මේක මම ලියන පළමු පුංචි කතාව…
වසර දහයකට වඩා ගුරු සේවයේ යෙදෙන මම දැනට සේවය කරන පාසලට ඇවිත් දැන් අවුරුදු හතරක්. මගේ පත්වීම් විෂය පසෙක තබා මේ පාසලත් මාව දැක්කෙ ගණිත ගුරුවරියක් ලෙස. මගේ මූනෙවත් ලියවිලා වෙන්න ඇති ඒ විෂය.
කතාවට අදාල පුතා මට හමුවන්නේ 11 පන්තියේදි. වැඩි කතා බහක් නැති ඒත් හොඳින් වැඩ ටික කරන පුතෙක්.
මම කවදත් ගණන් හදන්න කම්මැලි පුතාලගෙ සතුරෙක්…. ඒ කිව්වේ මම එයාල ළගින් හෙල වෙන්නෙ නෑ අදාල ගණන හදන කල්…මේ පුතා කරදරයක් නොකර පාඩුවේ වැඩ නිසා මට වැඩිය ඔහුට කතා කරන්න සිදුවුනේ නෑ…
ඒත් පළමු වාරයේ ලකුණු 60ටත් වඩා අරන් තිබුනු මේ දරුවා දෙවන වාරයේ ලකුණු 30ටත් අඩුයි….
පන්තියේ ලකුණු අඩුවෙන් ගත් අය ඉදිරියටම එද්දී මේ දරුවා අඩු ලකුණු ම ගන්නවා…
දැන් වෙනද වගේ ගණන් හදන්නෙත් නෑ… මම හැමදාම ඔහු ගැන සොයා බැලුවත් කිසිම වැඩක් වුනේ නෑ…. අනිත් විෂයයන් සඳහාද සිදුව තිබුනේ එයමයි…
ශිෂ්ය උපදේශකතුමිය දරුවා සමග කතාබහ කලවිට ඔහු සියලු දේ අනිත්ය වන නිසා ඉගෙන ගෙන වැඩක් නෑ කීවලු…
එක එක කතා ඔහු ගැන ගුරු කාමරේ කෙරෙද්දී ඔහුගේ දෙමාපියන් පාසලට කැඳවුවා… ඔවුන් පැවසූ දෙයින් තමයි කාගෙත් ඉහ මොළ රත් වුනේ….
“ගුරු බවතුන් සහ විදුහල්පති ඔහුව ගනන් ගන්නේ නෑ… ඒ නිසා ඉගෙන ගන්න ආස හිතෙන්නෑ” කියනවලු…
දැන් ඉතිං කවුරු කවුරුත් පන්තියට ගියාම කීපවරක් ඔහුගේ ළගටම ගිහින් කතාබහ කරනව මාත් ඇතුලුව… ඒත් ඔහු නම් වැඩ කරන පාටක් නෑ…
තුන්වන වාර විභාගය කලින්ම තිබ්බා… මේ දරුවගේ ප්රශ්න පත්ර හිස්… ලියල නෑ…. ඇයි කියලා ඇහුවත් පිළිතුරුත් නෑ…
ඒ විභාගය ඉවර වුනාට ආයෙත් සෙමිනා…. එක්තරා විෂයයක් සඳහා සෙමිනාව යන අතරෙ දිවා ආහාර ගෙන දෑත් සෝදමින් සිටින මා දකින්නේ අර පුතා නා ගස යට බංකුවේ දපා තියල තනියම ඉන්න හැඩ…
මම ඔහු දෙසම එක එල්ලේ බලා ඉද්දී ඔහු මා දුටුවා… හිසින් සන් කල පමණින් ඔහු මා දෙසට පැමිණියා…. පුතේ ඔයා ඔතන ඇයි? “මම ඒ විෂයට කැමති නෑ… මැඩම් ට කියල මම එළියට ආවා”….
මගේ උගුරම හිරවුනා… මහා දුකක් දැනුනා… මම ඔහුව මා සිටි ගණිතාගාරය වෙත එක්ක ගියා… ඔහු මට කීකරුයි… මොකුත් හිතා ගන්න බැරිව ඉද්දි මට මතක් වුනේ ඔහු පිළිතුරු නොලියූ ගණිත ප්රශ්න පත්රය…. මම එය රැගෙනවිත් පුතේ ඔයා දැන් මේක කරනවද මම ළග ඉන්නම් කිව්වා… ඔහු පුදුමයෙන් මම දිහා බලල හා කරන්නම් දෙන්න ටීච කියල ඒක අරන් කරන්න ගත්තා… පෑන් පැන්සල් මම සපයා ඔහු එය කරන තුරු මේස කොනේ සිට මගේ වැඩක් කලා….
පැයකට පමණ පසු ඔහු යලිත් එයමා වෙත ලබා දුන්නා… එය හොඳින් බලන විට මට දැනුනේ මහා ලොකු සතුටක්…. ඔහුට පුලුවන් ගනන් ඔක්කොම හදල… ඒවගේම ඒවා සියල්ල නිවැරැදියි… මම ඒ බව ඔහුට පවසද්දි සිනාමුසුව ඔහු පැවසුවේ ටීච කියල දීපු මතකයෙන් කලේ කියලයි…. මට හිතාගන්න බැරි වුනා… මම ඔහුට පැවසුවේ පුතේ ඔයා කැමති ඕනම වෙලාවක මෙතනට ඇවිත් ගනන් හදන්න මම උදවු කරන්නම් කියලයි… ඔහු හිස වනා කැමැත්ත ප්රකාශ කලා… මේවන විට සෙමිනා එක ගිනි අරන් මේ දරුවා හොයනවා… මමයි වරදකරු වුනේ… ඒත් මම සිදුවීම පැහැදිලි කලවිට කවුරුවත් මා කල දෙය අනුමත කලා…
ඉන්පසු දින කීපයක් ඔහු ගණිතාගාරය වෙත පැමිණ ගණිත ගැටලු විසදුවා… මගේ මිතුරන් ඔහු මගේ දරුවා බවට පත් කලා… මම සතුටින් එය පිළිගත්තා…
ඔහුගේ මව මා හමුවී ඇයගේ දුරකතන අංකය ලබාදී නිවාඩු දිනවලද ඔහු අමතන ලෙස ඉල්ලා සිටියා…
සාමාන්ය පෙළ විභාගයට නිවාඩු දෙන දවසේ ඒ පුතා ආවේ නෑ… මම ඔහුගේ මව ඇමතූවිට කීවේ ඔහු වෙනත් දරුවකු සමග පාඩම් කරන බවයි…
විභාගය පැවැත්වූ දින කීපයකදීම මම ඔහුගේ මව ඇමතුවා… ඔහු කතා කලේ නෑ… ඒත් පාඩම් කරනවා… විභාගය ලියනවා… කිවූ නිසා ආයෙත් මම කතා කලේනෑ…
විභාගය නිමවී අනිත් දරුවන් පාසලට ආවත් ඔහු ඇවිත් නෑ….
ප්රතිඵල ඇවිත්…. ඔහු ගණිතයට s සාමාර්ථයක්ද සහිතව උසස් පෙළට සුදුසුකම් සහිතව සමත් වෙලා…. ඔහුගේ මව තමයි හැමට කලින් මට මේ ආරංචිය කිව්වේ…” ටීච පුතා මට වද කරනවා මුලින්ම ටීචට ප්රතිඵල කියන්න කියලා”…. මගේ දෑස් තෙත් වුනේ සතුටට…. A9 ගත් දරුවන්ට වඩා මට මේ දරුවාගේ ප්රතිඵලය මහ මෙරක්…
දැන් ඒ පුතා මේ පාසලේම උසස් පෙළ කරනවා….
ගුරු ජීවිතයට දැන් මම ගොඩක් ආදරෙයි…
උපුටා ගැනීම: Nadeeka Rajapaksha