එතකොට අපි 10 හරි 11 හරි.එදා හවස ප්රැක්ටිස් ඉවර වෙනකොටම වැස්සා වැස්සක් ඒක ආයේ එසේ මෙසේ වැස්සක් නෙවේ යකාගේ වැස්සක්.
කුඩයක් තියා කුඩ මිටක්වත් අපි දෙන්නා ලග නෑ හදිසියකටවත්.ගෙදර යන්න තියා හිතන්නවත් බෑ.අපේ ඉස්කෝලේ ඉස්සරහ ටිකක් පහලට වෙන්න තියෙනවා කමිනිකේශන් එකක්.කොහොමින් කොහොම හරි අයින් දිගේ බඩ ගගා හැංගි හැංගි වගේ දිව්වා කමිනිකේශන් එකට.තියෙන සන්තේකම හූරලා ගත්තා.දැන් වගේ නෙවේ ඒ කාලේ යහමින් අතේ සල්ලි තිබුනා.හැබැයි කොහෙන්ද දන්නෙ නෑ .රුපියල් 40 විතර තිබුනා.ගත්තා අම්මිට කෝල් එකක් “අම්මි හොදටම වහිනවා,කුඩයක් නෑ එන්න ටිකක් වෙලා යයි” කිව්වා තිබ්බා අම්මි වචනයක් හරි කියන්න කලින්.
යාලුවත් ගත්තා අම්මට “අම්මා හොදටම වහිනවා,එන්න විදියක් නෑ වෙලා යයි ” කිව්වා තිබ්බා.
හරි දැන් ගෙදර යන්නෙ කොහොමද.වැස්ස නවතින්නෙත් නෑ.වැහි දෙයියෝ බූට් කාලා වගේ අඩනවා ඉවරෙකුත් නෑ.අපි පලිද ඕවට. අන්තිමට හිතුවා ත්රීවීල් එකකින් බස් හෝල්ට් එකකට යන්න.කියන්න සංතෝසයි එක ත්රීවීල් එකක් ආසාවට නෑ පාරේ.කොහොම හරි එකක් දැක්කා එනවා උඩ පැනලා නටලා අත වනලා කොහොම හරි නවත්තගත්තා.ඒක තිබුනෙත් පාර එහා පැත්තේ.අනේ මන්දා ඒක අපේ වෙලාවද අරුමෙද කරුමෙද කියලා,ඒ මනුස්සයට ඒක හරවගන්න විදියක් නෑ පාරේ වාහන යනවා ඉවරයක් නෑ.එවෙලේ ත්රීවීල් යනවා සංදර්ශනයක් වගේ,කාර් වෑන් බයික් බස්. එවෙලේ නොගියෙ ට්රේන්,ෆ්ලයිට් විතරයි.
අනේ ඉතිං ප්රශ්නෙ ඉවරයි කියලා හිතුවද දැන් තමා ප්රශ්නෙ පටන් ගන්නෙ.එතන තියෙනවා ෆැශන් බග් එක.ආවේ නැද්ද කොල්ලො දෙන්නෙක් ෆැශන් බග් එක ඇතුලෙ ඉදන් අර කාටද හැතැප්මක් නෑ වගේ හූසෙන් බෝල්ට් වගේ දුවන්.ආපු පාර නැවතුනේ අර වීල් එක ඇතුලේ.මේ යක්කු දෙන්නත් වීල් එකක් ගන්න බලාන් ඉදලා තියෙන්නෙ.අනේ අපි බලාන් ඉද්දි අපිටත් අත වනන් ගියෙ නැද්ද වීල් එකේ නැගලා.
හරිනේ.ආය පාර හිස්.වතුර පාර විතරයි පාරෙ ගියේ.ඉතිරි සල්ලි වලින් ගත්තා මගේ යාලුවා එයාගේ යාලුවෙක්ට කෝල් එකක්.ඉස්කෝලේ ලගමයි ඉන්නෙ.අනේ හලෝ වැස්ස හොදටම.කුඩයක් නෑ ගෙනත් දෙන්නකො හෙට ගෙනත් දෙන්නම්.හා කිව්වට ආවේ නෑ.ආයේ ගත්තා.ගෙදර නෑලු ඉක්මනට එන්නම්ලු.අනේ නිකං හිටාං කියලා මං ගත්තා මගෙ යාලුවෙක්ට,ඒ හලෝ වැස්සනේ කුඩයක් ගෙනත් දෙන්නකො හෙට ගෙනත් දෙන්නම්.අනේ එයා නානවලු.හා නාලා ඉක්මනට එන්න කිව්වා.නෑ ආවෙ නෑ.ඉවරයිනේ.සල්ලිත් ඉවරයි.දැන් මොනවා කරන්නද.වැස්ස නවතින්නෙත් නෑ.
ගියා ආය ඉස්කෝලේට.යුනිෆෝම් එක මාරු කරලා බැස්සා ට්රැක් කිට් එකට.බොටම් එකයි ටී ශර්ට් එකයි සපත්තු දෙකයි කැප් එකයි.කැප් එක ඇස් දෙක වැහෙන්නම දාගෙන අපි නෙවේ වගේ බිම බලාන් තෙමි තෙමි තෙමි තෙමි තෙමි ගියා.බස් එකේදි ඔක්කම බැලුවේ නිකං ඇදුම් පිටින් පූල් බැහැලා ආපු අය වගේ. බිම බලාගෙනම ගියා.ඔලුව ඉස්සුවේ ගේ ලගින් බහිද්දි.හැබැයි මං දැන් කල්පනා කරන්නෙ ඉස්කෝලේ ලග හෝල්ට් එකෙන් බස් එකට නැගලා ගෙදරට යන බස් ගන්න හෝල්ට් එක ලගින් බහින්න පුලුවන්කම තියෙද්දි ඇයි අපි එහෙම නොකරේ කියලා. ඒකත් දැන් මේ කතාව ලියද්දි මතක් උනේ.
-ශානි ගුණරත්න-