මෙන්න මේ කියන්න යන සිද්ධිය මට උනේ මං පොඩි ඇච්ච කාලෙ. එත්කොට මං හතරෙ පහේ විතර. මං එහෙම කිව්වෙ මොකද අපේ ගෙදර ඉන්න මං වගේ අනිත් රට හරකට ඒ කියන්නෙ මගේ එක කුස උපන් සහෝදරයට එතකොට තනියම වැඩක් කරගන්න බැරි වයසෙ. නැත්නම් මේ සීන් එකට ඌත් මාට්ටු නොවි ඉන්න විදියක් නැති නිසා.
කොහොම හරි, මට මතක ඇති කාලෙ ඉඳල ඒ කියන්නෙ මං ජංගි කොටේ ගහගෙන දුවන පනින කාලෙ ඉඳල අපේ පාලන අධිකාරිය මට පන්සිල් ගන්න පහන තියන්න පුරුදු කලා. ඉතින් මං දැං අර කිව්ව කාලෙ වෙනකොට මං තනියම පහන තියන කාලෙ… කම්මැලි උනත් අපාය මතක් උනාම ඒ කාලෙ පහන තියනව..අපායට වඩා පාලන අධිකාරියෙන් සම්මාන සහතික හම්බෙන හන්ද. දැං බුදු පහන තියෙන්න ඕනෙ ගෘහමූලිකයගෙ හිසට ඉහළින් වගේ කතාවක් තියෙනවනෙ. අපේ ගෙදරත් සාලෙ මුල්ලෙ අහසෙ වගේ උඩින් තමා ඒක තිබුනෙ. මං පහන තියන පියවර මෙහෙමයි. මල් වට්ටිය ගේනව. පුටුවට නගිනව. ඒක පූජා කරනව. පුටුවෙන් බහිනව. පහන ගේනව. පුටුවට නගිනව. පූජා කරනව. බහිනව. පුටුව අයින් කරනව. පන්සිල් ගන්නව. මේ වැඩේට සෑහෙන වෙලා යනව. මොකද ගොඩක් දුර ඈත ඉඳල තමා පහන පත්තු කරගෙන සාලෙට එන්නෙ… ඒ එනකොට මම හේල්ලෙන්නෙත් නැතුව පහන හොලවන්නෙත් නැතුව ගේන්න ඕන නිසා ඒක මහ බර අමාරු කර්තව්‍යක්.
දැං මේ මිත්‍රවරු බලනව ඇති පහන මොකද එතනම පත්තු කරන්න බැරි කියල. ඇත්තනෙ මං ඔය ගිනි පෙට්ටිය කියන එක අරන් ගිනි කූරු ගහල මල් පුප්පන්න පටන් ගත්තු කාලෙ මට ඒක තරම් ආතල් එකක් තිබ්බෙ නෑ. කොටින්ම අපේ ගෙදර පොඩි හරකටත් ඒක මාර ආතල් එකක්. අක්කෙ තව එකක් තව එකක් කිය කිය මූ මාව මෝටිවේට් කරනව. එහෙම දවසක මං ඇදල අරන් දමල ගහල මලක් පුප්පල ඒක නිමල මූට පෙන්න පෙන්න පොඩි සංදර්ශනයක් කලා සාලෙ. හම්මටසිරි වෙන්න කියල එක පාරක් පිපුනු මල නිවුනෙ නෑ. මගෙ අතත් කාගෙන කාගෙන වගේ එනකොට මං ඒක උඩින් විසිකලා.. බඩුම තමා වැටුනෙ පුටුවක් උඩට. පුටුවෙ කුශන් එක උඩ දැං මල පිපිල..මල නෙමෙයි දැං මල් පොකුරු. මං ඒක උඩ නැගල උඩ පැනල දහ අට වන්නම නටල ඒක නිව්ව. නිවල කුශන් එක අනිත් පැත්ත හරවල දැම්ම. එදයින් පස්සෙ මං නෙමෙයි ඒ අමුතු පෙට්ටියෙන් මල් පුප්පන්න ගියෙ. ඔන්න ඕක නිස තමා හද්ද වන්නියෙ ඉඳල පහන පත්තු කරන් සාලෙට එන්නෙ….
කොහොම හරි මං මේ පහන තියන තැන තියෙනව කාමරයක්.. ඒකෙ දොර රෙද්දෙ එකම එක චූටිම චූටි තිතක්… සිදුරක්…ඉරුනු තැනක් තිබුන…. ටිකිරි මාරි කාල හිටිය මට ලස්සන සුන්දර නිර්මාණශීලී අදහසක් ආව! පහනෙ දැල්ල චුට්ටක් එතෙන්ට ලං කලා.. ආයෙ ගත්ත…හම්මේ…මලක් පිපිල…මං ටක් ගාල නිව්ව. මොකද ගින්දර මල් පුප්පන එක සම්බන්ධයෙන් මං හිටියෙ උගත් පාඩම් කොමිසමේ ඒ දවස් වල. දැන් මං පහන තියන පියවරට අලුත් එකක් එකතු උනා. පුටුවට නගිනව. මල් පූජා කරනව. පුටුවෙන් බහිනව. පහන ගේනව. පුටුවට නගිනව.. රෙද්ද පොඩ්ඩක් පුච්චනව. පහන පූජා කරනව. අරක නිමනව.පුටුවෙන් බහිනව. පුටුව අයින් කරනව. පන්සිල් ගන්නව.මේක දැං මං කන්ටිනිවස්ලි කරගෙන යනව සහ එන්න එන්න අර සිදුර ලොකු වෙනව..පුදුමෙ කියන්නෙ මේක ගෙදර කාටවත් මීටර් උනේ නැති එක.
ඔන්න ඒ වගේ තවත් දවසක් උදාවෙලා මං හවස පහන තියන්න ගියා… සුපුරුදු පරිදි මං මගේ ක්‍රියාපටිපාටිය ඒ විදියටම අනුගමනය කරල පහන තිබ්බ. පහන තියනකොට මගෙ අත පැත්තෙන් පොඩ්ඩක් රත් වෙන සීන් එකක් තේරුනාට මං ගනන් ගත්තෙ නෑ…. ඕක ඉතින් නිමනවනෙ කියල. හිතල පහන තියල බලනකොට හත්තිලව්වේ මේක ඇවිලෙනව සූ ගාල. මං මගේ බඩ බොක්කෙ.. නියපොතු අස්සෙ.. පාදාන්තෙ ඉඳල කේශාන්තෙ වෙනකංම ඇඟේ අස්සක් මුල්ලක් නෑර තියෙන හුලං ටික අරං පිම්බට…මොන…ඒක නිකං මහවැලි ගඟේ පාලම යටින් පෙනඩෝල් පෙත්තක් ගියා වගේ…අරක ඇවිලෙනව…දැං මේක මගේ පාලනයෙන් ගිලිහිලා ගිහින් තියෙන්නෙ කියල මට අවබෝධ වෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ… මට තේරුනා වෙන පියවරක් අනුගමනය කරන්න වෙනව කියල. ඒ දවස් වල අපේ ගෙදර හිටිය අක්ක කෙනෙක්.. මගේ ඇඟේ ඊළඟට තියෙන සියලුම වෙර වීරිය දාල මං කලේ එයාට කතා කරපු එක. කොහෙද… පේදුරු තුඩුවෙ ඉඳල දෙවුන්දර තුඩුවට කෑගහන එක ඇහෙයි..ඒ උනාට අපේ ගෙදර සාලෙ ඉඳල කුස්සියට කෑ ගහන එක ඇහෙන්නෙ නෑ නෑ මයි.
ඒ උනාට මගේ වාසනාවට හරි අවාසනාවට හරි ඒක තාත්තට ඇහුන. මං තාත්තගෙ ඡායාව විතරයි මිත්‍රවරුනි දැක්කෙ… දොර රෙද්ද ගලවල බිමට දානව වගේ දැක්ක..ඒකෙ ආයෙ දාන්න දෙයක් තිබුනෙ නෑ වගෙත් දැක්ක… ඊට පස්සෙ තියෙන දර්ශන කිසිවක් ප්‍රදර්ශනයට සුදුසු නෑ… මගේ වටේ තියෙන ඔක්කොම බොඳ වෙලා යනව වගේ මතකයි… බැක්ග්‍රවුන්ඩ් වොයිස් එකක් ඇහුන තාත්තෙ අක්කට ගහන්න එපා කියනව වගේ… මගේ අවදානම අඩු කරගන්න රංගනයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන මම බිමටම වැටිල මැරිල වගේ හිටිය… ඒ උනාට ඵලක් නෑ..තාත්තට ඔය දර්ශන හරියන්නෙ නෑ..පස්සෙ තාත්ත යනකං ඉඳල අවට වට පිටාව පැහැදිලි වෙනකොට මම නැගිටල කාමරේට ගියා…
ගින්දර එක්ක සෙල්ලම් හොඳ නෑ සහෝදරවරුනි!
චමෝදා චන්ද්‍රසේන