පූනානි හොල්මන් (රසකතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
නිරෝධායනේ කියන්නෙ මහා භයානක අත්දැකීමක් කියල හිතාගෙන මිනිස්සු පැනල යන්නෙ ඇයි කියල මට නම් හිතාගන්න බෑ. ගෙදරට වඩා සැලකිලි එතන. මේ කතාව පූනානි වල නිරෝධායනේ වෙද්දි වෙච්ච සිද්දියක්.
අපිත් එක්ක ලංකාවට ආපු ගොඩක් අය පූනානි වල තමයි නිරෝධායනේ උනේ. එහෙන් ඉද්දි වැඩි පරිස්සමට කියල අස්සක ගහගන්න ගියපු ට්රැවලින් බෑග් එකේ යතුර එයාපෝට් එකේ බිමට අතෑරලා ආපු නිසා ඉබ්බා කඩාගන්න යකඩ බඩු හොයලා මම ටිකක් පෙසිද්ද වෙලා හිටියේ.
අපි හිටියෙ බිල්ඩිමේ දෙවනි තට්ටුවෙ පඩිපෙල අයිනෙම කාමරේ. උඩ තට්ටුවෙ පිරිමි ලමයි. යට තට්ටුවෙ පවුල් පිටින් ආපු අය. ඉතින් ඔතනින් උඩට යන හැම එකාම රැයක් දවාලක් නැතුව අපේ දොරට තට්ටු කරන් යන්නෙ. එක්කෝ ඒක පූනානි වල චාරිත්රයක්ද දන්නෙත් නෑ. නැත්තම් හැම එක්කෙනාම ඕක කරන්නෙ නෑනෙ. කොහොමහරි මර නින්දෙ ඉද්දිත් උඩ ගිහින් ඇහැරෙනවා ඔය තට්ටු දැමිල්ල නිසා.
අපිට උදේ 6ට තේ හම්බෙනවා. ආයි දවල්ට තේ හම්බෙනවා. හවසට කොත්තමල්ලි. අර උඩ තට්ටුවෙ උන්න කොලු නඩේට තේ නැතුව බෑ. මුංගෙ වැඩේ රෑ ජාමෙට තේ කොල, උණු වතුර හිඟාකාලා තේ හදාගන්න එක. රෑ දොලහට එකට දොරවල් වලට තට්ටු කර කර සීනි,තේ කොල හිඟමනේ යන එක තමා මුංගෙ රාජකාරිය. එක පාරක් කාමරේ දොර ගාව පෝලිමට වාඩි වෙලා තාලෙට ‘සීනි නැද්ද බං… සීනි නැද්ද බං..” කිය කිය විලාප දෙද්දි ලෙමන්පෆ් දීලා යන්තං එලෝගත්තෙ.
මට ඒ දවස් ටිකේ තිබ්බ ලොකුම විනෝදෙ තමා ෆොටෝස් ගහන එක. පූනානි වල තණකොල ගහේ ඉඳන් ෆොටෝ ගන්න එකෙං තමා මගෙ මලක් වගේ මෙලෙක් හිත පිනා ගියේ. මගෙ ෆෝන් එකත් එසේ මෙසේ භාන්ඩයක් නෙමේ. ඉන්දියාවෙ ලැට් වලකටත් අත දාලා නිරුපද්රිතව ගොඩ ගත්ත රත්තරං ෆෝන් එක. ඒක උනේ ඔය රාජකාරිය කරන්න ගිය වෙලාවක පසන් කියල යාලුවෙක්ගෙන් කෝල් එකක් ආපු නිසා. වෙච්ච දේ හිතාගන්න බැරුව අන්දමන්ද වෙලා තත්පර ගානකට පස්සෙ පසන්ගෙ මූණ ටොයිලට් වලෙං පේනකොට මගෙ හදවත උණ්ඩුකපුක්ච්චෙට බැස්සා. තව ඩිංගෙන් ඒක ඇහිඳගන්න වෙන්නෙත් ලැට් වලෙං.
ඔහොම ගොම්මනේ ගහපු ෆොටෝ එකක හොල්මනක් වගේ මොකක්දෝ අටමගලක් වැදිලා තිබ්බා. දැන් අපි මැරෙන්න බය වෙලා. ඒ අස්සෙ එක එක්කෙනා අත්දැකීම් බෙදාගන්නවා. අපේ කීපදෙනෙක්ටම එකේක ජාතියෙ සද්දත් ඇහිලා තිබ්බා. මගෙ ෆොටෝ එකෙන් පස්සෙ ඔය හිත අස්සෙ අගුල් දාං හිටපු සද්ද බද්ද ගැන වාර්තා පිට වාර්තා ඉදිරිපත් වෙන්න ගත්තා.
ඔය සද්ද මටත් ඇහිලා තිබ්බා.සද්ද කියන්නෙ බඩු මුට්ටු පෙරලන අනං මනං නෙමේ, රෑ දොලහ පහු උනාට පස්සෙ ලමේක් කෑ ගහන සද්දයක් ඇහෙන්නෙ. නිකං අඬනවා වගේ. ඒ තරම් පොඩි වයසක ලමේක් අපි හිටපු අක්කර ගානටම නෑ.
සෝශල් ඩිස්ටන්ස් එකට හෙන ගැහෙන්න කියල අපි කාමරේ ඇඳවල් හතරම ඇදල ලං කරගත්තා. මොනාත් කරගන්න බැරි උනත් හොල්මන එන වෙලාවට බදාගෙන මැරෙන්න හරි බැරියැ. ඒකත් මදැයි තනියෙං පරලෝ සැපත් වෙනවට වඩා.
අපි දැන් බයේ උපරිම තලේටත් පොඩ්ඩක් උඩිං. වැසිකිලියට යන්නෙත් පෝලිමට අත් අල්ලං. අවදානමක් ගන්න බෑනෙ. හොල්මන අර ‘පිස්සු කන්නා’ කියන යූටියුබර්ගෙ රසිකයෙක් නං හෙම… තියෙන්නෙත් මෙච්චරයි රාජකීය පස්සකට. ලැට් වලෙත් හොල්මන් හොයන මානසිකත්වෙක හිටියෙ.
කොරන්ටයින් අන්තිම දවස වෙද්දි අපි හිටියෙ පරාණ බය වෙලා. ෆිල්ම් වල ඔහොම හොල්මන් ඒ භූමියෙන් යන්න දෙන්නෑනෙ. අහස කලු වෙලා තඩි හුලඟක් ඇවිත් පූනානි බෝඩර් එකේ ගස් කඩං වැටිලා අපිට යන්න දුන්නැත්තං.. අපි දැන් හිත හදාගෙන රෑ නිදාගන්න ආවා. මම හිටියෙ අයිනක. මට එහා පැත්තෙ කෙට්ටු පොඩි නංගි කෙනෙක්. ඊට එහා පැත්තෙ අපිත් එක්ක ආපු සද්දන්තම එක්කෙනා. කෙලවරේ තව ලමේක්.
රෑ දොලහත් පහු වෙලා එක පාරට අර නංගි ‘අනේ අක්කේ’ ගාගෙන මගෙ ඇඟට පැනල මාව බදාගත්තා. ඇඟ පොඩි උනාට මට අතක් හොල්ලන්නවත් බෑ මේකි කිටි කිටියෙ තද කරගෙන. මං හිතුවා ‘හරි, ඉන්න යකා මේකිට වැහිල තමා’කියල. ඉතිපිසෝ මැද්දෙං කරණීය මෙත්ත සූත්රෙත් රීමික්ස් වෙනවා. මංගල සූත්රෙ කෑලිත් කියවෙනවා. කරණීය මෙත්ත සූත්රෙ කියාගෙන යද්දි ‘ඒතං මංගල මුත්තමං’ කියලත් ඉවර වෙනවා සමහර පේලි. ඔය වෙලාවට එකක්වත් හරියට කියවෙන්නෑ. සාදු සාදු කියල විතරයි වැරදෙන්නැතුව කියාගන්න පුලුවන්.
මං අවසං ගමන් යන්න හිත හදාගෙන ඇස් පියාගෙන හිටියා. පොඩ්ඩකින් ඔන්න ඇහෙනවා ආයිත් ලමේක් අඬන සද්දෙ. අපි දැන් පරාණ බයේ. අර නංගි මගෙ ඇඟට පැනල තියෙන්නෙත් ඒකට බයේ.
අපි අර මැද ඉන්න සද්දන්තයව ඇහැරවන්න බැලුවා. හදිස්සියෙ යකා ආවොත් අර හේමාල් අයියා යකා එක්ක ගහගත්තා වගේ ගහගන්න පුලුවන් එකෙක්ට ඉන්නෙත් එච්චරයි. මොන ඇහැරිලිද.. කොණ්ඩෙත් වනාගෙන ෆෑන් එක යටට වෙලා ඒක බුදි. ඒක දැක්කම ඊට වඩා බයයි.
ආයිත් ඇහෙනවා ලමයා අඬනවා. මහා මූසල දුක්බර අඳෝනාවක්. එකපාරට ඒ අස්සෙං පිරිත් සද්දයක් ඇහුනා. බලද්දි කෙලවරේම එක්කෙනා හොරා වගේ පිරිත් දාලා. දැන් පොඩ්ඩක් සැටිස්. කටින් කිව්වනං ඕක වැරදිලා දෙයියොත් කෝප වෙනවා.
අපි උඩ තට්ටුවෙ ඉන්න පිරිමි ලමයින්ට කෝල් ගත්තා එක දිගට. ආන්සර් කරන්නෑ. නිදි ඇති. එක පාරට හුළඟක් එක්ක බැල්කනියට මොකක් හරි වැටුනා ඇහුණා. අවසානෙ අත ලඟයි. හොඳ වැඩ පොතක් ලිව්වනම් ඊලග ආත්මෙට හරි මොනාහරි මතක් කරගන්න තිබ්බා. කරපු අවලං වැඩමයි මතක් වෙන්නෙ. බලපු හොල්මං කතා මැවි මැවි පේනවා. කොහොමහරි වෙවුල වෙවුලා කෝල් කරල උඩ ඉන්න දෙන්නෙක් ඇහැරෝගත්තා. ඇඬෙන්න වගේ. අපි හොඳටම බය වෙලා නිසා ඒ දෙන්නා පහලට ඇවිත් අපිව සනසවලා තේ කොලයි පිටියි හොයාගෙන තේත් හදල දීලා නිදාගන්න කියල ගියේ.
එහෙම කිව්වට නිදාගන්න පුලුවන්ද. කන සාක්කුවෙ දාං නිදං හිටපු එකාවත් ඇහැරෝගත්ත එකේ අපි හතර දෙනා ඇඳට වෙලා සිංදු කිය කිය හිටියා උදේ වෙනකං. නින්ද ගියාට පස්සෙ යකා ආවොත් එහෙම දන්නෙත් නෑ කාල යනකං. උදේ වෙනකං නිදිවරලා යන්තම් ඇඳගෙන පූනානි වලට සමුදීලා ගෙදර ආවා. හොල්මන් නැත්තම් පදිංචි වෙලා ඉන්න තිබ්බත් සැපයි එහෙම කඳවුරක. කන්නද බොන්නද සැලකිලිද… මොන අඩුපාඩුද..
ගෙදර ආවට පස්සෙ තමා දන්නෙ අර උඩ හිටපු ගස් ගොබිල වල් හිපාටුවො ටික බ්ලූටූත් ස්පීකර් එකක් බැල්කනියට දාලා තමයි අපිට දරු සෙනෙහස ඇති කරවල තියෙන්නෙ. දවස් ගානම බබා කෑ ගහල තියෙන්නෙ අපේ බැල්කනියෙ ඉඳන්. අර බැල්කනියට වැටිච්ච සද්දෙත් බෝතල් මූඩියක්. පූනානි වල හුළං නිතර. එහෙම වෙලාවක් බලලා බැල්කනියට චූටි චූටි බඩු මුට්ටු දාලා තමයි අන්තිම දවසෙ අපේ පණ නහල තියෙන්නෙ.
ඔක්කොටම වඩා සම්මානයක් දෙන්න ඕන අපේ දුක අහල හිත හදල තේත් පොවලා ගියපු උන්දැල දෙන්නට.
අදටත් අනිත් තුන්දෙනාම හිතං ඉන්නෙ පූනානි වල හොල්මං කියල. ගෙවල් වල ගිහින් රස කර කර කියන්නැති වැලපෙන ලඳරු අවතාරෙං බේරිලා ආපු වික්රමේ. දැං ඉතින් දැනගනී.
හොල්මං කියල දෙයක් නෑ පුතා..
හොල්මං කියන්නෙ සෙලවෙන මනස…
-ලිව්වෙ තස්සිලා උනාට මේක උනේ ඉන්දියාවෙං ආපු අපේ උපාලිට. පහල තියෙන්නෙ උපාලි ඉරාගෙන විකාගෙන ගත්ත ෆොටෝස්. ඒකෙනුත් අර කලුවරේ හඳ වගේ තියන බෝලෙට තමා හොල්මනක් කියල බය වෙලා තියෙන්නෙ.-

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!