මහනුවර නගරය, නගරය අවට තදාසන්න ප්‍රදේශයේ තිබෙන පාසැල් මොනවද ඇහුවොත් පොදුවේ දන්න නම් කිහිපයක් ඔබ කියාවි මහාමායා බාලිකාව, ධර්මරාජ විද්‍යාලය, කිංස්වුඩ් විද්‍යාලය, උසස් බාලිකා විදුහල, ත්‍රිත්ව විද්‍යාලය, සිල්වෙස්ටර් විද්‍යාලය, හේමමාලි බාලිකා විද්‍යාලය, ස්වර්ණමාලි බාලිකා විද්‍යාලය… මෙකී නොකී පාසැල් ගණනාවක්!
ඒත්, පැත්තකින් KCC ගොඩනැගිල්ල, තවත් පැත්තකින් මහජන බැංකුව, Car Park එක සහ ටොරිංටන් වෙළඳ සංකීර්ණය මේ හැමටම මැදි වෙලා තියෙන ඒ අමුතු ඉස්කෝලේ “කැප්පෙටිපොළ මධ්‍ය මහා විද්‍යාලය” නම් කරන්න නම් බොහෝ දෙනෙක්ට මතක් වෙන්නේ නැති වෙයි. මේ ලිපිය ඔබ නොදන්න, අපි දැන සිටිය යුතුම කැප්පෙටිපොල, හරි අමුතු ඉස්කෝලේ ගැනයි!
කැප්පෙටිපොළ විද්‍යාලය ගැන නොදන්න බොහෝ දෙනෙක් අහන්නේ, “නුවර එහෙම ඉස්කෝලයක් තියෙන්න විදිහක් නෑ, එච්චර ඉඩක් කොහෙද?” කියලයි. ඇත්තෙන්ම ඉස්කෝලය සතුව ලොකු ඉඩ කඩක් නැහැ තමයි. තරමක් දිරා ගිය ලෑලි පඩිපෙළවල් තියෙන ගොඩනැගිලි දෙකක්, පොඩි මිදුලක් ඇරුණම කැප්පෙටිපොළ විදුහලට තිබෙන ලොකුම වත්කම ආදරණීය විදුහල්පතිනියත් ,ගුරුමව්පියවරුන් සහ මහනුවර වීදි වල ජීවත් වෙන අහිංසක දරුවන් කැළයි.
ඔව්, කැප්පෙටිපොල විද්‍යාලයේ ඉගෙනුම ලබන්නේ මහනුවර නගරයේ, බොහෝ විට අඩු ආදායම් ලාභී/ වීදි අශ්‍රිතව රැකියාව කරන දෙමාපියන්ගේ, රැකියා විරහිත දෙමාපියන්ගේ, හෝ එහෙමත් නැත්නම් දෙමාපියන් නැති, වෙනත් වැඩිහිටියෙක්/ භාරකරුවෙක් යටතේ හැදී වැඩෙන දරුවනුයි. ඔවුන්ගේ පවුල් පසුබිම ඔබ අපි බොහෝ දෙනෙකුට හුරු පුරුදු සමාජයට වඩා බෙහෙවින් වෙනස්. බොහෝමයක් දරුවන්ට නිවසේදී ආදරය, කරුණාව තබා නිසි අවධානයක් වත් ලැබෙන්නේ නැහැ. බීමත්කමට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණු සමහරක් දෙමාපියන්ගේ දරුවන් ඉතාම දරුණු විදිහට අඩත්තේට්ටම් වලට ලක් වෙන්නේ තමන්ගේම නිවස, ඒ ජීවත් වන පරිසරය තුළදීමයි. තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය අවශ්‍ය නැති බව, වීදියෙන් එහා ලෝකයක් ඔවුන්ට අවශ්‍ය නැති බව විශ්වාස කරන එවැනි දෙමාපියන්ගේ දරුවන්ට අනාගතයක් තනන්නට මේ අමුතු ඉස්කෝලේ විදුහල්පතිනියත්, ගුරු මව්පියන් කරන කැපකිරීම් අනන්තයි.
නමුත් අතලොස්සක් අවස්ථා හැරුණම, ඒ කැපකිරීම් වලට පෙරළා දෙමාපියන්ගෙන් ලැබෙන්නේ මැසිවිලි සහ ගර්ජනාවන් විතරයි. සිඟමන් යදින්නට දරුවන් කැටුව යන්න නොහැකි වීම ඔවුන් නිතරම චෝදනා කරනවා. “රස්සාව කර ගන්න දෙන්නේ නෑ. අපිට කන්න අඳින්න හොයා ගන්න නෑ.” ඒ සියළු චෝදනා ඉදිරියේ නොසැලෙන මේ ගුරු “දෙවිවිරුන්” ඇතැමක් වෙලාවට මහමඟ ඉන්න දරුවන් පාසලට රැගෙන එන්නේ බලහත්කාරයෙන් වගෙයි.
1842 වර්ෂයේදී බැප්ටිස්ට් කොලේජ් මිෂනාරි පාසල විදිහට විදිහට ආරම්භ වෙන විද්‍යාලය 1975 වර්ෂයේදී කැප්පෙටිපොල විදුහල නමින් රජයට පවරා ගැනෙනවා.


වර්තමාන විදුල්පතිනි එස්.කේ. කරුණාවාසල මහත්මිය 2019 වර්ෂයේ පෙබරවාරි මස, පාසැලේ විදුහල්පතිනිය ලෙස පත් වෙනවා. බහුතරයක් දරුවන්ට උදේ ආහාරයවත් නොලැබෙන බව දකින ඇය, ප්‍රදේශයේ ධානපතීන් සමඟ ආරම්භ කළ Kandy We Fight Hunger Facebook පිටුව ආධාරයෙන් හැම දරුවෙකුටම දිවා ආහාරයක් ලබා දෙන ව්‍යාපෘතියක් ආරම්භ කරනවා.
දරුවන්ට විනෝද වෙන්නත්, සහභාගී වෙන්න සහ දක්ෂතා දක්වන්න හැකි වෙන විදිහට, නගරයේ ප්‍රධාන පෙළේ පාසල් වල තිබෙන සැමරුම්, විනෝද වෙන්න තියෙන අවස්ථා සියල්ල අඩුවක් පාඩුවක් නැතිව ඔවුන්ට ලඟා කර දෙන්න මේ ගුරු මව්පියන් හරි හරියට වද වෙනවා. ළමා දිනය, ශිෂ්‍ය නායක දිනය, විවිධ ප්‍රසංග විතරක් නෙමෙයි ඔවුන්ගේ සමාජ තලයේදී අත්විදින්නට අවස්ථාවක් නොලැබෙන හැම ආකාරයකම අත්දැකීම් විඳින්නට, ලබා දෙන්නට කටයුතු කරනවා. ලොකු මුදලක් වැය නොකළත් ඒ පුංචි පුංචි දෙයින් ඔවුන් ලබන සතුට මේ පිංතූර දුටුවම තේරෙනවා ඇති. ඒ හැම අවස්ථාවකදිම ඔවුන්ගේ ඇඳුම් ආයිත්තම් වල ඉඳන් සෑම සියළු දේටම වියපැහැදම් කරන්න විශ්ව විද්යාල ශිෂ්යයින්ගේ ඉඳන්, ඉහල තනතුරු වල නිලධාරින් දක්වා අති විශාල සම්පත්දායකයින් පිරිසක් ස්වේච්ඡාවෙන්ම ඔවුන් එක්ක එක් වෙලා ඉන්නේ මේ ගුරු දෙවි වරුන්ට ශක්තියක් වෙන්නයි.


“කෙනෙක් දුප්පත් ව ඉපදෙනව නම් ඒක ඔහුගෙ වරදක් නෙමෙයි. ඒත් ඔහු දුප්පත්ව මිය යනව නම්, ඒක ඔහුගෙ වරදක්..” (Bill Gates)
මූල්‍යමය ආධාරයක්ම නොවුණත්, ඔබ දන්න කියන දෙයක් කියලා දෙන්න විදුහල්පතිනියත්, ඒ ආදරණීය ගුරු මව්පියනුත් දරණ වෑයමට වචනයකින් හරි ශක්තියක් වෙන්න, ඉඩ තිබෙන වෙලාවක මේ අරුම පුදුම ඉස්කෝලෙට ඇවිත් යන්න අමතක කරන්න එපා. ඒ ඉරි තැලුණු මිනිස් මල්, ඔබ එනකන් බලන් ඉන්නවා.