ළමා පෞර්ෂය ගැන හිතන කොට පුංචි කාලෙ මට ඒක තිබිලම නෑ කියලා හිතෙනවා.
මහනුවර බාලිකා පාසලකට මාව මුලින්ම බාර දුන්නුදා මම අම්මගෙ බඩ බදාගෙන කෑ ගැහුවා මාව දාලානම් යන්න එපා කියලා. වැඩියම ඇඬුවෙ අපිත් එක්ක ආපු මල්ලි මාව දාලා එක පයින්ම අම්මත් එක්ක යන්න බලාගෙන ඉන්න බව මට දැනුන නිසා. මං අඬද්දි ඌ මගේ දිහා බලාගෙන හිටපු බැල්ම මගේ ඉස්සරහා තාම මැවි මැවී පේනවා.
ඉංටවල් එකේදි අක්කලා දෙන්නා ආවා කිරිබතුත් අරං. ඒක කකා ඉද්දි අතුගාන කරුණා(පස්සෙ නම දැන ගත්තෙ) මට විරිත්තුවා. එයාටමතක ඇති මම අඬපු හැටි. ඉතිං මම කෑම නවත්තලා ආයෙම අඬන්න තියා ගත්තා.
එදා හොඳටම අඬපු මම කොහොමත් පන්තියේ කැපිලා පෙනුන ළමයෙක් නෙවෙයි.
ඔහොම ඉඳිද්දි දවසක් පන්තියේ ටීචර් මට අඬගහලා පණිවිඩයක් කිව්වා අල්ලපු පන්තියේ ටීචර් ගෙන් උත්තරයක් අරං එන්න.
මේක මාව කරකවලා අතඇරියා වගේ වැඩක් උනා. ඔන්න මම ගියා කියමුකො අල්ලපු පංතියට. හොරකමක් කරන්න යන එකෙක් වගේ ගැහි ගැහී… හත් වලාමයි! ඒ ටීචර් ළමයි පෝළිමක් ගස්සලා පුටුවේ ඉඳගෙන ළඟට එන එන එකාට ගහනවා.
බය බිරාන්ත වුන මම පෝළිමේ අන්තිමට හිටගත්තා. දැන් මගේ වාරය ළඟ ළඟ එනවා. චූ යන්න වගේ.. අමාරුවෙන් ඒ බර ඉවසගත්තා. ඔන්න මගේ වාරය ආවා… කෝටුව උස්සගෙන මගේ මූණ බැලුවා..
” මේ මොකද මෙයා…?”
අපොයි…මට මතක තියේද පණිවිඩේ….??? ඇඬෙන්න එන එක අමාරුවෙන් නවත්ත ගත්තා. දැන් පණිවිඩය මතක ඇති කියලා හිතනවාද ? මොන….මට අදටත් ඒ පණිවිඩය මතකනෑ. නමුත් පණිවිඩයක් ඇසිය යුතු බව මගේ ටිකිරි මොලේට වැටහුණා.
” අපේ ටීචර් ඇහුවා අද රෑට වහිනවාද කියලා…”
ඔන්න පණිවිඩේ… ටීචර් උඩ බිම බැලුවා .
“මොකක්ද කියන්නෙ?”
නැවතත් අර පණිවිඩය පෙර සේම… දැන් දැන් ගුටි කන්න වෙයි කියන බය සේරටම වැඩිය… ටීචර් නැගිට්ටා .මම අඩි කීපයක් පස්සට ගියා. පන්ති දෙක වෙන්කරලා තිබුණ ලොකු බෝඩ් එක අල්ලගෙන අපේ පන්තියට එබුණා.
” ඔයා මොනවද අනේ මේ අහලා එවන්නේ..?”
අහන ගමන් ටීචර් ට හිනා යනවා. මොක වුණත් හිනාව දැකලා මටත් සතුටුයි .
“ඇයි මොනවද ඇහුවේ?”
“අද රෑට වහිනවද අහන්නේ….”
අපේ ටීචර් හිනා වෙවී එතනට ආවා.
“අන්න අරෙහෙට යනවා… හරි එක්කෙනෙක් පණිවිඩ අහන්න ඇරියේ”
කියලා මගේ ඔලුවෙන් අල්ලලා පන්තියට තල්ලුකරා. ඊට පස්සෙ කවදාවත් මාව ඇරියෙ නෑ ඒ වගේ දේවලට!
ඔය කාලෙ අපේ ගෙදර අත් උදව්වට හිටියා ජේන් කියලා ගෑනු පරානයක් . එයා ටිකක් මෝඩයි. ජේන් තනියම කඩේ යැව්වාම මුදලාලි පාට පාට කේක් දෙනවා ජේන්ට. මේ හොර වැඩ නිසා අම්මා මාවත් යවනවා කඩේට.
දවසක් ජේන් සත පහක බුරියානි ඉල්ලුවා කඩෙන්. එදා ඉඳලා අපි එනකොට කඩේ ළඟ ඉන්න කොල්ලෝ,
“බුරියානි…”
කියලා කෑ ගහනවා.
ජේන් ඒක නම්බුවක් විදියට පිලිගත්තා කියලයි මට හිතෙන්නේ.
ඔන්න දවසක් ජේනුයි මායි කඩේ ගියා. ගිහින් බාගයක් දුර එන්න හම්බවුනේනෑ. මහ වැස්සක් කඩා වැටෙන්න පටන් ගත්තා .
ජේන් හොඳටම කලබල වුණා . මාව තෙමුවොත් ගෙදරින් බැනුම් අහන්න වෙයි කියලා. මෝඩයි කිව්වට ජේන්ගෙ ටිකිරි මොලේට යස කල්පනාවක් ආවා.
“බබා… ගලවන්න ජංගිය!”
මොනව කරන්න හදනවද මට තේරුනෙත්නෑ. මගෙ ටිකිරි මොලේ ගැනත් දන්නවනේ… මගේ ජංගිය ගලෝලා ජේන් ඒක මගේ ඔලුවටදැම්මා. ඉලාස්ටිය නලලට හිටින්න දැම්මාම ඒක අර මුතු කිරිල්ලිගෙ චෙෆ් තොප්පිය වගේ. අපේ අම්මා අපට කකුල් තියලයි ඉස්සර ජංගි මහන්නේ. මටත් හරි ජොලි.. ඕකත් දාගෙන වීරයා වගේ එනකොට තාත්තා එනවා කුඩේකුත් අරං..
ජේන්ට හොඳටම බැනලා මට ආපහු ජංගිය ඇන්දුවා.
ඔන්න ඔය විදියටයි පුංචි කාලෙ මගෙ පෞරුෂය ගොඩ නගාගෙන තිබ්බෙ.
කාලය ගත වෙලා මම නුවරම පිරිමි පාසලක පළමු ශ්රේණියක් බාරව හිටියා. ගනන් පාඩමක් අතරෙදි පැංචෙක් ආවා මම ලිය ලිය හිටපු බෝඩ් එක ළඟට.
“සුදු කෙල්ලේ මට ඕක තේරෙන්නෙනෑ…. කියලා දීපං!” කිව්වා.
ඌ භාවිත කළ වචන වැරදි වෙන්න පුලුවන් . ඒත් මට පුදුම හිතුණා ඔහුගේ පෞරුෂය ගැන.
” ඔහොමද මැඩම් ලාට කතා කරන්නේ?”
මම කොල්ලගෙන් ඇහුවා.
” ඉතිං ආදරේටනේ…”
ඌ කියපි.
මට ඌ ගැන හරි ආඩම්බරයි . ලෝකෙ කොහෙ හරි කෙලින් හිටගෙන ඇති!