“අම්මේ ,තාත්තේ මම ගිහින් එන්නම්…..”
සමීර සුපුරුදු ලෙස වව්නියා යාමට මවගෙන් හා පියාගෙන් ආශිර්වාද ලබාගෙන නිවසින් පිටත් වුනා.නමුත් ඊයේ තරම් උද්යෝගිමත් බවක් ඔහුගෙ මුහුනෙන් පෙනුනෙ නම් නැහැ.
ඒ බව දුටුවෙ අඳුරෙ උවත් ඔහුගේ සහයක තුෂාරයි.
“මොකෝ බන්.ඊයෙ තිබ්බ එළිය කෝ බන් උඹෙ මූනෙ.”
“නෑ මොකුත් නෑ තුෂාර අයියෙ.ඇඟට ටිකක් හරි නෑ වගේ….ඒකයි…”
“අනේ පලයන් බන් යන්න.උඹට තියෙන්නෙ ඇඟට අමාරුවක් නෙවෙයි.හිතේ අමාරුවක්.අර නංගි අද යන්……”
තුෂාරට ඒබව සැඟවීමට තමාට නොහැකි බව සමීරට එයින්ම තේරුණා.ඇත්තෙන්ම සමීරට තිබුනේ ඒ දුකයි.තවත් සතියක් යනතුරු ඇයව දැකගැනීමට නොලැබීමේ දුකයි.මේ ගමන පුරාම කොතරම් පාළුවක් දැනේවිදැයි සමීරට හරිහැටි වැටහීමක් නොතිබුණත් ඒ දුක ඔහුගෙ මුලු හිතම වසාගෙන තිබුනේ මුලු අඳුරම වෙලාගෙන ඇති සුදුපැහැ සීත මීදුම මෙනි.
සතිය මැද දිනයක් නිසා එතරම් සෙනඟක්ද බස් රථයේ නොවීය.සුපුරුදු වේලාවටම බස්රථය රාත්රී ගමන ආරම්භ කලත් මේ ගමන නොගියා නම් හොඳ යැයි හිත ඔහුට නිතරම පැවසුවා.ඒ ප්රාර්ථනා මේ ගමන නොයන නිසා බව සමීරට හොඳින් වැටහුණා.
සමීර බස්රථය ගලහා හන්දියේ නැවැත්වීම තුෂාරට පුදුමයක් ගෙනදුනි.
“ඇයි මල්ලි….මොකෝ අවුල….?මෙතන කවුරුත් නෑනෙ…”
“ආ ඔව් නේද තුෂාර අයියේ..නෑ මම බැලුවෙ බැරිවෙලාවත් කැම්පස් ලමයෙක්වත් එයිද කියලා….”
“පිස්සුද බන්…අද කොහෙද කැම්පස් ළමයි.මේ සතියෙ මැද දවස්වල කවුරුත් නෑ.මං දන්නැද්ද…ආයි සිකුරාදා දිහාට තමයි….”
බස්රථය නැවැත්වූයේ කුමක් නිසාද කියා තුෂාරට ඉවෙන් මෙන් තේරුණා.ඒ නිසාම තුෂාරට සමීර ගැන දැනුනෙ අනුකම්පාවක්.
සමීර දුක්මුසු මුහුණින් හිස වනා නැවත ගමන් ඇරඹුවේ යලිත් වරක් ජනේලයෙන් හිස එලියට දමා අවට හා පසුපස බලලාමය.
මොහොතකින් බස්රථය ගැටඹේ බෝධිය අසල නතරකළ සමීර තුෂාර සමඟින් පඬුරු දමන්නට බැස ගියේ සුපුරුදු පුරුද්ද නිසාමයි.
“ඇත්ත කියහන්…උඹ බෝධිය ළඟට ගිහින්
මොනවද ප්රාර්ථනා කලේ.වෙනදා හිතන දේට වඩා දෙයක්නම් උඹ අද හිතුවා.ඒකයි උඹ වැඳලා ආපහු එන්න වෙලා ගත්තෙ….නේද සමීර මල්ලි…”
“ඔව් තුෂාර අයියේ.ඔයාට බොරුකියන්නෙ මොකටද…මම ප්රාර්ථනා කලේ අර කෙල්ලට කිසි කරදරයක් කවදාවත්ම වෙන්න එපා කියලා…කැම්පස් එකේ තනියම…මේ පැත්තකවත් දන්න අඳුරන කවුරුත් නැතිලු.ඒකයි තුෂාර අයියේ.”
“මට හිතුනා…උඹ ගලහා හන්දියෙ නැවැත්තුවෙත් ඒකයි…..උඹ පව් බන්.ආදරේ එහෙම තමයි ගොඩක් වෙලාවට අපිව මාර විදියට අසරණ කරනවා.සමහර විට ඒ කෙල්ලත් ඔහොමම හිතනවා ඇති.
මම කියන්නද වැඩක්….?”
“මොකක්ද තුෂාර අයියේ?”
“උඹ එයාට කැමතිනම් උඹ කෙලින්ම කියපන් ආදරෙයි කියලා.හංගං ඉඳලා දුක්විඳින්න ඕනි නෑනෙ බන්.”
“ඒත් තුෂාර අයියේ එයා මෙඩිකල් ෆැකල්ටියේ..තව අවුරුදු හතරකින්,නැත්තම් පහකින් එයා ඩොක්ටර් කෙනෙක්.එයාට ලස්සන අනාගතයක් තියෙනවා.මම නිකන්ම බස් ඩ්රයිවර් කෙනෙක්.මම කොහොමද එයාගෙ ඒ ජීවිතේ අඳුරුකරන්නෙ ආදරේ වෙනුවෙන් උනත්….”
“උඹේ හිත හොඳ වැඩී බන්….ඒත් ඒ කතාවත් ඇත්ත.එහෙමනම් උඹට තියෙන්නෙ එයාව අතාරින්න.හොඳ කෙනෙක් කැම්පස් එකෙන්ම එයා හොයාගනී…”
ඒත් ඇයව අත්හැරීම සමීරට කිසිසේත්ම කල නොහැකිය.ඒ ගැන දන්නේ සමීරම පමණයි.කතාවෙන් කතාවෙන් බස් රථය මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පලට පැමිණියේ සමීරටවත් නොදැනීය.
සුපුරුදු සීතල මුලු සෙංකඩගල පුරයම සේම මුලු ගතම වෙලාගෙන අවසානය.ඔහුගේ හිතේ පලමු වතාවට ඇතිවූ දුක්මුසු පාලුව ද එසේය.
රාත්රී නවයයි පහලවට බස්රථය ගුඩ්ෂෙඩ් බස් නැවතුමෙන් වව්නියාව බලා ගමන් ආරම්භ කලේ දැඩි සීතලක වුවත් සමීරට එය නොදැනුනි.ඊයේ දින ඇඳගෙන ගිය නිල්පැහැ ජර්සියවත් සමීරගේ ඇඟේ නොතිබිණි.ඔහු ඇඳ සිටියේ අත් කොට ටීෂර්ට් එකකි.එය මෙවැනි ගමනකදී ඇඳසිටීම පහසුවෙන් කල නොහැකිබව තුෂාර අත්දැකීමෙන් දනී.
“සමීර මල්ලී…උඹට නිදිමතද….?”
තුෂාරට මදක් බය හිතුනේ බස්රථය තරමක් වේගයෙන් අඳුර කපාගෙන ගමන් කල නිසයි.ඒ අතර සමීරගේ දෑස් , ඔහු බර කල්පනාවක බව පෙන්නුම් කලා.
“සමියා….උඹ දැන් අර නංගිව අමතක කරහන්.මේගමන ගිහින් එනකල්වත්….උඹ ඔය කල්පනා කරන විදියට මටත් බය හිතෙනවා….හතලිස් පහක් විතර බස් එකේ ඉන්නවා.පරිස්සමින් කල්පනාවෙන් යං.”
සමීරට අවදානම වැටහුණේ එවිටයි.තමන්ගේ ගැටලුවක් නිසා අහිංසක මිනිසුන්ගේ ජීවිත අවදානමේ දැමිය නොහැකි නිසා ම අපහසුවෙන් හෝ සමීර මාර්ගයට හිත යෙදවීමට හිතහදාගත්තා.ඒත් හිතපුරා මැවෙන ප්රාර්ථනාගේ රුව නතරකිරීමට ඔහුට නොහැකි විය.
සමීරගේ මුලුගමන පුරාම ඔහුට දැනුනේ කවදාවත් නොදැනුනු තරමේ තනිකමක්.වව්නියාවේ සිට නුවර හරහා ගම්පොල පැමිණෙන ගමන් වාරය පුරාමත් සමීරගේ සිත කලින් දිනයේ ඇයත් සමගින් පැමිණි ගමනම සිහිකලත් ඒ සෑම සිහිවීමක් අවසානයේ ම ඔහුට දැනුනේ දරාගත නොහැකි තනිකමක්.
“හෙලෝ….මේ වව්නියාව බස් එකේ අයියා නේද?”
සිකුරාදා දින උදෑසනම සමීරට ඇහැරුණේ මේ දුරකතන ඇමතුම නිසයි. ඔහුට වව්නියාව බලා යාමට ඇත්තේ අද රාත්රියේදීයි.
“ඔව් කවුද මේ……?”
කතාකරන්නේ තරුණියක් බව වැටහුනත් ඒ කවුද කියා සමීරට හිතාගැනීමට නොහැකි විය.ඒත් මොකක්දෝ හුරුපුරුදු බවක් ඒ කටහඬේ තියෙන බවක් සමීරට දැනුණා.ඔහු කතාකලෙත් ඒ සැකයෙන්මයි.
“අයියේ මම අර මැදවච්චියෙ ඉඳන්…..”
“ආ නංගි ඔයා…කොහොමද මගේ නම්බරේ හොයාගත්තෙ.ගොඩක් දවසකින් කටහඬ ඇහුනෙත්…”
සමීරට සියලු දේම සතුට නිසා ඉබේම එකදිගට කියවුනත් අවසානයේදී ඔහුට දැනුනෙ ලැජ්ජාවක්….
“අනේ සොරි නංගි…මම මේ…මම මේ……”
සමාව ගැනීමටවත් ගොතනොගැසී කතාකිරීමට සමීරට නොහැකි වුනා.
“අයියේ…මම දන්නවා ඔයාට මං කතාකලාම ගොඩක් සතුටුයි කියලා…ඒ හින්දමයි ගොඩක් අමාරුවෙන් ඔයාගෙ නම්බර් එක ඉල්ලගත්තෙ අපේ අයියාගෙන්….මමත් ගොඩක් දුකෙන් හිටියෙ අයියෙ ඔයාගෙ කටහඬවත් ඇහෙන්නැතුව.
මට ඔයානැතුව ඉන්න බෑ අයියෙ.මම දන්නෑ ඒ ඇයි කියලා….ඒත්….අයියේ ඔයාගෙ කටහඬ අැහුනත් මට සැනසීමක් අයියේ….”
ඇගේ හඬ හැඟුම්බර බව සමීරටත් දැනුණා.සමීරගේ දෑස් අගත් කඳුළු බිඳු දිලිසුනේ ඇය කතාකල සතුට නිසාමයි.වසර ගනනාවක් වැහි බිඳක් නොමැති කතරකට දිය බිඳක් වගෙයි ඇයගේ හඬ ඔහුට දැනුනෙ.ඒත් සමීර කඳුළු පිසදාගෙන හිතට එකඟව ඇය හා කතාකිරීමට සිතාගත්තා.ඒවෙනුවෙන් ඔහු කවදාවත් නැතිලෙස හිත තදින් දැඩිකරගත්තේ අපහසුවෙන්.
“නංගි මේ අහන්න.මටත් ඔයාව නොදැක ඉද්දි මහ තනිකමක් පාළුවක් දැනෙනවා.ඒත් ඔයා කැම්පස් එකේ ලමයෙක්.
නිකන් ළමයෙක් නෙවෙයි මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්.කවදාහරි ඔයා රටට ලොකු සේවයක් කරන ඩොක්ටර් කෙනෙක්.ඔයාගෙ අනාගතේ පැහැදිලී.මම කොහොමද නංගි ඒ අනාගතේ දැන දැනම අඳුරු කරන්නෙ.”
සමීර කතාකලේ අවංකවමයි.තමන්ගේ ආදරයට වඩා ඔහුට වටින්නේ ඇයගේ ජීවිතයයි.ඇයගේ ඒ සුන්දර ජීවිතය වෙනුවෙන් තමන්ගේ ආදරය උපන්ගෙයිම මරා දමන්න සමීර හිතහදාගත්තේ පහුගිය දිනගනනාවක දුෂ්කරක්රියාවකින් පසුවයි.
“අයියේ….මගේ ජීවිතේ මේවගේ හැඟීමක් ආපු පළවෙනි වතාව මේ.මගේ හිත නැවතුණේ ඔයාලඟ.මම පහුගිය දවස් ටිකේම කල්පනා කලා මේගැන.
අනික ඔයාගෙ රස්සාව පහත් නෑ අයියේ.මම කවදාහරි බෙහෙත් කරන්නෙ ලෙඩවුන කෙනෙක්ට.ඒත් ඔයා ඔය කරන්නෙ සියගාණක් අහිංසක මිනිස්සුන්ව තුවාලයක්වත් නොවී පරිස්සමින් එක්කගෙන යන එක.
ඒක හින්දා ඔයා ඔයාගෙ තත්වෙ පහලට දාගන්න එපා අයියේ.මට ඒවා වැඩක් නෑ.දන්නවද …කෙල්ලෙක් නවතින්නෙ ආදරේ,ආරක්ෂාව දැනුණ තැනක අයියේ.
රස්සාවවත්,සල්ලිවත් තියෙන තැනක නෙවෙයි.මමත් සාමාන්ය කෙල්ලෙක් අයියේ.මට මගේ අයියට පස්සෙ පිරිමි කෙනෙක්ගෙන් කියලා ආරක්ෂාවක් දැනුනෙ ඔයාගෙන් අයියේ…..”
ඇය කතාකරන්නේ හඬමින් බව සමීරට තේරුණේ ඇය ඉකිගසන හඬ දුරකතනයෙන් ඇසුන නිසයි.
“නංගී ඔයා අඬනවද…?”
“න්…නෑ….නෑ අයියේ…..”
“මට තේරෙනවා නංගි.ඒත් ඔයාට මට වඩා ආදරේ කරන කෙනෙක් ඔය කැම්පස් එකේම සමහර විට ඇති නංගි.ඒත් එකදෙයක් .ඔයාගෙ හිත නතරවුන ඕනිම තැනක ඔයාට නතරවෙන්න පුලුවන්.ඒත් කවදාවත් වැරදි දෙයක් කරන්න එපා.ඔයාගෙ චරිතෙට,ජීවිතේට හානියක් වෙන කිසිමදෙයක් කරගන්න එපා.මං වෙනුවෙන්වත් ඔයා හොඳ දක්ෂ වෛද්ය වරියක් වෙන්න ඕනි.මාව අමතක කරන්න.මම හින්දා ඔයාගෙ ජීවිතේ අඳුරු කරගන්න එපා නංගි….”
ඔහු ඉක්මනින්ම ඇයට වචනයක්වත් කතාකරන්නට ඉඩ නොදී දුරකතනය විසන්ධි කලේ දැඩිකරගෙන කතාකල හදවත දියකරමින් කඳුළු ගලාගෙන යන අතරයි.
ඇයට ඔහු දැනෙන්නට සැලැස්වූයේ තමන් දැඩි හදවතක් ඇති අයෙකු බව උවත් ඇයට එය දැනුනේ තමන්ටත් වඩා තමන්ගැන සිතන, කිසිවෙකුටත් නොලැබෙන තරමේ ආදරයක් ලෙසයි.