ආපු ඉටිකිරිස් අයිඩියා එක විරෝදයකින් තොරව එක ගැම්මට ස්ථිර වුනා…
සහෝදර සහෝදරියනි… ඒ තමා බිස්නස් එකක් පටන් ගන්න එක… වෙන මුකුත් නෙමේ.. බීම… එලිපන්ට් හවුස් බීම… හැබැයි පුතෝ කූල් නැ.. කැන්ටින් එකේ තිහයි.. අපි 25ට.. 8ක් මට.. ඉතුරු ටික ගානට හිගන රැලට බෙදිලා යනවා….
හරි දැන් කෝමද බීම ගේන්නේ ඉස්කෝලෙට… හිගන රැලේ උප නායක මගෙන් අහද්දි ඉස්කෝලේ ඉවර වෙනකම් හිටපන් කියලා මං කිව්වා….
තියන පනු ගායට නලිය නලිය ඉස්කෝලේ ඉවර වෙනකම් හිටපු හිගන රැල ලමයි ඉස්කෝලෙන් ගියාට පස්සේ කැන්ටින් එක ගාවට රොක් වුනා…ආයේ මොනාද කැන්ටින් එකත් වහලා… පිනා විතරයි ඉස්කෝලේ… ආහ් සික්කා හිටියා.. මං මිශන් ඉම්පොසිබල් සුබ මොහොතින් ආරම්බ කලා…
පරන විද්යාගාරේ කැන්ටින් එක කියලා මං කිව්වනේ.. එක තිබුනේ පිට්ටනියට අයිනට වෙන්න.. ඒ බිල්ඩින් එකයි තාප්පෙයි මැද්දේ තව තට්ටු 3ක බිල්ඩින් එකක් තිබුනා… ඒ අලුත් විද්යාගාරේ… පරන විද්යාගරේයි අලුත් එකයි අතරේ යන්න පොඩි පාරක් තිබුනා. ඉතුරු සේරටම මල් ගස් වවලා තිබ්බේ… 6 7 පොඩි ඇච්චෝ බැච්චෝ සේරම පිට්ටනිය අපි අයිති කර ගන්න නිසා ක්රිකට් ගහන්නේ මෙතන.. ඒ බෝල් පාරකට කැන්ටින් එකේ පිටි පස්සේ ජනේලයක විදුරුවක් බාගේට කැඩිලා තිබ්බේ.. මං සුබ මොහොතින් එතනින් වැඩ පටන් ගත්තා…
මේ සදහා කලින් ආර්ට් ඩේ එකක සැලසිල්ලකට ගත්ත දිග ලනුවක් සහ දිග PVC බට කැල්ලක් මං ලයින් කරන් තියන් හිටියේ… මුලින්ම ලනු කැල්ල දාලා අබරලා ජනේලේ ලොක් එක ඇරියා.. ඇරලා ජනේලේ තිබ්බ ලොක් එක අඩිරුලක් මාර්ගයෙන් ගැලව්වා.. හරි දැන් මේක ලොක් වෙන්නේ නැ. කවුරු ඇහුවත් ඒම කියන්න පුලුවන් වගේම පේනවා…
දෙවනියට මං කලේ ලනුව දෙපොට ගහලා pVC බටේ ඇතුලට රිංගුවා…එතකොට එලියට එන්න ඕනි යු හැඩයේ ලනු සීන් එකක්. අනිත් පැත්තේ මුලයි අගයි… හදිස්සියට කොරහේ අත දාන්න බැ කිව්වට දෙපාරක් තුන් පාරක් ට්රයි කරලා මං ඒක එහෙම්ම හදා ගත්තා.. දැන් අනිත් එවුන්ගේ හක්කවල් බිම ගැවෙන සයිස් එකේ.. ඇයි අප්පා එසේ මෙසේ මිශන් එකක් නෙමෙයිනේ…
කැන්ටින් එකේ පිටිපස්සේ ඒ කියන්නේ අපි හිටපු හරියේ තිබ්බේ කිරි පැනි ශිතකරනය. ඒක අපිට වැඩක් නැ… ඒකට මැදට වෙන්න තමා බීම කේස් ටික ගහලා තිබ්බේ… ජනේලේ ගහලා තිබ්බ රාමුවෙන් බෝතලයක් එලියට ගන්න පුලුවන් හරියෙන් මං හිමිට බටේ දැම්මා… ආහ් බටේ දැම්මේ අර යූ හැඩේ කොන අතක් දාන්න පුලුවන් තරමට ලොකු කරලා සහ රවුම් කරලා…
පලවෙනි කේස් එක ලගට මං හිමින් බටේ යවලා බොතලේ පියන උඩන් බටේ තිබ්බා. තියලා හිමින් ගස්සලා ඇදපු පාර අර තොන්ඩුව වගේ එක ගානට බෝතලේ බෙල්ල ගානට වැටෙන්න අත ඇරියා.. වැටුනට පස්සේ බටේ හොල්ලන්නේ නැතුව අපේ හිගන්නෙක්ට කිව්වා ලනුවේ දෙපැත්තම හිමින් ඇදපන් කියලා… අදින්න අදින්න ලනුව බෝතලේ හිර වුනා. ඒ තද වෙද්දි මං හිමිට බටේ ඉස්සුවා. උස්සපු පාර ගානට බෝතලේ ටොනික් පියනට ලනුව තද වුනා…හිමින් බටේ උස්සද්දි බෝතලේ ඉස්සුනා. ආයේ මොනාද හිගන කන්ඩායමේ ජය ගෝශා මද්යයේ මං පලවෙනි බෝතලේ එලියට ගත්තා…
මේ විදියටම බෝතල් 15ක් මං ගත්තා. එක එකා සාක්කු වල බොතල් දාගෙන පන්තියට දිව්වා… දුවලා පන්තියේ කොසු තියන චූටි අදුරු කාමරේ ඒවා හැංගුවා… මිශන් ක්ලොස්… ආයේ කට්ටිය එක්ක හිනා වෙවි මං ගෙදර ගියා…
පහුවදා රජ මගුල්… 25×15=රුපියල් 375ක් අතේ.. හැබැයි වික්කේ හොරෙන්.. මාට්ටු වුනොත් නඩුනේ… එදත් ඉස්කෝලේ ඉවර වෙලා අර වගේම ගුලියක් ගහලා බෝතල් 15ක් ඉස්සුවා… ඉතිම් ඊට පස්සේ දවසෙත් ආයේ අහන්න දෙයක් නැනේ…
එදත් ලමයි සේරෝම යනකම් ඉදලා වැඩේට බැස්සා.. දැන් ලනුව අදින්නේ හිගන රැලේ උප නායක. පොර ඉන්නේ මට පිටි පස්සේ… ඇයි බටේ දිග වැඩිනේ..මං බට හිගන්නා… අනිත් සෙට් එකම පිටි පස්සේ… එදත් අරවගේ ජනේලෙන් බෝතල් දෙකක් විතර ගත්තා… අර ගනිද්දි එදා වගේ සද්දේ නැ.. මටත් මොකද මුන්ටත් දැන් මේක පුරුදුයිනේ… මං තුන්වෙනි බෝතලේටත් තොන්ඩුව දැම්මා..
“අඩෝ ඕක ඇදපන්….”
ම්හ් නැ… අරු අදින්නේ නැ. දැන් පිටිපස්සෙන් සද්දයකුත් නැ.
“ඇදපන් ඕයි ඔක….”
ම්හ් නැ… මං දැන් බටේ ගස්ස ගස්ස ඉන්නවා අරු අදින්නේ නැ…
“මේ මොන රෙද්දක්ද……”
කියාගෙන පිටිපස්ස හැරුනා විතරයි කන ගාවින් ඩෝං ගැවා… ඔව් පිටි පස්සේ ඉදලා තියෙන්නේ පිනා.. වානගුරු සර්… එහෙම්මම බටේ මට අතැරුනා.. බටේ බිම.. අනිත් එවුන් මාව පාවලා දීලා කියලද හිතන්නේ. නැ පිංවතුනි.. උන් සේරම බිම දන ගහගෙන…මගේ ටෙක්නික් එක මොකක්ද කියලා තමා පිනා බලන් ඉදලා තියෙන්නේ…
“ගත්ත බීම බෝතල් ටිකත් එක්ක සේරම ඔෆිස්…”
“තෝ බටේ අරන් වරෙන්…”
ආයේ රෙදි නැ සාන්න… කකුල් වේවලනවා. අද නම් සංබුව ශුවර් .. ඔෆිස් එකේ සර්ගේ ඉස්සරහා සේරම දන ගැස්සුවා…..
“තොපිට මේ උවමනාව ඉගෙන ගන්න තිබුනානන්……..”
එතනින් ඉවරයි කියලද හිතුවේ.. නැ හද්ද කුනුහරුපෙන් ජාතිය ඇමතුවා…කරලා අත් දෙකට වේවලෙන් සම්බුව.. ඒත් මට හෙන ප්රශ්නේ වෙනදට පුක පලන පිනා ඇයි අද මේම කියලා…
“මං තොපිලට ගැහුවොත් තොපිලා මට බැන බැන ආයේ මේක මීට වඩා හොදට කරාවි… නැ මං තොපිලට ගහන්නේ නැ… තාක්ශන කුසලතා සංගමයේ නව සබාපති තෝ…(හුටා ඒ මං)තමුසේ ලේකම්..(ඒ හිගන උප නායකයා..)…..”
ආයේ හෝදන්න දෙයක් නැ ඉතුරු එවුන්ටත් ලස්සන පට්ටම් ටිකක් දුන්නා. එකොලහ වසරේ හිටපු අපි නවය වසරේ හිටපු ලමයින්ගේ ටීම් එකේ ලොක්කෝ. විලි ලැජ්ජයි…
“දැන් පලයල්ලා ගෙවල් වල.. ආහ් තමුසෙලාට සල්ලි නැත්තේ යුනිපෝම් ගන්න වෙන්න ඇතිනේ… මේ ටිකත් අරන් පලයල්ලා…”
එකාට සුදු ඇදුම් 3 බැගින් සේරටම.. ගැහුවා නම් මීට වඩා සැපයි…
හැබැයි අද හිතෙනවා ඒ පිනා හේවත් වානගුරු සර් ඒම කලේ නැත්තම් අද අපි හොරු වෙලා කියලා… ජිවිතේ කරපු එකම හොරකම ඒක…
දේශාන් ලකිඳු පෙරේරා
