උදෑසන සිසිල් පවන් පොදක් හමා යමින් තිබිණි. සුදු පැහැති දිගු ගවොමකින් සැරසුණු ඈ දේවස්ථානය වෙත පිය නගමින් සිටියේ ඉරුදා උදෑසන දේව මෙහෙය සඳහාය. සීතල සුළං වැදී ඇගේ කම්මුල් රතු පැහැයට හැරී තිබිණි. පිට මැද තෙක් වැටුණු කොණ්ඩයේ කෙස් රොදවල් සුළඟේ දඟ කරමින් තිබිණි. ඈතට විහිදුණු සුන්දර නිම්නයේ දසුන රස විඳිමින් ඈ හෙමින් සීරුවේ දේවස්ථානය වෙත පිය මැන්නේ ඇගේ ජීවිත කතාව මෙනෙහි කරමිනි. මව හෝ පියාව නොමැතිව මිත්තණිය සමඟ ගෙවුණු ජීවිතය බොහෝ ප්‍රීතිමත් හෝ බොහෝ ශෝකජනක එකක් නොවීය. ඔවුන් ගෙවූයේ අතිශය සාමාන්‍ය ජීවිතයකි. එහෙත් ඉන්පසු එක් දිනෙක ඇගේ ජීවිතයට සිසිල් සුළං රොදක් සේ පැමිණි පුද්ගලයෙක් ඇගේ ජීවිතයට කුණාටු සමයක් ළඟා කොට දී පලා ගියේය. ඒ දින මතකයට නැඟීමෙන් ඈ තිගැස්සුණු අතර ඈ කල්පනාවලියෙන් වහා මිදුණාය. එහෙත් තවත් කාලයකට පසු ඇයට ඒ කුණාටු සමය මුළුමනින්ම නිම කරන්නට උදව් කරන පුද්ගලයෙකු මුණ ගැසිණි. එළඹෙන මාසයේ තමා මනාලියක් ව ඔහු සමඟින් මේ දේවස්ථානයේම අල්තාරය අසළ අතින් අත පටලවාගෙන සිටිනු ඇතැයි යන සිතුවිල්ල ඇගේ මුවඟට මදහසක් එක් කිරීමට සමත් විය.
දේවස්ථානය අසළට එත්ම එය සෙනඟින් පිරී ගොස් තිබෙන බව ඇයට වටහා ගත හැකි විය. එක්වරම දුටු දසුනෙන් ඈ යළිත් තිගැස්සුණු අතර ඒ ඔහුමදැයි ඇයට සිතාගත නොහැකි විය. කුණාටු කුරුල්ලා… ඒ රුව වසර පහකට පෙර අවසන් වතාවට දුටුවා සේම නොවෙනස්ව තිබේ. ඇයට වෙනතක් බැලිය නොහැකි විය. ඔහු ඇගේ නම කියා කතා කරමින් ඈ වෙත එමින් සිටියේ ය. ඈ නැවතුණා ය.
‘කාලෙකට පස්සෙ’ ඈ තමාට සුපුරුදු නිවුණු හඬින්ම කීවාය. ඒ ස්වරයේ කෝපයක සේයාවක්වත් නොවුණු අතර ඔහු මහත් සේ පුදුමයට පත් විය.
‘ඔව්, ගොඩක් කාලෙකට පස්සෙ’ ඔහු පැවසුවේ යම්කිසි අපහසුතාවකින් මෙනැයි ඇයට සිතිණි. ඔහුට කතා බහ කිරීමට බොහෝ දේවල් ඇතැයි ඇයට සිතුණත් ඔහු සාමාන්‍ය ආගිය තොරතුරු විනා වෙන යමක් කතා කළේ නැත. ඇයම එයට පිවිසිය යුතු බව ඈ සිතුවාය.
‘ඉතිං හදිස්සියේම මේ පැත්තෙ ආවෙ?’
‘ආවෙ නම් කෙනෙක්ව හම්බ වෙන්න’
‘ආ… හම්බ උනා ද ඉතිං?’
‘ඔව්, දැන් එයත් එක්ක තමා මේ කතා කර කර ඉන්නෙ’
ඈ විස්මයෙන් හිස ගැස්සුවාය.
‘මාව හම්බ වෙන්න? ඇයි?’
‘මට කතා කරන්න ඕනි’
‘ඔව් කියන්න’
‘ඇත්ත ද ඔයා ලබන මාසෙ බඳිනවා කියන්නෙ?’
‘හ්ම්ම්, ඔව්’
‘මට දෙයක් අහන්න ඕනි’
‘කියන්න’ ඇගේ සන්සුන් බව ඔහුව දැඩි සේ පුදුමයට පත් කොට තිබිණි.
‘බැරි ද මට සමා වෙලා ආයෙමත් අවස්ථාවක් දෙන්න?’
එවර නැවතත් පුදුමයට පත් වූයේ ඈ ය.
‘ඒ කාලෙ ඉවරයි, ආයෙමත් මට අතීතෙට යන්න උවමනාවක් නෑ…’
‘හ්ම්ම්…’ ඔහු බර සුසුමක් හෙළුවේය.
‘මං දැනන් හිටියා ඔයාගෙ උත්තරේ, ඒත් මට ඔයාගෙන් අහලම දැනගන්න ඕනි උනා, තරහ වෙන්න එපා’
‘තරහක් නෑ…’ ඈ විරාමයක් ගත්තාය.
‘ඉතිං මට පස්සෙ ඔයාට කවුරුවත් හම්බ උනේ නැද්ද?’
ඔහු බොහෝ ගැහැනු ළමුන් පිරිසක් ආශ්‍රය කළ බව ඈ දැන සිටිය ද ඈ විමසුවේ තවත් අසන්නට දෙයක් ඇයට නැති වූ බැවිනි.
‘හම්බ උනා’
‘ඉතිං?’
‘ඒත් ඒ කවුරුවත්ම ඔයා වගේ නෑ’ ඔහු අපහසුවෙන් කියාගත්තේය. කුමක් කියන්නදැයි ඈ නොදත්තාය.
‘පූජාව පටන් ගන්න යන්නෙ, මං එහෙනම් යන්නම්’ හදිසියෙන් මෙන් කිවූ ඇය ඔහුට පිටුපා දේවස්ථානය වෙත පිය මැන්නාය.
කියා ගත නොහැකි හැඟීමකින් හිතම කැළඹෙද්දී ඒ රුව ඈතට ඇදෙන’යුරු ඔහු බලා සිටියේ ය.
Hansi Wijekoon