කාසියෙ භූතයා (ඉස්කෝලේ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඉස්කෝලෙ යන කාලෙ තිබ්බ ලොකුම චූන් එක තමා කාසියෙ බූතයා. එහෙව් ආතල් දුන්න බූතයෙක් මට උපන්තේක්කට හම්බෙලා නෑ.
මං මේ සම්මජ්ජාතියෙ බය දේකට තියනවනං ඒ හොල්මං. කොච්චර බයද කියනවනං ගෙදර ඇඳෙන් නැගිටල බිමට බහින්නෑ. ඇඳ උඩ හිටගෙන හොඳ හුස්මක් අරං පයිනව දොර ගාවට. ඇඳ යට ඉදන් කකුලෙං ඇද්දොත් ඔය හිනා වෙන උං එනවද බේරගන්න!
ඔය කාසියෙ බූතයා කරලියට එනකොට මං හිටියෙ ඇඟේ ලේ නැතුව. ඇයි හත්වලාමේ මුං තැං තැං වල කල්ලි ගැහල පාඩුවෙ ඉන්න හොල්මනක් අවුස්සගෙන ඉස්කෝලෙට ගෙනාවොත්! මොන දෙයියන්ට කියන්නද.
මගෙ වයසෙ කොල්ලෙක් කිව්වා ඌ ඕක කරාය, කාසිය නිකම්ම කොලේ වටේ යන්න ගත්තම බය උන පාර කොලේ ගුලි කරලා ලිපට දැම්මය කියලා. බූතයගෙං මොනාද ඕන අහන්නෙපා ඌ ලේ ඉල්ලනවත් කිව්වා. මගෙ නං තුං හිතකවත් තිබ්බෙ නෑ ඔය ලබු ගෙඩිය කරන්න.
අපෙ ඉස්කෝලෙ ඉන්නවා හොල්මං ඔස්තාර්ලා. උංට කහනව වැඩි වෙලා ඕක කරලා. දැං එක විජ්ජුම්බරයි ඉස්කෝලෙ. ටොයිලට් එකේ මැරිච්ච නිසංසලා අක්කා ඉන්නවලු. ඔය නිසංසලා කියන්නෙ අපේ ඉස්කෝලෙ ඉගනගෙන සියදිවි හානි කරගත්තය කියන අක්ක කෙනෙක්. ඕකෙ ඇත්ත නැත්ත මං අදටත් දන්නෑ.
ටොයිලට් එකට යන්න ගිය නංගිලා කලන්තෙ දාලා එක විකාරයයි. ගෙදර ඉදන් මැරුණයි කියන මනුස්සයා ඉස්කෝලෙ ටොයිලට් එක අස්සෙ අහවල් මගුලක් කරනවද මංදා..
මං! දවස පුරාම එහෙට මෙහෙට ඇඹරි ඇඹරි බොක්ක පුපුරන්න එන අමාරුව ඉවසං ගෙදරටම දුවල එනකොට ගෙදර ටොයිලට් එක පෙනි පෙනි තෙමාගන්නවා. අපා දුකක් වින්දෙ ඔය නිසංසලා අක්කා නිසා. අම්මට අහුවෙන්නැති වෙන්න ඔව්වා හෝදලා දාන්නත් එපැයි..
ඔන්න ඔහොම බීසන කාලෙක, අපි 11 වසරෙදි.. අපෙ පන්තියෙ හිටියා වැඩි සද්ද බද්දයක් නැති අහිංසක කෙල්ලෙක්. දවසක් උදේ ඉස්කෝලෙ යද්දි පන්තියෙ යකා නටනවා! යකා නටනව නෙමේ යකෙක් වැහිලා. එයා තනියෙං පන්තියෙ. අපි ඔක්කොම එලියෙ. ඔලුවෙ පන තියෙන එකෙක්ට යන්න පුලුවන්ද ඇතුලට. මගෙ කකුල් දෙකත් වෙවුලනවා.. බොටුව කඩාගන්න පැන්නොත් හෙම.. අහසෙ දෙයියොත් නෑ!
අපේ දැං ඉන්න ප්රින්සිපල්ගෙ දුව, ඩයල් එක ඕන එහෙකට යනව බෙල්ල කඩාගන්න හරි. මෙයා දැන් අඩිය අඩිය යනව පන්තිය ඇතුලට.
“දේශානී”
ලගට ගිහිං හෙමීට කතා කරා.. අරකි ආවේස උන්නැද්ද කොණ්ඩෙත් කඩාගෙන! දෙමලෙම්ම බැනලා එලෝගත්තෙ එලියට. ගහක් ගලක් වගේ උන්න සෙක්ශනල් හෙඩ් සාරිය කරට අරං දිව්වෙ ඒ ආවේසෙ දැකලා. පන්තිබාර මැඩම් ඕන බඩකඩිත්තුවක් වෙන්න කියල නටල ඉවර වෙනකං බලන් හිටියා. අන්තිමට අම්මලට ඇවිත් එක්ක යන්න උනා.
පස්සෙ දන්නෙ උගෙ ලව් එක අහු වෙච්ච එකේ වේදනාව දරන්න බැරුව යකා වැහිල තියෙන්නෙ. ලක්ස ගානක් වියදම් කරල සුරේකුත් දැම්මෙව්වා.
එදා මං තදිං හිතාගත්තා, හොල්මං ඉන්නවා! ආයෙ දෙකක් නෑ ඉන්නවාම තමා. ඕකෙං පස්සෙ මං ඉවසන්න බැරි අමාරුවකට ඉස්කෝලෙ ටොයිලට් එකට ගියත් වැඩේ කරගන්නකං බයයි අර කලුවර අස්සෙ කොහෙං හරි මතුවෙයි කියල. කොටිම්ම කියනවනං වලෙං මතුවෙයි කියල වාඩිවෙන්න බයයි. පස්සකට කියලත් මෙච්චරයි තියෙන්නෙ.
දවසක් ඉස්කෝලෙං බාගයක් ගිහිං ට්රිප් එකක්. මොන කරුමෙටද මංදා අපි දෙතුං දෙනෙක් ඉතුරු උනා. සෙක්ශන් එකත් පාලුයි. ඔන්න පනිවිඩයක් ආවා කාසියෙ බූතයා කරල අක්කා කෙනෙක්ට යකෙක් වැහිලා කියල. හිටියෙත් මං වගේ නිර්භීත ටික දෙනෙක්. අපිට දැං චූ බරත් වගේ.
පහලින් කෑ ගහනවා ඇහෙනවා. අපි පඩිපෙලේ මැද. බාගෙට බහිනවා. උඩට දුවනවා. ආයි බහිනවා.. ආයි දුවනවා.. කෝම හරි ඒ මනුස්සය ගෙදර එක්කං යනකං අපි පඩිපෙල් නැග නැග බහිනවා.. මූණවත් බලාගන්න හම්බුන්නෑ.
ඒ උනාට විස්සාස කරන්න, මං තමා අපේ පංතියෙ කතන්දර ඔස්තාර්. හොල්මං කතා මවලා කියන්නෙ. ලමයි වට වෙලා කෙල පෙර පෙර අත් අල්ලං ඉන්නෙ බයට. එහෙම් සෙක්ශන් එකටම හොල්මං කතා කියලා ගෙදර ඇවිත් අම්මා එනකං මං පාරෙ ඉන්නෙ. කෝටියක් එක්ක ගෙයක් දෙනව කිව්වත් ගෙට නං අඩියක් තියන්නෑ. අදටත්, නිදාගන්නෙ අම්මා එක්ක!
රෑට සැක හිතුනොත් ඇඳේ එහා පැත්තෙ අම්මමද කියල ටෝච් එක මූණට ගහං ඉන්නවා හැඩේ වෙනස් වෙනවද බලන්න. “උඹේ අම්මට..” කියල පටං අරං නවත්තනවා. එයානෙ අම්මා.
බොලා කෝම කිව්වත් හොල්මං ඉන්නවා. ඒකෙ ආයෙ සැකෙයක් නෑ!
 
-තක්ෂිලා පැතුම්-

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!