ඉතින් ප්‍රිය මිත්තවරුනි,මේ හා හා පුරා කියා ලියන පලවෙනි ඉස්කෝලෙ කාලේ රස කතාවයි.ඇත්තවසයෙම්ම කියනවානං අපගේ ඉස්කෝලෙ කාලෙ තියන තරමක් තියෙන්නේ රස කතා ය.සමහර ඒවා කිව හැක.ඒත් තවත් සමහර ඒවා කිව්වොත් ගෙදරින් කෑම සලාකය හම්බ වීම පවා සුවර් නැත.මේ කියන්නට යන්නේ කිව හැකි ඒවායින් එකකි.ඉතිරිය පසුවට ය.
මාගේ ඉස්කෝලය පිහිටියේ සකල සිරියෙන් විරාජමාන වූ සිරි ලංකාවේ අග නගරයේ ය.ඒ කියන්නේ කොළඹ ය.කොළඹ බොහෝ ප්‍රධාන පෙලේ පාසල් සෑම වසරකම තවත් සහෝදර පාසලක් සමග මහා ක්‍රිකට් තරගයක් පවත්වයි.මේ කාලයට ඉතිං මුලු පාසලම එකම සැනකෙළියකි.කියන්නට යන්නේ ඒ ගැන නෙවේ ය.ඉතිං මේ ක්‍රිකට් තරඟ සෑම එකක්ම පාහේ පැවැත්වෙන්නේ කොළඹ සිංහල ක්‍රීඩා සමාජ (SSC) ක්‍රීඩාංගනයේ ය.අපේත් එසේමය.මේ තරගය පැවැත්වෙන අතරතුර හා ඉවර වුනාට පසු ශිෂ්‍ය නායකයන්ට රාජකාරි පවතී.මාත් ශිෂ්‍ය නායකයෙක් වී සිටියෙමි.එක්තරා වසරක මහා ක්‍රිකට් තරඟය ඉවර වී අපි ක්‍රීඩාංගනයෙන් එන විට කෑලි කැපියහැකි කලුවර මහ රෑ 10 ට පමණ ය.’දහයයි ගානකට’ මරදාන ඉස්ටේසමෙන් ඇති අවසන් කෝච්චිය පිටත් උනොත් ගම්පහ ට යාගන්නට ක්‍රමයක් නැතිව ඉස්ටේසමේ බංකුවක් උඩ තපින්නට සිදුවන බව පූර්ව අත්දැකීම් සහිතව දැන උන්නෙමි.කොල්ලෝ එක එක පැති වලට විදුලි වේගයෙන් ගෙවල් බලා ගමන් කරන්නට පටන් ගත්තේ මව් පිය පාර්සවයෙන් සුමියුරු වදන් කොහොමත් ඇසීමට වන බව දැන දැනමය.ඉතිං ඒකාලේ එහෙමය.මාත් තව කොල්ලෝ දෙතුන් දෙනෙක් සමග නීඩ් ෆෝ ස්පීඩ් ගේමකට අවතීරණ වුණෙමි.වහාම ක්‍රියාත්මක වන පරිදි අත දමා කොහේදෝ සිට පැමිණි තීරෝදයක් නවතා ගත් අපි ඊට ගොඩවුණෙමු.නොදන්නා කෙනෙකුගේ පහසුව පිණිස පවසන්නේ නම්,SSC එක ඇත්තේ BMICH එක කිට්ටුව ය.(අර මැගි නූඩල්ස් පදර්සනය තියන ලොකු හෝල් එක.ඔව් ඔව් අන්න ඒක තමයි) ඔතැන් සිට බොරැල්ල කනත්ත ළගට විත්,එතනින් මරදාන ඉස්ටේසමට ඒම ධාවන පථයයි.
වදෙන් පොරෙන් පාරවල් වල වාහන අස්සේ රිංගමින් වැඩි පමාවක් නැතිව අපි බොරැල්ලට සම්ප්‍රාප්ත උනෙමු.මිත්‍රවරුනි කර්මය පලදෙන්නේ දැන් ය.කලබලේට නැගගත්තාට මොකද තීරෝදයේ අනික් උන් යන්නේ රාජගිරිය පැත්තට ය.මං යා යුත්තේ මරදාන පැත්තට ය.(ප්‍රතිවිරුද්ධ දිසාවට) දැන් කොරන්නට දෙයක් නැත.තුනෙන් දෙකේ බහුතරයට ඉඩදී මා බොරැල්ල කනත්ත ලගින් බැසගතිමි.(එක පාරට සුදු දුමාරයක් සමග හද්දා හීතලක් ඇති විය.ඒත් සමගම දරුවෙක් අතින් ගත් සුකොමල කාන්තාවක් මතුවී අනේ මල්ලි රෙද්ද ඇඳගන්නකං ලමයා වඩාගන්නැයි කියා……අපෝ එහෙව් මගුලක් වූයේ නැත.සත්‍ය සෑමවිටම ප්‍රබන්ධයට වඩා බිහිසුණු යැයි පුරාණ කියමනක් පවතී..හොඳම හරිය දැන් ය.)
බැසගත්තාට පසු අවබෝධ වූ පරිදි,මා සිටින්නේ බේස්ලයින් පාරේ හරි මැද ය.කොහෙන් එතෙන්ට පාත් වූවාදැයි සිහියක් නැත.දෙපැත්තෙන්ම වාහන පීක් ගාමින් යයි.කොහොමින් හරි ඩබල් එකේ පාර පැනගත්තෙමි.සාමාන්‍ය දිනවල ටිකක් සෙනග සිටියද එදා පාරේ බලු බල්ලෙක් නැත.දැන් මරදානට යාගන්ඩ වෙන්නේද ක්‍රමයක් හොයාගෙන ය.සක්‍ර දේවේන්දරයාගේ මාතලී දිව්‍ය පුත්‍රයා මෙන් ඔන්න,කොහෙන්දෝ ප්‍රාදූර්බූත වූ එකම එක තුන් සක රියක් සමග මහ රෑ අයියා කෙනෙක් සිටිනවා ය.”මල්ලේ කොහෙටද..” කියමින් පොර මට අඬගසයි.දිව්‍ය පුත්‍රයා කිව්වාට පොරගේ රූපකාය දිස් වූයේ ළගට ගියාම ය.පොර ආයෙ මොකුත් නැත.කෙලිම්ම ඔරිජිනල් කොලොම්බෝ වැසියෙකි.කොණ්ඩය රතු පාට ය.ඒකේ රත්තරං පාටින් මොනවාදෝ කර තිබේ.අතේ හෙන පච්චයකි.ඉරිච්ච ඩෙනිම් සෝටක් ගසලා ය.නහයේ ද කනේ ද කරාබුවකි.වැඩි විස්තර ඕනෑ නැත.අම්මලා පොඩි කාලේ ළමයින් කතා නොකළ යුතු මිනිසුන් ලෙස උදාහරණයට ගන්නා අච්චුවේ පොරකි.ඔන්න දැන් ආපසු හැරෙනටත් බැරි ය.ගෙදර යන්නට ක්‍රමයක් ද නැත.නහයෙන් උඩට ගිලුනයින් පස්සෙ ඔලුවෙන් උඩට ගිලුනත් මොකෝ යි හිතමින් මම තීරෝදයට නැගුනෙමි.අපේ දිව්‍ය පුත්රයා මාගේ දැනුම්දීමෙන් පසු රථය මරදාන පාරට දාගත්තේය.
නීඩ් ෆෝ ස්පීඩ්,ගෝස්ට් රයිඩර් බවට පත් වන්නට විණි.අම්මටසිරි වෙනවා ය.මූ උගෙ අප්පගෙ පාරවල් මෙන් මරදාන පැත්තට විදින්නට විනි.ශෝ එක පටං ගන්නේ දැන් ය.පාරේ සෙනග අඩු ය.ඒත් ටැෆික් ලයිට් ඉතිං සුපුරුදු පරිදි දැල්වේ..ඉස්සරහා මංසන්ධියක රතු ආලෝකය දැල්විණි.අපේ රියදුරු මහතා ඇස්සිලේටරයෙන් අත අහකට ගැනීමේ සූදානමක් නැත.වහාම ක්‍රියාත්මක වන පරිදි දෙපස ටැෆික් පොලිසිය හෝ වෙනත් වාහන ඇත්දැයි ටාං ටාං ගා නෙතග බැලුම් දෙකක් හෙලූ මේ යකා වේගය තව වැඩි කරමින් අත් දෙක එසේ තිබියදී කඳ වින්ඩ්ස්ක්‍රින් එකෙන් පල්ලෙහාට නවාගත්තේය.ඔව් රසික රසිකාවියනි ! දැන් පාරේ සිට බැලුවෙකුට පේන්නේ රියදුරෙක් නැතිව ධාවනය වන තුන් සක රියකි.උවමනාවෙන් බැලුවොත් පසුපස අසුනේ දෙයියෝ බුදුන් සිහිකරන මාවත් දර්සනය වන්නට ඉඩ තිබුණි.සමහරවිට පාරේ CCTV වල මෙතුමාගේ මූණ වදිනවා විය හැක.මීටර දෙතුන් සීයක් මෙසේ ඔලුව නවා සිටි ලොක්කා යළි කෙලින් විය.දැන් රථය යළි අධිවේගී ගමනේ ය.(කොහොමත් එය අධිවේගී ගමනේම ය.) බොරැල්ලේ සිට මරදාන දක්වා ඇති ට්‍රැෆික් ලයිට් තුන හතරේම රතු එලිය තිබූ අතර ඉතිං සිදුවීයේ කුමක් දැයි ආයෙ ආයේ නොකියමි.හදිසියේ හෝ තඩි ලොරියක් නැත්තං බස් එකක් පාර හරහා දැම්මේ නම් ඉස්කෝලේ කාලෙ රස කතාව නෙස්කැපේ එකකින්, මාරි විස්කෝතුවකින් හා කැරම් බෝඩ් එකකින් කෙළවර වන්නට සීයට එකසිය පනහක විතර සම්බාවිතාවක් තිබුණි.
කෙසේ හෝ ඉතිං මරදාන දුම්රියපොළ ඉදිරියෙන් ගමන නිමාවිය.කොටිම්ම නෝනාවරුනි මහත්වරුනි මේක ටයිප් කරන්ඩ ගිය වෙලාව වත් ගමනට ගතවූයේ නැත.බෝම අමාරුවෙන් පණ ගැහි ගැහී බිමට බැසගත් මම “කීයද අයියේ” යැයි විමසුවෙමි.මෙතෙක් ඔල්මොරොන්දන් වී සිටියා නම්,අපේ ඩයිවර් අයියාගේ උත්තරයෙන් මා හොල්මන් ද පෝල් විය. “පන්සීයයි” මිනිහා ගත් කටටම කීවේය.ආයෙ ඉතිං බාගෙට මැරී මැරී මහන්සි වී duty කර ගෙදර යන අපේ හිඟන සිස්‍ය ආර්තිකේ හැටියට පන්සීයක් ඒ දිනවල දෑහැට වත් නොදැක්ක බව ඔබට අමුතුවෙන් කිව යුතු නැත.මරණ තුනක් ඇති මිනිසෙක් පැණී කෑය වගේ,ගැලවෙන්නට ක්‍රමයක් කල්පනා කළෙමි.දිගටම මෙතන හිටියොත් ලොක්කා මාව කැති ගාන්නට ද බැරිකමක් නැත.කෝච්චිය ගියොත් බඩු පැකට් ය.ඒ අස්සේ පොර “කනවා තෝගෙ කැවුත්ත අද මං” වැනි බැල්මක් මාගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා හෙලීය.
ඉතිං ජනතාවනි,හොට් පසුට් එක ඉවරය.
දැන් “රන්” එක දෙන වෙලාවයි.
“ඉතිපිසෝ බගවා අරහං මෙච්චරයි අයියේ තියෙන්නේ…” යැයි සාක්කු ඔක්කොම අත පත ගා එකතු කරගත් රුපියල් දෙතුන් සිය ගානක් දිව්‍ය පුත්‍රයාට ගුලිකර දී, පොර එය දිග ඇර බලා තීරෝදයෙන් එලියට බසින පමාවට,තුන් පිම්මෙන් පාර පැන,පාර මැද වූ වැටෙනුත් රිංගා,බෑග් එකත් තුරුල් කරගෙන රගර් ක්‍රීඩක සෙයියාවෙන් ඉස්ටේසමට දිව ගියේ එය වගකිවයුතු රජයේ ආයතනයක් බැවින් අරූ අඩුගානේ මට අනින්නට මේක ඇතුලට නං නොයෙනු ඇතැයි විස්වාසයෙනි.මව් බාසාව පෙරටු කොට ගත් සුන්දර වදන් මාලාවක් කන පසුපසුන් ඇසුනත්,පොර පස්සෙන් එන්නේදැයි බලන්නට වත් ආපසු හැරෙන් නැතුව කකුල් දෙකට පිං දිදී දිවගොස් ඒ ගැම්මටම පඩි පෙලත් බැස,ප්ලැට්ෆෝම් එකටත් දුවා එවලේම පැමිණි අවසන් දුම්රියට නැග වාඩි වූ පසු,ඔන්න යාතං දෙයියනේ කියා හුස්මක් ගැනීම ආරම්භ කළෙමි.
හිත මිතුරනි,දැන් ඉතිං කෝච්වියට ටිකට් ගත්තා දැයි වැනි ගොං ප්‍රස්න නොඅසන්න.රස කතාව ඔන්න ඔහොමය.රස කොච්චර ද කියනවනං තව පොඩ්ඩක් රසවත් වූවා නං කතාවක් නැති වන්නට ද ඉඩ තිබිණි.
ඔච්චරයි