සොෆ්ටෙයා හීන
ඔය මොන මොන ආතල් ආවත් ඉගනගන්න කාලෙ තරං විනෝදෙයක් නෑ කොයි කාලෙවත්.
ඒ ලෙවල් කරන්න මුලිම්ම ඉස්කෝලෙ ගිය දවසෙ ක්ලාස් ටීචර් එක එකා නැගිට්ටලා ඇහුවා ඉගනගෙන මොකෙක්ද වෙන්නෙ කියලා. මං කල්පනා කරලා කරලා කිව්වා…
“එකවුන්ටිං ඩිරෙක්ටර් කෙනෙක් වෙනවා”
මැඩම් මගෙ මූණ බලං හිටියා.. විනාඩියක් විතර බලං හිටියා..
“එහෙම පෝස්ට් එකක් තියද”
ලැජ්ජාව බේසමෙං එකයි.
“උඹ එකවුන්ටිං ඩිරෙක්ටර් කෙනෙක් වෙනවනං මං ඉකොනොමික් ඩොක්ටර් කෙනෙක් වෙනවා”
මගෙ එහා පැත්තෙ හිටපු කාලකන්නියා..
කාලයක් තිබ්බා සොෆ්ටෙයා ඉන්ජිනේරු උණ. මාත් එක්ක ඒ ලෙවල් I.T පන්ති ගියා කොල්ලො දෙන්නෙක්. ආයෙ ඉතිං බොක්කෙං ඕන එහෙකට. ඔය එකෙක් හිටියා මිනිහට සුදු පිට පොත්තක් පේන්න බෑ. මිනිහා නැටුං කලාව හදාරන කෙල්ලෙක්ව දැකල ඉවසන්න බැරුව ගියා.. දැකලා කියන්නෙ මේ ඇහිං දැකල නෙමේ ෆේස්බුක් එකෙං.
හැම ෆොටෝ එකම තිබ්බෙ නටන්න ලෑස්ති වෙච්චි ගමං. මූට ඉතිං ඔයිට වඩා එකක් නෑ. ඔහොම ගිහිං ෆෝන් එකෙම්ම යාලුත් වෙලා හම්බෙන්න ගිහිං. නිකං කඩේකට , පාක් එකට යන්න නැටුං මේකප් දාන්නෑනෙ.. එදා තමා ඉස් ඉස්සෙලාම මේකප් නැතුව දකින්නෙ. අපිටත් දැං ඉහිලුම් නෑ මුගෙං විස්තරේ දැනගන්න. කෝල් කරා. මේකා කතා කරන්නෙ නිකං බෙට්ට හිර වෙච්ච පාත්තයා වගේ.
“ඇවිත් කියන්නංකො මං. තියන්නං”
ඔච්චරයි කිව්වෙ. පස්සෙ ඔන්න රෑ එනව කෝල් එකක්.
“අනේ බං මාර වැඩේ. අරකිව අතෑරගන්න බෑනෙ වහ බොනවලු මැරෙනවලු..අනේ මොනා හරි කරපංකො පිං සිද්ද වෙනවා”
මල ඇඬියාවයි. ඔය කාලෙ අපි යනවා පාඩං කරන්න විහාර මහාදේවි එකට. ඌයි මායි නෙමේ හතර පස් දෙනාම යනව. ඔහොම ගිය දාක මෙන්න එනව කෙල්ල. අපි ඇඳිරුවෙ නෑ අරූ කියනකං. මට විස්සාසයි පලවෙනි දවසෙ අර යකාත් අඳුරගන්නැතුව ඇති. අපිට එතකොට වයස දාහතයිනෙ. කෙල්ලට විසි පහක වගේ පෙනුමයි. ෆොටෝ වල තිවුණ සුදෙං කාලක්වත් නෑ. හිනාව නවත්තගන්න පාක් එකේ තණකොල විතරයි කෑවෙ නැත්තෙ අපි.
මේ ගස් ලබ්බා අරකිට කියල මං තමා උගෙ හොඳම යාලුවා, කොහෙ ගියත් මං නැතුව යන්න බෑය කියල. ඕකා මට ඔය අවුරුදු ගාණටම එක කේජු කෑල්ලක් ගෙනත් දීලා නෑ. අන්තිමට මගෙ පිටිං තියල ඒ මගුල කඩාගත්තා.
ඊට පස්සෙ මිනිහා යාලු උනේ අපෙ ඉකෝන් ක්ලාස් ආපු ලස්සන සුදු කෙල්ලෙක් එක්ක. ඒ කෙල්ලයි මායි අර ඉකොනොමික් ඩොක්ටර් වෙන එකීයි තමා ඉකෝන් ක්ලාස් එකේ එකට හිටියෙ. ලස්සන උපරිමෙං තිබ්බට කෙල්ල නියපොතු කනවා. කනව කියන්නෙ ආයෙ ලෙල්ලටම ගිහිං ඇඟිලිත් කලු වෙලා. එච්චරට කනවා. අරූ කල්පනා කල්ලා කල්ලා ඇඟිල්ල බල්ලට දාලා යාලු උනා.
දවසක් අපි පාර පයිනවා ක්ලාස් ඇරිලා. කිරුලපන සිග්මා එකේ. පාර වන් වේ හවසට. මැද්දෙ ඉන්නවා පොලිස් මාමා කෙනෙක්. කොල්ලො එහෙම මැද්දට ගිහිං හිටං ඉදල තමා එහා පැත්තට පයින්නෙ. අපිත් වැඩ්ඩො වගේ ගියා මැද්දට. ගියා විතරයි කාර් එකක් ගියා නාහෙ ඉරාගෙන..
“පාර මැද්දට ඇවිත් මගුලක් කරනවද… මැරෙන්නද හදන්නෙ වාහන වලට පැනලා”
පොලිස් මාමා ගිරිය කඩාගෙන කෑ ගහනවා. බස් හෝල්ට් එකේ ලමයි ඔක්කොම බලාගෙන. ලැජ්ජාව කනෙං එකයි. අපෙ ඉස්කෝලෙ කෙල්ල පොලිස් අංකල් දිහා බලාගෙනම ඉන්නවා පාඩමක් අහගන්නවා වගේ උනංදුවෙං.
අනිත් එකී “ඒ බයිනව යකෝ, අපිට බනින්නෙ” කෑ ගගහ උඩ පයිනවා. ඌට හිනා යනව කවුරුහරි බයිනකොට. ඌ දැං අතිං කට වහං උඩ පැන පැන හිනාවෙනවා.
මං, පොලිසියෙනුත් නෑ මේක පාරකුත් නෙමේ මට මුකුත් ඇහෙන්නෙත් නෑ වගේ ආතක් පාතක් නැතුව ඔහේ ඉස්සරහ බලං ඉන්නවා වෙන කල්පනාවක වගේ.
“හිනාවෙන්නෙ මාව විහිලුවට ගත්තද” අහ අහ අර මනුස්සයත් අපිව යවන්නැතුව තව කෑ ගහනවා.
ඒ කාලෙ පංතියෙ කෙල හලපු ක්‍රශ් ඔක්කොම මං ඒ මොහොතෙම හිතෙං අහක් කරා. උං ඔක්කොම ඉස්සර ඉදන් බලාගෙන.
රෙදි නෑ පාර පැනල ඉවර වෙනකොට. එකෙක්ගෙවත් මූණ බලන්නැතුව මුලිම්ම ආපු අවිස්සාවෙල්ල බස් එකේ නැගලා මගක් දුරට ඇවිත් බැස්සා.
අපෙ I.T පංතියෙ හිටපු එකම කෙල්ල මං. පංතියෙ හිටිය පොඩි කොල්ලෙක් ලුම්බිණියට ගියපු. ඒකා හිතං හිටියෙ මිනිහට මාර ලස්සනට සිංදු කියන්න පුලුවං කියල. අපිත් උගෙ හිත රිද්දුවෙ නෑ ඇති වෙනකං කියන්න දුන්නා.
පොර ඉස්කෝලෙ කෙල්ලෙක්ට පණ ඇරල බොක්කෙං ට්‍රයි ඒ කාලෙ. කෙල්ල වචනයක් දෙන්නෑ ගණං උස්සනවා. මූට කෙල්ලගෙ යාලුවෙක් කියල ‘ඔයාට සිංදු කියන්න බෑනෙ, සිංදු කියන්න ඉගනගන්න එතකොට කැමති වෙයි’ කියල.
මේ මල් බූරුවා දැං ක්ලාස් එන්නෑ. අපිත් හොයනව මුගෙං ආරංචියක් නෑ. බැලින්නං විභාගෙ කටේ තියල මේකා සංගීත පංති යනව සිංදු ඉගනගන්න අපේ ක්ලාස් දවසට. වැඳල කිව්වා පංති වරෙං කියලා, කෝම හරි මූ ආවෙ කෙල්ලව යාලු කරගෙන. ඉතිං දැං මගෑරුණ නෝට් ලියාගෙන ගානට කරං යද්දි අර කෙල්ල මේකාව අතෑරලා.. මිනිහගෙ තාත්තට දියත උයනෙ මල් කඩයක් තියනව. පොර හැමදාම වගේ ඔතන ඉන්නෙ.
මේ පරයා හිතේ දුකට ඔතනට ගිහිං අවුරුදු දෙකාමාරෙම ඉගනත්තුවා ලියපු I.T පොත් දෙක දියවන්නාවට විසික් කරලා. දුක නිවුනම ආයි ඇවිත් අපෙං පොත් ඉල්ලං ෆොටෝකොපි ගහගත්තා..
කොහොමිං හරි අන්තිමට පන්තියෙ ඉතුරු උනේ ස’රුයි මායි මගෙ අර බොක්කෙ ෆිට් උං දෙන්නයි විතරයි. නැටුං කෙල්ල එක්ක යාලු උන එකා මගෙ යාලුවගෙනුත් බූටක් කෑවා. ඒකට මුල් උනෙත් මං. පාඩං කරන්න ගිය වෙලාවට ඒකා මට මොකද්ද කියන්න කකුලට ගහලා. මට කියල හිතං කෙල්ලට ගහල තියෙන්නෙ. මං පොතේ. දෙපාරක් තුං පාරක් මගෙ මූණ බලං ඒකිට ගහද්දි ඌ ගුටි නොකා බේරුන එකම ඇති එදා.. කෙල්ල අපෙ ඉකෝන් ක්ලාස් එකේම වෙන කොල්ලෙක් එක්ක යාලු උනා.
අපි තුන් දෙනා, ඒ කියන්නෙ අර කොල්ලො දෙන්නයි මායි ඒ කාලෙ ප්ලෑන් කරේ සොෆ්ටෙයා ඉංජිමේරුවො උනාම තුන් දෙනා සෙට් වෙලා ගැම්මට පාරෙ යන්න. අර ෆිල්ම් වල වගේ. වටෙං හුලං හමනවා.. බැක්ග්‍රවුන්ඩ් මියුසික් ඇහෙනවා. ඔක්කොම ස්ලෝමෝශන් වෙලා අපි විතරක් ඇවිදං යන්න.
දැං මං කතංදර ලියනවා. තව එකෙක් ඩේටා එන්ට්‍රි කරනවා. නැටුං කෙල්ල එක්ක යාලු උන එකා එක එක ඉලව් ට්‍රයි කරල බෑ කියල අන්තිමට ඕපන් යුනිවසිටි එකේ මොකක්ද පටං ගත්තා විතරයි බයික් එකෙං වැටිල අණ්ඩක් කඩාගත්තා. මායි මනුස්සයයි බලලා ආවා. දැං මිනිහගෙ එකම බලාපොරොත්තුව එක කකුලක් කොට නොවී සනීප වෙන එක විතරයි.
මං නං මෙහෙම කෙලවරක් උන එකට අපෙ අම්මා උඩිම්ම කැමතී. මොකද මං පොඩි කාලෙ කට්ටිය ඇහුවම ‘ලොකු උනාම කවුරු වෙන්නද කැමති පුතේ’ කියල, මං හැමදාම දුන්නෙ එකම උත්තරේ..
“අම්මා කෙනෙක් වෙන්න” 

-තක්ෂිලා පැතුම්-