සුමේරියානු ශිෂ්ටාචාරයටත් බොහෝ කළකට පෙර අත්ලාන්තික් සාගරයේ ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක් පැවති බවත් එහි උච්ඡතම අවස්ථාවේ එය පාරාදීසයක් සමානව පැවති බවත් සඳහන් වේ . එහෙත් පසුකළෙක සිදු වූ ගිනිකඳු විදාරණයකින් මේ මහා ශිෂ්ටාචාරය මුළුමනින්ම වැනසී ගියේය.
ඇටිලැන්ටිස් පිළිබඳ කතාව මුළින්ම පවසා ඇත්තේ ග්‍රීක දාර්ශනික ප්ලේටෝ විසිනි. එහෙත් ප්ලේටෝව කොතරම් දුරට විශ්වාස කළ හැකිද? මේ බොහෝ දෙනා අසන ප්‍රශ්නයයි. සියල්ලටම පසු ඇට්ලැන්ටිස් අතුරුදන් වූයේ කොහේද? අපට එ් ගැන ඓතිහාසික සාධක හමු නොවන්නේ මන්ද? එසේත් නැතිනම් ප්ලේටෝගේ කතාව හුදු ප්‍රබන්ධයක්ද?
සැබෑවක්ද නැතිනම් ප්‍රබන්ධයක්ද? මිත්‍යාවක්ද නැතිනම් යථාර්ථයක්ද? පර්යේෂකයන් බොහෝ දෙනකු තුළ නිරායාසයෙන් මතු වූ ප්‍රශ්න මේවාය. එහෙත් තවමත් සත්‍යය ඇත්තේ සැඟවෙමිනි. අප්‍රකාශිතවය.
මෙය සැබැවින්ම සුරංගනා කතාවක් වැනිය.
ඒ මීට වසර 3500කට පෙර යුගයයි. ග්‍රීස්මයේ තුනී මීදුම් සහිත දිගු දිනයේ අවසානයට එළඹෙමින් තිබුණි. හිරු කිරණින් කුඩා දූපත් දිලිසෙමින් තිබිණි. දූපත්වල දර්ශනය විස්තර කළ නොහැකි තරමට අලංකාර විය. හිරු රැසින් ගිනි කන්ද කැපී පෙනෙන විට එහි අලංකාරය තවතවත් ඉස්මතු විය. පටු මාවත් ජනයාගෙන් පිරී පැවතිණි. කාන්තාවෝ පියකරු සන්ධ්‍යාවේ අසිරිය විඳිමින් සිටියහ. ඔවුහු අල්ලාපයේ යෙදෙමින් සහ සිනාසෙමින් සිටියහ.සන්ධ්‍යාව ගෙවී ගියේය. රාත්‍රිය එළඹිණි. ඒ සමඟම සාමකාමී , සන්සුන් වායුගෝලය රළු විය. ප්‍රචණ්ඩ විය. මුහුදේ පැහැය වෙනස් විය. පොළොව තුළින් ගර්ජන හඬ නැඟී ආවේය. දූපත් වැසියෝ කලබල වූහ. අඩි 5000ක් උස ගිනිකන්ද පුපුරා යතැයි ඔවුහු සිතූහ. ප්‍රචණ්ඩ බලයන් පාලනය කරන දෙවියන් තම දීර්ඝ නිද්‍රාවෙන් අවදිව ඇතැයි ඔවුහු සිතූහ. අත්ලාන්තික් ජනයා හුදෙක් මේ ආකාරයෙන් සිතන්නට ඇත. මේ සියලු සලකුණු මහා විනාශයක පෙර නිමිත්තක් බව ඔවුහු නොදැන සිටියහ.
අඳුරු දුමාරය ප්‍රථමයෙන් මුළු නගරයම වසා ගත්තේය. ඉන්පසු රත් වූ පාෂාණ ප්‍රහාරය එල්ල විය. ඊට පසුපසින් ආ අළු දුමාරය වේගයෙන් පහළට ඇද වැටිණි. මහා පිපිරුමක් ඇතිවිය. දැවැන්ත ගිනි කන්ද විදාරණය වීමෙන් සැතපුම් 37ක ආවාටයක් නිර්මාණය විය. මේ අවකාශය තුළට මුහුදු ජලය පිරී ගිය අතර අවසානයේ මහා ශිෂ්ටාචාරය සලකුණක් හෝ නොතබා අතුරුදන් වී ගියේය.
විද්‍යාඥයන් සහ භූ කම්පනවේදීන් මේ විනාශය දකින්නේ ඒ අයුරිනුයි. ඔවුන්ට අනුව විනාශයේ ප්‍රබලත්වය පරමාණු බෝම්බ 500-1000 අතර ප්‍රමාණයකට සමානය. ඔවුන් පවසන්නේ ඒජියන් මුහුදට ඇද වැටුණු කළු පැහැති අළු හේතුවෙන් මුළු ප්‍රදේශයම අඳුරේ ගිලී යන්නට ඇති බවයි. දූපතේ ශේෂ වූ කොටස්වලින් එම අළුවල අවශේෂ හමුවන අතර පැරණි ග්‍රීකයෝ ඒවා කැලිස්ටි යනුවෙන් හැඳින්වූහ.
ඉතිහාසඥයන් හා භූ විද්‍යාඥයන් විසින් ඇති කළ ප්‍රහේලිකාව විසඳීම සඳහා ඇති එකම අංශුව මේ කැලිස්ටි බව විද්‍යාඥයන්ගේ විශ්වාසයයි.
ප්ලේටෝට අනුව අත්ලන්තිසය පාරාදීසයකි. හරිත තැනිතලා සහ අලංකාර කඳුකරයෙන් යුත් එය විශාල දූපතක් විය. මෙම දූපත තුළ විවිධ සතුන්, අලින් පවා සිටි බවත් පලතුරු උද්‍යාන පැවති බවත් සඳහන් වේ. වටිනා ලෝහ, තඹ ලෝහ සහ ඔරිචැල්කම්වලින් දූපත පොහොසත් විය. (ඔරිචැල්කම් යනු ප්ලෝටෝ විසින් විස්තර කරන ලද ලෝහයකි. මෙය පැරණි අත්ලන්තික් නගරය විස්තර කිරීමේ දී බහුලව යොදා ගෙන ඇති අතර පැරණි ග්‍රීක රෝම ලියවිලි වලද මෙම ලෝහය ගැන සඳහන් වේ. එහෙත් මෙය පෘථිවියේ හමුවන ලෝහයක් නොව රන් හා තඹ වල මිශ්‍රණයක් විය හැකි බවට මතයක් පවතී. )
නගරය කලාප පහක් ලෙස සැකසී තිබිණි. නියම කේන්ද්‍රික චක්‍රයක් ලෙස මේවා ඉදිකර තිබිණි. වරායන් සහ ඇල මාර්ගයන්ද සහිත විය.
නගරය තුළ විශාල මාලිගයක් සහ දේවස්ථානයක් පැවති බවද ප්ලේටෝ සඳහන් කරයි. මේවා රන් සහ රිදී වලින් ආවරණය කර තිබූ බව පැවසෙයි. දේවස්ථානයේ ඇතුළත ඇත් දළ වලින් නිමවා තිබූ අතර බිත්ති කුලුනු සහ ගෙබිම ඔරිචැල්කම්වලින් ආවරණය කර තිබිණි. දෙවියන්ගෙ ප්‍රතිමාව රනින් නිමකර තිබිණි. මේ දෙවියන් පියාපත් සහිත් අශ්වයන් සය දෙනෙකු යෙදූ අශ්ව රථයක් මත සිටගෙන සිටි අතර ඔහු මුහුදට සහ පොළොවේ කම්පනයන්ට අධිපති දෙවියන් ලෙස සැලකිණි. වැසියන් වන්දනා කළේ මේ දෙවියන්ය.
ප්ලේටෝ මානව ස්වභාවය පිළිබඳ විශාල විනිශ්චයක්ද කර තිබේ. ඔහු ඒ පිළිබඳ මෙසේ විස්තර කරයි. “”දිව්‍යමය කොටස වියැකී යාමට පටන් ගනිත්ම මානව සමාජය තෘෂ්ණාවෙන් සහ අධාර්මික බලයන්ගෙන් පිරී යන්නට විය.” අත්ලාන්තික්වරු යුද ජයග්‍රහණ වෙනුවෙන් නැව් නැංගාහ. අවට ප්‍රදේශවලින් බොහෝමයක් ඔවුන්ට යටත් කර ගැනීමට හැකි විය. ඔවුන්ගේ බලයට එරෙහිව සාර්ථකව නැගී සිටීමට හැකි වූයේ ඇතන්ස් නගරයට පමණි. එහෙත් ඒ පරාජය අත්ලාන්තිකවරුන්ට පාඩමක් ඉගැන්වීමට ප්‍රමාණවත් නොවීය. ආත්ම ධෛර්යය වියැකී ගිය පසු දෙවියන් පවා අත්ලන්තික්වරුන්ට එරෙහි වූ අතර භූමි කම්පා සහ ගිනිකඳු විදාරණයන් කීපයකින් ඔවුන්ට දඬුවම් දීමට කටයුතු කළේය. එය ප්ලේටෝ මෙසේ විස්තර කරයි. “එහි ප්‍රචණ්ඩ භුමිකම්පා සහ ගංවරතුර හට ගැනීමෙන් පසු,එක් දිනක සහ අවසනාවන්ත රාත්‍රියක අත්ලාන්තික් දූපත ගැඹුරු මුහුදේ අතුරුදන්ව ගියේය.
ප්ලේටෝට අනුව මෙය සිදු වී ඇත්තේ වසර 12000කට පමණ පෙර ජිබ්‍රෝල්ටා සමුද්‍ර සන්ධියේදීය. මෙතැන් සිට අත්ලාන්තික් පිළිබඳ මතභේද ඇරඹිණි. ප්ලේටෝගේ කතාව සත්‍යයක්ද නැද්ද යනුවෙන් ඉතිහාසඥයන් විමසීමට පටන් ගත්හ. එසේම එය එසේනම් ඔහුට එසේ ලියන්නට ඇති කරුණු මොනවාද?
ප්ලේටෝගේ කතාව පරම්පරාවෙන් පරම්පරාවට ගලාගෙන ගියේය. ප්ලොටෝගේ කතාවේ ප්‍රධාන මූලාශ්‍රය වූයේ ඔහුගේ බෑණා වූ ක්‍රිටියස්ය. තමාට මේ කතාව අසන්නට ලැබුණේ තම සීයා වූ ඩ්‍රොපිටස්ගෙන් බව ක්‍රිටියස් ප්‍රකාශ කළේය. එසේම පසුකලෙක එය සොලාන් වෙතින්ද අසන්නට ලැබිණි. සද්භාවය පිළිබඳ ප්‍රකටව සිටි සොලාන් එකල සිටි බුද්ධිමත්ම නීති සම්පාදකයන් අතුරින් අයෙක් ලෙසත්, ග්‍රීසියේ සෘෂිවරුන් සත් දෙනාගෙන් එක් අයකු ලෙසත් සැලකිණි. සොලාන් ජීවත් වූයේ ක්‍රි.පූ. 640-558 කාලයේය. ප්ලේටෝ ඒ කතාව ලියා තැබුවේ ඊට ශතවර්ෂ දෙකකට පසුවය.
තම කතාව නියම එක නොවන බව සොලාන්ම පැවසුවේය. ඔහු එය අසා තිබුණේ ඊජිප්තු පූජකවරයකුගෙනි. කතාවෙන් සොලාන් බෙහෙවින් පුදුමයට පත් වූ අතර ඔහු එය ග්‍රීක කාව්‍යයකට පරිවර්තනය කළේය.
මේ අනුව ඊජිප්තුවාසීන්ද අත්ලන්තික් පිළිබඳ දැන සිටි බව පෙනී ගියේය. එසේත් නැතිනම් සමහරවිට මේ දෙපිරිස අතර වෙළෙඳ සම්බන්ධතා තිබෙන්නට ඇත.
කෙසේවෙතත්, ප්ලේටෝගේ විස්තරය ප්‍රශ්නගත වන තරමට එය ඓතිහාසික වනවාට වඩා දාර්ශනික වන්නට විය. ප්ලේටෝගේ ශිෂ්‍ය ඇරිස්ටෝටල් විශ්වාස කළේ එහි කව්‍යමය ප්‍රබන්ධයක්ට වඩා දෙයක් නොමැති බවයි. උගතුන් බොහෝ දෙනෙක් ඇරිස්ටෝටල්ගේ මතය සනාථ කරති.
එහෙත් සමහර උගතුන් කතාවේ සද්භාවය පිළිබඳ විශ්වාස කරති. ක්‍රැන්ටර් (ක්‍රි.පූ.300) යනු ප්ලේටෝගේ වැඩ පිළිබඳ මුල්ම අටුවාචාරියාය. මෙම සිදුවීම සත්‍යයක් යැයි ඔහු විශ්වාස කළේය. දැමුණු ඉන්ද්‍රිය සහිත දාර්ශනිකයකු වූ පොසිඩෝනියස් (ක්‍රි.පූ.135- 50) පවා එය මනඃකල්පිතයක් යැයි විශ්වාස කිරීම ප්‍රතික්ෂේප කළේය.
සියවස් 23ක් ගතවීමෙන් පසුවත්, එය සත්‍යයක්ද, නැතිනම් ප්‍රබන්ධයක්ද යනු මතභේදය හොල්මන් කරමින් තිබේ. තත්ත්‍වයෙන් ප්‍රයෝජන ගත් බොහෝ දෙනෙක් අසාමාන්‍ය කතා ගෙතීමට පටන් ගත්හ.
ප්ලෝටෝගේ විශ්වාසය වූයේ අත්ලන්තික් නගරය අත්ලන්තික් සාගරයේම තිබූ බවයි. මෙය බරපතල ගවේෂණවලට මඟ පාදන්නක් වූ අතර ඉතිහාසඥයන් කලෙක සාගරයක් මැද පැවති මහද්වීපයක් හඳුනාගැනීමට සමත් විය. ඉතිහාසඥයන්ට අනුව ඇසෝර් , කේප්වර්ඩ් දූපත් , කැනරීස් සහ මෙදේරියාව යනු අත්ලන්තික් වල පැවති කඳු මුදුන්ය.
පරිකල්පනයෙන් බැහැර වූ 15 වැනි සියවසේ සිතියම් විද්‍යාඥයෝ අත්ලන්තික් ලෝක සිතියටම ඇතුළත් කළහ. අමෙරිකාව සොයාගත් විට අත්ලන්තික් පොළොවෙන් මතුවී යැයි සිතූහ. ක්‍රමයෙන් අභිරහස් දූපත පිළිබඳ උනන්දුව 19වැනි සියවසේදී විද්‍යාවට උපත ලබා දුන්නේය. එය අත්ලන්තික විද්‍යාව ලෙසින් හැඳින්විණි. අත්ලන්තික් විද්‍යාවේ කැපීපෙනෙන සාමාජිකයකු වූයේ අමෙරිකානු දේශපාලනඥයකු හා එක්සත් ජනපද කොංග්‍රස් සාමාජිකයකු වූ ඉග්නේෂියස් ඩොනෙලිය. ඔහු අත්ලාන්තික – The Antediluvian World යනුවෙන් පොතක් ලිව්වේය. එය අලෙවි වාර්තා තැබූ පොතක් බවට පත්විය.
මෙහිදී ප්‍රාග් කොලොම්බියානු ශිෂ්ටාචාරයන් සහ පැරණි ඊජිප්තු සභ්‍යත්වයන් අතර යම් සංසන්දනයක් සොයා ගැනීමට ඔහුට හැකිවිය. ඔහු පිරමීඩ, මමි හා 365 දින කැලැන්ඩරය වර්ධනය කිරීමේ කලාවෙන් උදාහරණ ලබා දුන්නේය. ඒ ශිෂ්ටාචාර දෙකම එකම මූලයකින් පැවත එන බව ඔහු අවධාරණය කළේය. ඒ මූලය අත්ලන්තික් ය. එහි විනාශයෙන් පසු ශිෂ්ටාචාර දෙකම වෙනස් මඟක් ඔස්සේ වර්ධනය විය.
ඩොනෙලි පුරාවිද්‍යාවේත්, මිත්‍යා කතාවල සහ මානව වංශ විද්‍යා භූ විද්‍යාව සහ උද්භිද විද්‍යාය යන විෂයයන්ගෙන් උදව් පැතුවේය. ඔහු විද්‍යාත්මක ලේඛන පිළියෙළ කළ අතර ඒවායින් අත්ලන්තික් පැවති බව තහවුරු කළේය. ඩොනෙලිගේ සිද්ධාන්තය බොහෝ දෙනෙක් විශ්වාස කළහ.
කෙසේවෙතත් 20 වැනි සියවසේ සාගරික විද්‍යා අධ්‍යනයවලදී ඩොනෙලිගේ කාර්යයන් සම්පූර්ණයෙන් නිශේධ කෙරිණි. සාගර විද්‍යාඥයන්ට අනුව වර්ග සැතපුම් මිලියන 36ක අත්ලාන්තික් සාගරය පුරා කැළඹීමක් ඇති කරන සුළු කිසිදු සාධකයක් හෝ මහද්වීපයක් පැවති බවට සාධකයක් හමු නොවීය. අත්ලන්තික් සාගරය තුළ උතුරේ සිට දකුණට සැතපුම් 2500ක් දුරට කඳු කලාපයක් දිව යන නමුත් එය අත්ලන්තික් හි ශේෂ ද්‍රව්‍ය වීමට ඉඩක් නොවීය. මක්නිසාද යත් එය ඉහළ නැඟ තිබුණේ අත්ලන්තික් ගිලා බැසි බවට සඳහන් ස්ථානයෙන් වීම නිසාය.
1912 දී මතභේදය නැවත අලුත් විය. නිව්යෝක් අමෙරිකන් නමැති පුවත්පතේ ඒ පිළිබඳ විශේෂාංගයක් පළ විය. එහි ශීර්ෂය වූයේ “මම අතුරුදන් අත්ලන්තිසය සොයා ගත්තේ කෙසේද? සෑම ශිෂ්ටාචාරයකම ප්‍රභවය” යන්නයි. එසේම එහි කතුවරු වූයේ ආචාර්ය පෝල් ෂිලිමන්ය. ඔහු ට්‍රෝයි ගවේෂකගේ මුනුබුරා විය.
තම සීයාගෙන් තමාට අයත් වූ ලේඛන සහ ලිපි රාශියක් තමා සතුව පවතින බව ආචාර්ය පෝල් ප්‍රකාශ කළේය. ඔහු ට්‍රෝයි හි පොළොව යට තිබී සොයාගත් ලෝකඩ බඳුනක තිබු වැකියක් ඉදිරිපත් කළේය. “මෙය අත්ලන්තික් හි රජු කොරෝනස්ගේ ත්‍යාගයකි.” යනුවෙන් එහි සටහන්ව තිබිණි. ආචාර්ය පෝල් තම මතය සනාථ කිරීමේ සාධක ඒ ආකාරයෙන් ඉදිරිපත් කළත් කිසිවකු ඔහු විශ්වාස නොකළහ.
මැත කාලීනව අත්ලන්තික් පිළිබඳ බොහෝ දෑ ලියැවිණි. ජර්මානු පුරාවිද්‍යාඥයකු හා මාධ්‍යවේදියකු වූ සී.ඩබ්. සර්මන් මේ සම්බන්ධව වෙළුම් ගණනාවක් රචනා කළ අයෙකි. ඔහු අත්ලන්තික් විෂය සම්බන්ධයෙන් වෙළුම් 20000ක් පමණ රචනා කර තිබේ.
අමෙරිකානු අනාවැකි කියන්නකු ලෙස සැලකෙන එඩ්ගා කේසි මේ සම්බන්ධයෙන් ලියා ඇති පුද්ගලයෙකි. ඔහු පවසා ඇත්තේ තමා හමුවට පැමිණි අයගෙන් කීප දෙනෙක්ම නැවත උපත ලද අත්ලන්තික්වාසීන් බවයි. ඔහු ඒ පුද්ගලයන් වෙතින් ලබා ගත් තොරතුරු ලේඛන ගත කළ අතර ඒවා බොහෝ සෙයින් ප්ලේටෝ පැවසූ විස්තර වලට සමාන විය. ප්‍රධානතම කරුණ වන්නේ කේසි කිසිදිනක ප්ලේටෝගේ විස්තර කියවා නොතිබූ අයකු වීමයි. කේසිට අනුව අත්ලන්තික්වරු උසස් ජන කොට්ඨාසයක් වූ අතර ඔවුන් විසින්ම ඔවුන්ගේ විනාශය කැඳවාගත් බව ඔහු සඳහන් කරයි. එසේම මෙක්සිකෝ බොක්ක සහ ජිබ්‍රෝල්ටා සමුද්‍ර සන්ධිය අතර ස්ථානයක අත්ලන්තික් නගරය පිහිටා තිබූ බව ඔහු සඳහන් කර තිබේ.
නැවත 1968 දී ආචාර්ය වැලන්ටයින් විසින් සොයා ගත් ප්‍රාතාර කීපයක් හේතුවෙන් අත්ලන්තික් මතභේදය ඉස්මතු විය. උතුරු බිමිනි දූපත්වලට ආසන්න ජලයේ අඩක් ගිලී ගිය යෝධ ප්‍රාකාරයක් ඔහුට සොයා ගැනීමට හැකිවිය. ඔහු මෙම ප්‍රාකර සම්බන්ධ කළේ අත්ලන්තික් නගරය සමගය.
1967 ට පෙර ග්‍රීක පුරාවිද්‍යාඥ සයිප්‍රිඩොන් මැරිනාටොස් සිදු කළ කැණීමකින් ඔහුට සැන්ටොරිනි සොයා ගැනීමට හැකිවිය. ඔහු 1883 දී ජාවා හා සුමාත්‍රාවල සිදුවූ මහා උපද්‍රවය සමඟ සසඳමින් මීට වසර 3500කට පෙර සැන්ටොරිනිවලත් එවැනි මහා විනාශයක් සිදුවී ඇති බව සඳහන් කළේය. සැන්ටොරිනි වල සිදුවූ විනාශය පිළිබඳ ඊට පෙර එනම් 1965 දී අමෙරිකානු විද්‍යාඥයන් දෙදෙනකු වූ ඩ්‍රැගොල්ලාව් නින්කොවිච් සහ බී.සී.හීසෙන් යන දෙදෙනා විසින් පර්යේෂණ සිදු කර තිබිණි. එහිදී එක පිට සිදුවූ ගිනිකඳු පිපිරීම් මැරිනාටෝස් විනාශයට හේතු වූ බව අනාවරණය විය. එසේම සැන්ටොරිනි කැණීම්වලින් පුරාවිද්‍යාවේ බොහෝ ගැටලුවලට පිළිතුරු ලැබිණි.
පුරාවිද්‍යාවේ විද්‍යාත්මක පැත්ත දිනෙන් දින විද්‍යාත්මක වන විට අත්ලන්තික් අබිරහසද විසඳී ඇතැයි ඉතිහාසඥයන් සහ පුරාවිද්‍යාඥයන් සිතූහ. ඒ දක්වා වැනසී ගිය ශිෂ්ටාචාරය පිළිබඳ විවිධ කතා සහ පුරාවෘත්ත අඛණ්ඩවම මෙම අබිරහස සමඟ බැඳී කරලියට පැමිණියේය. එහෙත් තවමත් පන්හිඳේ තීන්ත නිම වන තෙක් අත්ලන්තික් ගැන නව තොරතුරු මෙන්ම නව ගවේෂණයන්ද සිදු වෙමින් පවතී.
- ඇමසෝනියා සහ එක්ස්කැවේශන් කෘතීන් හි පරිවර්තක මංජුල දිසානායක
(උපුටාගැනීමකි)