තාත්තලා එක්ක Driving (රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අපේ තාත්තා මම හත වසරේ වගේ ඉන්න කාලේ ගත්තා අලුත්ම යමහා මේට් 50 බයික් එකක්.. මට ඉතින් ඊට වඩා දෙයක් නෑ.. මේක වටේ මෙරිගෝ රවුන්ඩ් එක වගේ යනවා.. අත ගානවා.. නැගලා ඉන්නවා.. රෙදි කෑල්ලක් අරගෙන පිහිදානවා .. අලුත් සීට් එකේ එන සුවද බලනවා.. ඒක හරියට ඉස්කොලේ ගෙනියන්න අලුතෙන් ගේන බෑග් එකක සුවඳමයි.. (ඒ සුවඳට මම තාම ආසයි. පොඩි එකාට බෑග් එකක් ගෙනාවත් වයිෆ් එහාට මෙහාට වෙනකන් ඉඳලා ඇස් දෙක පියාගෙන ඕක ඉඹලා මගේ පොඩි කාලෙට මම තාම හිතෙන් යනවා. ඒකිට පේන්න ඕක ඉඹලා බැලුවොත් රටේ නැති නෝන්ඩි ටිකක් කන්නයි වෙන්නේ..) ඊට පස්සේ යතුර දාලා හෝන් එක ගහලා මොංගල් විදියට සයිඩ් මිරර් එකෙන් මගේම මූණ බලාගෙන හිනා වෙනවා.. එක සෙල්ලමයි..
කොහොම හරි මාසයක් විතර යද්දී මගෙන් වදේ තාත්තට මට මේක පදින්න උගන්නන්න කියලා. අන්තිමේ තාත්තා දවසක් ඉස්කෝලේ ගිහින් ආව ගමන් කිව්වා එනවා මේක පුරුදු කරන්න කියලා. මට ඒ දක්වා ලෝකේ ඇහුණ සුන්දරම වචන ටික තමයි ඒ.. ඉස්කොලේ ඇඳගෙන ගියපු නිල් කොට කලිසමයි සුදු බැනියමයි පිටින් දුවගෙන ඇවිත් බයිසිකලේ වාඩි උනා. අපේ ගෙදරට යන පාර අඩි හතරයි පළල.. දෙපැත්තෙම වැටවල් ගහලා..
දැන් ස්ටාර්ට් කරලා කරන්න ඕන දේවල් කියලා දුන්නා. මේක ක්ලච් නැති බයික් එකක්. දැන් තාත්තා කිව්ව විදියට හැම දේම කරලා ගියර් එකත් දැම්මා බයික් එක යන්නේ නෑ.. මගේ පපුවත් ටිකක් වේගෙන් ගැහෙනවා. තාත්තලා එක්ක ඩ්රයිවින් පුරුදු උන උන් දන්නවා ඇති ඒක මල වේදනාවක්.. බනිනවා ඉවරෙයක් නෑ..
මටත් එහෙම තමයි.. මට කියනවා.. කෝ තව ටිකක් ඇක්සලේටරේ කරකවන්න කියලා.. මම හෙමින් කරකවනවා .. මේ මගුල යන්නේ නෑ.. තාත්තටත් මල හඳේ.. කරකවපන් බූරුවෝ ඕක ටිකක් කිව්වා.. “යකෝ අපේ ආච්චිට” …කියලා කරකැව්වා මිත්රවරුනි බයිසිකලේ ඇක්සලේටර් එක.. අශ්වයා ඉස්සරහා කකුල් උස්සනවා වගේ රෝදේ ඉස්සුනා … කෙලගෙන ගියා යෑමක් .. තාත්තා වැටේ.. සරම කරේ.. මමත් මීටර් 500ක් විතර ගිහින් යන්තම් වැටට හේත්තු කරලා නවත්ත ගත්තා.. මට ඇහෙනවා තාත්තා එයාගේ වයිෆ්ට කිය කිය මට බනිනවා වැටේ එල්ලිලා.. කොහොම හරි ටිකකින් වැට ඉනිත් කඩාගෙන තාත්තා ධරණී තලය සිපගත්තා මම ඇස් කොනින් දැක්කා..
එහෙම තමයි මම මෝටර් බයික් පදින්න පුරුදු උනේ..
අපේ නංගිට මෝටර් බයික් එක පදින්න පුරුදු කලේ මම. දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියන්නේ මේකි පළවෙනි පාරම මාව අරං ගියේ පොල් මුලක් උඩින් .. වැඩක් නෑ.. කියලා .. මුල්ම වතාවට ගුවන් ගත උනේ එදා.. ඒක වෙනම ආතල් එකක්. පොඩ්ඩක් අමාරු උනේ පොල් මුලේම පශ්චාත් භාගය වැදුනම..
ඔන්න ඊට පස්සේ ගෙදරට කාර් එකක් ගෙනාවා.. මේක නිසාන් බීටූ11 කියන වර්ගේ එකක්.11 ශ්රී නම්බර් එක. මේක නම් මම කිසි කරදරයක් නැතුව එක පාරින් පදින්න ඉගෙන ගත්තා.. මේවයේ කොච්චර හැදුවත් බ්රේක් බහිනවා. යන්න නම් පුලුවන් යකා වගේ.. හැබැයි හිටගෙන තමයි බ්රේක් ගහන්න ඕන.. කාර් එක ඩ්රයිව් කරනවා කියන එක මට ගේමක් නැති උනා..
දැන් නිසි වයස එළඹුණා ලයිසන් ගන්න. උපන් දිනේට පස්සේ දවසෙම තාත්තා එක්ක ගියා ලර්නර්ස් එකකට. එතන ඉඳපු තාත්තගෙත් ගුරුතුමාට මාව භාර දුන්නා. මෙන්න බන්දු අයියේ මගේ කොල්ලා.. කාර් එක නම් පදින්න පුලුවන් ඔය අනිත් දේවල් කියලා දීලා ලයිසන් අරන් දෙන්න කියලා.. වයසක අංකල් කෙනෙක්..
හ්ම්.. ට්රයල් එකක් බලමු ..ඒ අංකල් කිව්වා..
මාව එක්ක ගියා කහ පාට වැනට් එකක් ලඟට යතුර දුන්නා.. ගමු බලන්න කිව්වා..
මේවා මොනවද කියලා ගත්තා වාහනේ.. ගේමක් නෑ.. සුපිරියටම ගියා.. ඔතනින් නවත්තමු බලන්න කිව්වා.. ඔන්න මට කෙලවිලාම ගිය තැන. මට පුරුදු අපේ කාර් එකේ හිටගෙන බ්රේක් ගහලනේ.. ඒ පුරුද්දට ගැහුවා බ්රේක් පාරක් … කිව්වට පිළිගන්න මිත්රවරුනි … බන්දු අංකල් වින්ඩ්ස්ක්රීන් එක ඉඹගෙන නැවතුනේ… මරන්නද යකෝ හදන්නේ කියලා බන්දු අංකල් වීදුරුවෙන් ඈත් උනාම දැක්කේ.. වීදුරුවේ තොල් පාරත් ලස්සනට හිටලා.. මටත් තනියම හිනහයි මේ යකා ඉඳපු විදියට.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!