මං හැමතිස්සෙම වැටෙනවා. මම වැටෙන බව දන්න නිසා වැඩිය හීල්ස් දාන්නෙ නැ. මොකද එහෙම උනොත් මිනිස්සු හිතයි බැරි වැඩ කරන්න ගිහින්නෙ වැටිලා තියෙන්නෙ කියල. සෙරෙප්පු නැතුව ගියත් වැටෙන මට හීල්ස් මොකටද? වැටිලි හැප්පිලි වලට කප් ගහලා ඉන්නේ. නරකම දේ තමයි මන් වැටෙන ඒවා, මතක තියාගෙන ගෙදර ඇවිල්ල ලොකු කර කර කියන්න අපෙ නංගි ඉන්නවා. ඉස්කෝලෙ ආවෙ ගියෙ එකටම නිසා ඒක හංගන්න විදිහක් නෑ. ගෙදර විතරක් නෙමෙයි කට්ටිය එකතු වෙන හැම තැනකදිම මගෙ “වැටෙන ජාතකේ” දිගාරින්න දෙපාරක් හිතන්නෙ නෑ.
ඒත් එක අතකට එහෙම වැටුනෙ මගෙ වරදින්මත් නෙමෙයි. පාරෙ යන එන ගමන් මට හිතන්න කෝටියක් දේවල් තිබුණා කියන කාරණේ හැර, මම හඳුනගත්ත තව හේතු කිහිපයක්ම තිබුණා. විශේෂයෙන් ගස් වල මුල්. අපෙ ඉස්කෝලෙ ලඟ තියෙන වැව රවුමෙ යද්දි නිතරම වැටුණෙ ඒ මුල් වල කකුල පැටලිලා. වැව රවුමෙ තියෙන මාර ගස් වල මුල් සමහර තැන් වල පේමන්ට් එකත් කඩාගෙන ටිකක් ඉස්සිලා තිබුණා. ඉතිං වැටෙන්න කියාපු තැන් නෙමේද. කාගෙ වැරදිද මේවා.
“මම කතා කර කර ආවා, ඔන්න එකපාරම මෙයා නෑ. හැරිල බලද්දි ඉන්නව බිම බදාගෙන” එහෙම තමයි අපෙ නංගි කතන්දරේ කියන්නෙ ලස්සනට. කිව්ව තරම් අතිශෝක්තියක් නැති උණාට භයානක විදිහට උඩින් ගිහින් වැටෙන්න ඇති කියන කාරණේ මම පිළිගන්නවා. මොකද සැරයක්, වැව රවුමෙදි මං එහෙම වැටිල ඔළුව උස්සන ටිකට ලඟ ඉස්කෝලෙක මැඩම්ලා තුන්දෙනෙක් දුවගෙන ආවා මාව හොස්පිට්ල් ගෙනියන්න වගේ කලබලෙන්. එහෙම වෙලාවට උන්නටත් වඩා හොඳින් ඉන්නවා කියල පෙන්නන්න මගේම කියල වචන ටිකකුයි, ඉරියව් ටිකකුයි තියෙනවා. ඒ ටික නොවෙන්න මට ඉස්කෝලෙ ඇරිල ගෙදර එන්න වෙන්නෙ නෑ.
දවසක් ඒ විදිහට නංගියි මමයි අපි යාලුවො කට්ටියක්ම ඉස්කෝලෙ ඉවර වෙලා ක්ලාස් යන්න කියලා වැව රවුමේ හිටගෙන හිටියා. හරියටම එදා, අපි ව ක්ලාස් එකට ගිහින් දාන වෑන් එක ආවෙ නෑ. ඊලඟට කරන දේ ගැන හිත හිත ඉඳිද්දි, අපෙම තව යාලුවෙක් ගෙ කාර් එකක් ආවා. දැන් කාර් එක ටිකක් ඈත, නවත්තන්න පුළුවන් තැනක් නතර කරලා, අපිට අඩගහනවා.
ක්ලාස් එකටත් ඒ වෙනකොට පරක්කු වෙලා තිබුණ නිසයි, උදව්වක් කරන්න කතා කරද්දි වැනි වැනි යන එක හරි නැති නිසයි, මම හිතුවා ටිකක් දුවල යන්න ඕනෙ කියලා. මම වගේම අනිත් අයත් එහෙම හිතලා වෙන්න ඇති, දුවල ගියා. ඒත් සසර පුරුද්දට වගේ මේ පාරත්, වැටුනෙ මං විතරයි. හතරගාතෙන් ම වැටුනා. හැබැයි අන්තිමට ආව නිසා කවුරුත් දැක්කෙ නෑ. මට දැං සේරටම වැඩිය ඕනෙ මේ අපරාධෙ වසන් කරන්න. මොකද ඒ අතිජාත මිත්‍රයො ටික ඒ වෙලාවෙ ඒක දැනගත්තනන් අදටත් ඒක තැන තැන කියවනවා.
වැලි ටික පිහලා නැගිටිද්දි එක දනිසකිනුයි, වැලමිටෙනුයි ලාවට ලේ ටිකක් එනවා. ඒත් තුවාල වැඩිය රිදෙන්නෙ නැති නිසා ගණන් නොගෙන ඉදිරියටම ගියා. හැබැයි කොන්ද ද කොහෙද රිදෙනවා. කමක් නෑ වාහනේ ඉඳගත්තම හරිනෙ කියලා හිතුවා.
මම යද්දි එක යාලුවෙක් දොර අල්ලගෙන හිටගෙන ඉන්නවා. මන් හිතුවෙ ඒ මන් එනකන් කියලා. බලද්දි ඇතුලෙ ඉඩ නෑ. අපෙ හිත හොද යාලුවයි, යාලුවගෙ අම්මයි නංගියි, වාහෙනේ ඩ්‍රයිව් කරපු අන්කලුයි එකතු වෙලා කට්ටියව ලෝඩ් කරනවා. පස් දෙනෙක් යන්න ගියපු වාහනේ දැන් අපි හතරදෙනත් එක්ක 8ක්. ඊට වඩා වෙන්න නරක දෙයක් ඉතුරු උනේ නෑ, මම ජනේලෙ ලඟම ඉඳගත්තට පස්සෙ දොර අල්ලගෙන හිටිය එක්කෙනා clear bag එකත් මගෙ අතටම දීලා කකුල් දෙක උඩ වාඩි උනා. හරියටම ඒ ඉදගත්තෙ කවුද කියල මට මතක නෑ. වෙලාවෙ හැටියට මාරයා ඉඳගත්ත වගේ තමයි.වැටුන ගමන් දැනුනේ නැති වුණාට, දැන් තමයි දැවිල්ල පටන් ගත්තේ. ඊළඟට මට ඕනෙ උනේ අතෙනුයි දනහිසෙනුයි එන ලේ වාහනේ කොහෙවත් නොගා ගමන කෙලවර කරන්න. හදිස්සියෙවත් ගෑවුනානම් නිකන්ම අහු වෙන නිසා, තුවාලයි කියල කියන්න ආයෙ කොහොමටත් බෑ. කොච්චර දනවා උනත් තුවාල වලට හුළං පාරක් පිබින්න තියා ඔළුව හොල්ල ගන්නවත් බැරුව අන්ත අසරණ වෙලා එහෙමම හිටියා. ගමනට පැය භාගයක් ගියා. ඒ තරම් දිග පැය භාගයක් ආයෙ අද වෙනකන් කවදාවත් ඇවිල්ල නෑ.
අපි ඉස්කෝලෙන් අවුට් වෙලා ඒලෙවල් ලියන්න යද්දි, ඒ පේමන්ට් එක සම්පුර්ණයෙන් ගලවලා පරණ මුල් අයින් කරලා, පාලම් දාලා, අලුතින්ම හදලා තිබුණා.