ඉස්කෝල කෙල්ලෝ (විනීත විදියට කිව්වොත්) වොස්රූම් යන්නේ දෙන්නා දෙන්නා අත් අල්ලාගෙන ය.ඒ මොන එහෙකටදැයි කියා මා දන්නේ නැත.හැබැයි කෝමහරි,ඒක එහෙමය.මේ යෝදයා එන පොට මොකද්දැයි දැන් ඔබ කලබල වනු ඇත.අපෝ කලබල නොවන්න.කතාව අවසානය වනතෙක් කියෙව්වොත් ඔබට සියල්ල තේරෙනු ඇත.කෙල්ලෝ දෙන්නා දෙන්නා බැරිනං පන්තිය පිටිං එකපාර සරීර කෘත්‍ය කරගන්නට ගියාත් අපිට කිසි පස්නයක් නැත.හැබැයි මේ කියන්නට යන්නේ ඔය කෙරුවාව හන්දා කොහෙවත් පැත්තක සිටින අහිංසක කොල්ලන් වූ අපට සිදුවූ ජාත්‍යන්තර මට්ටමේ අකරතැබ්බයක් ගැනයි.
ඉස්කෝලෙ කාලේ රසකතා කලින් ආටිකල් එක කියෙව්වේ නම්,ඔබ දැනටමත් දන්නා පරිදි,ඒ කාලේ ‘ඩේ’ කිරීම සහ වෙන ඉස්කෝල වල ‘ඩේ’ වලට යාම තරං බීසනයක් තවත් තිබ්බේ නැත.ඉතිං ආයුබොවන්ඩ ආයෙ බොරු කියන්නේ මොකටද,බාලිකා පාසලක කොමස් ඩේ එකකට ගිහින් බැලුවොත් එතනත් පිටිපස්සේ පෝලිමේ හෝ ඉන්නේ අපේ ඉස්කෝලේ සයන්ස් කරන එවුන් ය.
ඩේ වලද කැටගරීස් තිබේ.ඉන් පළමු කැටගරිය unofficial කැටගරියයි.ඒවා නිකං හුදෙක් විනෝදය සදහා හොර පාරෙන්(සහ/හෝ) ගැලරිය පිරවීමට (සහ/හෝ) තම තමන්ගේ අදාල ඉස්තිරී පරාණ දැක බලාගෙන වචනයක් දෙකක් බෝම අමාරුවෙන් දොඩාගෙන තුන් සිත පහන් කරගැනීම (සහ/හෝ) අලුතින් ඉස්තිරී පරාණයකට ඉඟි බිඟි පා යුග ජීවිතයකට පොඩි පියවරක් තැබීමේ පරම පිවිතුරු චේතනාව පෙරටු කොටගෙන යන ඒවා ය.
(ඔය අස්සේ තව ඩේ එකේදී කන්ඩ බොන්ඩ දෙන කෑම එකෙන් තුනහතරක් කොටාගෙන හුදෙක් show එක බලා ආතල් එකක් ගැනීම පිණිස යන්නෝ ද සිටිති.මේකට වෙනම ක්‍රියාමාර්ගයක් අනුගමනය වේ.ඒ ඔය බාලිකා ඉස්කෝල වල සිටින බොක්කිලා ගේ මාර්ගයෙන්, හෝ අක්කිලා ගේ සුරතල් මල්ලිලා වීමේ භාග්‍යයෙන් ය.ඒ ගැන පුලුවන් උනොත් පසුවට ලියන්නෙමි)
දෙවනි කැටගරිය official කැටගරියයි.හම්මටසිරි මේකනං සුපිරි කැටගරියකි.ස්වකීය පාඨශාලාවේ තේජෝබල පරාක්‍රමය විදහා දක්වමින්, පිට පාසල් වල ‘ඩේ’ වලට අදාලව පැවැත්වෙන තරඟ වලින් දිනූ සහතිකපත්,තෑගි,පදක්කම් ඇතුලු මෙකී නොකී දෑ අරගෙන,බොහෝ විට සමස්ත ශූරතාව යැයි කියා පිරිනැමෙන කුසලානය ද රැගෙන,එම පාසලේ ගුරුවරුන්ටත් දන ගසා වැඳ පුදා
සම්පූර්ණ ලකුණු ටික ගෙන ඒම සඳහා මහේශාක්‍ය ලීලාවෙන් සම්ප්‍රාප්ත වීම official කැටගරියේ දී සිදුවේ.unofficial එකේ මෙන් පස්සා දොරෙන් හොර පාරෙන් මෙහිදී ශාලාවට රිංගන්නේ නැත.
මෙම සම්ප්‍රාප්ත වීම ද වෙනම කලාවකි.
රසික රසිකාවියනි,මං කලිනුත් කී පරිදි, අපේ ඉස්කෝලේ සංගම් එලෝකෝටියක් විතර පවතී.ඉතිං පිට ඉස්කෝලයක උත්සවයක් තියන තියන වාරයක් ගානේ ගුරුවරුන්ට ලමයි සමග ඒවාට පැමිණීමට පුලුවන්කමක් නැත.බොහෝ ඒවා තියෙන්නේ හවස් වරුවේ ය.ඉතිං මං කලිනුත් කී පරිදි,අපි පොඩි කාලේ අපිව මේ ‘ ඩේ’ වලට එක්කන් ගියේ අපේ අයියලා ය.පස්සෙ පස්සේ අපි අපේ මල්ලිලාව එක්කං ගියෙමු.මෙහිදී භාවිත වන විධික්රම පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන,පුරාණ පුස්කොල පොත් වල පඬිවරුන්ට ලියන්නට අමතක ඌ දේව රහස් ය.
බොහෝ විට පිට පාසලක ‘ඩේ’ එකකට යන්නේ එදින උදේ වරුවේ අපේ ඉස්කෝලේ ඉගෙනීමෙන් හෙම්බත් වූ පසුව ය.එතකොට ඉතිං අර මොක්කුද එවුන් වගේ දාඩිය පෙරාගෙන යුනිෆෝම් වල දූවිලි වැදී කෙල වී හමාර ය.සහෝදර පිරිමි පාසලක උත්සවයක් නම් ඉතිං ඔය මෙලෝ එකක් එච්චර සලකා බලනු නොලැබේ.උනුත් අපි වගේම කොල්ලෝ ය.”අවුලක් නෑ බං ඔන්නොහෙ යමං උන්ට ඕව ගානක් නෑ.මොකො අපි ඔහෙන් ගෑනු ගන්ඩයැ”යන්න පිරිමි පාසලකට යාමේදී පෙරටු වන ආදර්ස පාඨයයි.පිරිමින්ට ඇඳුම් පැළඳුම් ගැන ඒ හැටි රුචියක් නැති බව ඉතිං ලෝක පාලක ධර්මතාවයකි.
බාලිකා පාසලකට යාමේදී තත්වය මීට වෙනස් ය.මෙහිදී අයියලා මල්ලිලා හැමෝගෙම්ම සැදුම්ලත් මහා සේනාවක් යයි.සහතික දිනූ පොඩ්ඩන්ට ටයි ගේන්නට යැයි දවස් කීපෙකට කලින් දැනුවත් කරනු ලැබේ.ලොකු අයියලා හා පොඩ්ඩෝ අතර මැද්දේ වන මල්ලිලා කොටස ඉතිං ස්වකීය ආවතේව මෙහෙය ට සැදී පැහැදී සිටී.(මල්ලිලා,ඔයාලාව ගෞරව පූර්වකව සිහිපත් කරමි) වැඩිපුර යුනිෆෝම්,ටයි බයි වලින් පටංගෙන සපත්තු පොලිශ්,පනා,හෙයා ක්‍රීම්,පර්ෆියුම් ඩියෝඩරන්ට් ෆේස් ටවල් ඇතුලු මෙකී නොකී ආම්පන්න කට්ටලයක් එදිනට ඔවුන් විසින් වඩම්මනු ලැබේ.ඒවා ඉතිං දෙයියනේ කියා අපේ පරිභෝජනයට යොදාගනු ලැබේ.පාරම්පරික Pro Tip අංක 1 මෙයයි.සෑමවිටම දෙවන පෙළක් සූදානම් කර තැබිය යුතුය.
ඊලග කෑල්ල තවත් රසවත් ය.දැන් ඔය සේනාව එක තැනකට ඇසෙම්බල් කරගත් පසු,පිටත්වීම සිදුවේ.අයියලා මල්ලිලාව පරිස්සං කරගෙන එක්කගොස්,හවස උත්සවේ ඉවර වූ පසු ආපසු අතුරු ආන්තරාවකින් තොරව ගෙවල් වලට පිටත් කර හැරීමේ වගකීම කරට ගනිති.Time to catch a ride 😎 මොහොත දැන් උදාවේ.පෙර සඳහන් කළ මහේශාක්‍ය සම්ප්‍රාප්තිය සඳහා මහේශාක්‍ය වණ්ඩියක් උවමනා බව අමුතුවෙන් කිව යුතු ද?
ආයේ සෙල්ලං නැත.ලක්ස හැට හැත්තෑවක අනර්ඝ රථයක් හැමවිටම අප වෙනුවෙන් සූදානම් ය.(වෙන මොන මල ඉලව්වක් වත් නොවේ.පාරේ දුවන ලේලන්ඩ් තඩියයි.අපේ ඉස්කෝලෙන් කොල්ලන්ට වාහනයක් ඉල්ලා ගැනීමට වඩා ලේසියෙන් ලංකාවට චීනයට ඇති සම්පූර්ණ ණයබර ගෙවාදැමිය හැකි බව ප්‍රත්‍යක්ස කොට කියා සිටිමි.එහෙයින් ඒක කිසිදා අපේ option එකක් නොවීය).ඉතිං දැන් සිදුවන්නේ මාර්ගස්ත මගී ප්‍රවාහනයෙන් අදාල පාසල පේන නොපේන මානයට යාමයි.කිසි විටෙකත් එකී අදාල ඉස්කෝලයේ ගේට්ටුව ඉදිරියෙන් බස් එකෙන් නොබැහිය යුතුය.පාරම්පරික Pro tip අංක 2 මෙයයි.ඊට කිලෝමීටර් දෙක තුනක් මෙහායින් බැසීමට කාණ්ඩේ ලොකු අයියලා පූර්ව අත්දැකීමෙන් හොඳින් දනී.ඔය පාසල් ඉස්සරහින් අම්බානක කරක් ගැසූ ප්‍රවීණයෝ සිටිති.ඒ නැතත් ඉස්කෝලෙ ඇරී කෙල්ලෙක් පාර දිගේ යනු දුටු විට කරපටියේ පාට හෝ යුනිෆොම් එකේ හැඩය ආදී මං සලකුණු වලින් අදාල වටපිටාවට එන්ටර් වී ඇති බව ඉවෙන් මෙන් තේරුම් ගැනීමේ විදග්ද බුද්ධි මහිමයක් හා තීක්ෂණ ප්රඤාවාක් කාලයත් සමග කොල්ලන්ට උරුම වේ.පළපුරුද්ද යනු මෙයයි.
ඉතිං ඔය ලෙස මගින් බැසගත් පසු,Pro Tip 3 ක්‍රියාත්මක වේ.එනම් මහා Uber ව්‍යාපෘතියයි.තියෙනා හොඳම ජාතියෙන් premium uber දෙක තුනක් අදාල ලොකේසන් එකට ඒ වන විටත් ඇවිත් හමාර වන්නේ,බසයේ සිටම ඕඩරේ දමා ආ නිසා ය.ඔය පොඩ්ඩ යාමට වාහන මොකටදැයි ඔබ අසනු ඇත.හිතවතුනි,ඇත්ත වසයෙම්ම මෙතෙක් දුර ලෑන්මාස්ටරයේ ආවත්,බසයේ ආවත්,පයින් ආවත් කමක් නැත.වාහන අත්‍යවශ්‍ය වන්නේ මින් ඉදිරියට ය.Uber වල taxi යැයි අකුරු හතර නොගසා තිබීම ජාතියේ පරම වාසනාවයි.ඔය ගේට්ටු ළග දමා ඉන්නා කෙල්ලෝ ඉතිං වාහනය අපේ නොවන බව දිවැසින් දකින්නද? නිකං වාහන නොවේ.(අපිව බස්සා යන)ඩ්‍රයිවරයෙක් එක්කම වාහන අප සතු ය.මහේශාක්‍ය සම්ප්‍රාප්තිය යනු මෙයයි.ඉංග්‍රිසි චිත්‍රපටියක මෙන් සිං සිං සිං ගා පැමිණෙන වාහන කීපයකින් squad එක දකුණු කකුල පෙරට තබා බසිනු ලැබේ..හම්මා…ඒ ගැම්ම මෙතෙකැයි කියන්නට වචන නැත.(වාහන කුලිය වාහනය තුලදී ම ගෙවීමට තරම් පරික්ෂාකාරී වීම වැදගත් ය.නැත්තං නෝන්ඩි ය.)
ඉතිං ඔන්න එක්තරා වකවානුවක,මෙසේ පිට ඉස්කෝල වල කලා උළෙලවල් සාහිත්‍ය උළෙලවල් වාගේ එව්වාට (official කැටගරියෙන්) යාමේදී අයියලා වන්නට මා ඇතුලු මගේ කොල්ලන්ට (my boys) අවස්තාව ලැබුණි.විද්‍යා අංසයෙන් ඉගෙන ගත්තට මොකද සාහිත්‍ය කලාව ඉතිං අපේ ලේ වලට කොහෙන් හෝ එන්ටර් වී තිබුණි.Avengers….assemble කීවාක් අයියලා පෙරටු කොටගත් කොල්ලන් සේනාව අහස ගුගුවාගෙන මහපොලොව කම්පා කරගෙන මුහුද කලම්බාගෙන ගැම්මට බාලිකා පාසලට ගොඩබසී.සාමාන්‍යයෙන් සමස්ත ශූරතාවක් ‘ඉස්සීමේදී’ විවිධ වයස් කාණ්ඩ වල කොල්ලන් පහලොවක් විස්සක් ත්‍යාගලාභීන් බවට පත් වේ.ඉතිං වචනයේ පරිසමාප්ත අර්තයෙම්ම,අපේ සේනාව ගොඩබසිනු දුටු විට ළඟ පාත ඉන්නවුන් කොන්පියුස් වී යයි.ඉස්සරහින් යන ලොකු අයියලා ගේට්ටු ගාව ඉන්නා පිලිගැනීමේ අක්කලා සමග හරි හරියට කතා කරයි.නම් රෙජිස්ට්‍රාර් කරයි.(පොඩි කාලේ අපිත් ඉතිං එවැනි ලොකු අයියෙක් වෙන්නට හූල්ලමින් බලා සිටියෙමු.)
ඉතිං ඔයාකාරයට කොළොම්පුරේ සුප්‍රසිද්ධ එක්තරා ප්‍රධාන බාලිකා පාසලක උත්සව අවස්තාවකට අපි සැපත් වූයෙමු.අද රසකතාවේ මුල මැද අග ගැලපෙන්නේ ඔන්න දැන් ය.ගේට්ටු අසල ඉන්නා පිළිගැනීමේ බාලිකාවියකගෙන් මග අසාගෙන ප්‍රධාන ශාලාවට ගියත්,එකෙනෙහිම ඇතුල් වීම හරි මදි ය.අච්චර පොස් පිට ආ අපිට හඩ්ඩෝ වගේ හෝල් එක ඇතුලට යන්නට පුළුවන් ද?
ආම්පන්න ඔක්කොම රෙඩි පිට අපි සතුව තියෙනා බව pro tip 1 යටතේ කල විස්තරයට අනුව ඔබ දන්නවා ය.අපරාදේ කියන්නට බැරිය.මල්ලිලා උන්ගේ බඩු හා අපේ බඩු ඔක්කොම උස්සාගෙන පස්සෙන් එනවා ය.දැන් කොහේට හෝ වී ලක ලෑස්ති වන වේලාවයි.
පිට උන්ගේ ඉස්කෝල වල අපි දන්නා උලව්වක් නැති බව ඇත්ත ය.ඒත් ඉතිං කට තියෙන්නේ කතා කරන්නට නොවෙද මිතුරු මිතුරියනි..”Excuse me,gents washroom එක කොහෙද තියෙන්නෙ? ” කියන වචන ටික හොඳටම ප්‍රමාණවත් ය.පාර පෙන්නීමට එක්කෙනෙක් ඉක්මනට ලැබේ.කාන්තා ඉස්කෝලවල වුවද ඉතිං ප්‍රධාන ශාලාවල පිරිමි restroom එකක් ඇත.ඔන්න ඔතෙන්ට අපිව navigate කරනු ලැබිණි.අපේ කාණ්ඩෙම ඕකට රිංගා ගත්තෙමු.හොඳ වෙලාවට වෙන කොල්ලෝ එවලේ සිටියේද නැත.
ආයේ අපරාදෙ කියන්නට බැරිය.සැලුන් ගියා වාගේ ය.අයියලා පොඩ්ඩන්ගේ කමිස යටකරති.ටයි ගැට දමති.කොන්ඩ පීරති.මල්ලිලා අයියලාට blazer දම්මති.සපත්තු පොලිෂ් කරවති.සෙන්ට් නාවති.ඔය අල්ලපනල්ලේ සමහරු හෙමීට පොම්පයක් අල්ලා බර හෑල්ලු කරගනිති.කලිසං කමිස ගලෝගෙන
Adjust කරගනිති.ඉතිං හත්තිලව්වේ එහෙව් කාමරයක් තියෙන්නේ ඒකට ය.සිද්ධිය එය නොවේ.සියවසේ මහා ලැජ්ජාවීමට අපිට ගොදුරුවන්නේ මේ අතරේ ය.
ශෝ එක පටංගත්තේ මෙසේ ය.
හැමෝම පුල් බිසී ලෙස හැඩ වැඩ වීමේ නිරත වී සිටින අතර වාරයේ එක්වරම
.
.
.
.
දඩාං…….හඬින් වැසිකිලියේ දොර ඕපන් විය.
දැන් ඔබ හිතන්නේ,මෙච්චර රස කර කර කියූ ලැජ්ජා නැති කතාව එය කියාද? Door opening ? අපෝ ඒක මොන ලැජ්ජාවක් ද..ලැජ්ජාව එය නොවේ.
ඕපන් වූ දොර හරහා එක්වරම කිසිම ආකාරයක පැකිලීමකින් තොරව,ෆුල් කොන්ෆිඩන්ස් පිට මහා හඬින් මොකද්දෝ ලොකු ඕපෙයක් දිග අරිමින් පිරිමි වැසිකිළියේ හරි මැදට අධික වේගයෙන් සම්ප්‍රාප්ත වූයේ අතිනත් අල්ලාගත් කෙල්ලෝ ඩබලකි!
.
.
.
ඕපදූපයේ දිග පලල කොච්චර ද කියනවානං ඔවුන් ඇතුලු වූයේ වැරදි කාමරයටැයි විනාඩි කීපයක් යනතෙක් මේ ජෝඩුවට ගානක්වත් වූයේ නැත.ඉතිං උන්ට ගානක් නැතැයි කියා අපිට නිරුවස්තර වන්නට පුළුවන් ද? අපේ කාමරයට අනවසරෙන් ඇතුලු වී ඇති කරන ලද අපහසුතාවයට වන්දි ඉල්ලා නඩු කියා උසාවි යන්නට පුළුවන් ද? කොල්ලෝ පුල් හොල්මන් ය.පාඩුවේ පයිප්ප අල්ලන Process එක මධ්‍යයේ සිටි අසරණයින් වහාම ක්‍රියාත්මක වන පරිදි කලිසං සිපර් උඩට ඇදගත්හ.ආයේ ඉතිං අත්වූ ඉරණම ගැන අමුතුවෙන් කියන්නට ඕනෑ නැත.කමිස ගලෝගෙන හිටි කොල්ලෝ ඒ කමිස වලිම්ම සරීරාංග වහගත්හ. ‘අයියේ අයියේ…කෙ..ල්…ලෙ…ක් . . . .’ ලෙසින් පොඩ්ඩෝ මගෙන් ප්‍රස්න කරන්නට විනි.අනේ මල්ලියේ උඹලෑ අයියාත් අසරණ ය.දෙන්නට උත්තර මටත් නැත.
ටික වේලාවක ඇවෑමෙන් තමන් කතාවෙන් කතාවෙන් පැමිණ ඇත්තේ කොල්ලෝ සන්නිපාතයක් මැද්දට බව අර ජෝඩුවට මීටර් විය.උන් අපේ මූන බලති.(එහෙමැයි කියා අපිට උන්ගේ මූන බලන්නට පුලුවන්කමක් තිබ්බේ නැත.) ඉස්ටෝබෙරි පාටට මූනු රතු කරගත් මේ දෙන්නා වහාම ආපසු හැරී දඩාං ගා දොර ඇරගෙන පැමිණියාටත් වැඩි වේගයෙන් එලියට දිව ගියහ.
“අයියෙ උං අඩුගානෙ සොරි කිවේ වත් නෑනෙ…කොල්ලන්ට හෙන පස්නේ ය”.
(සොරි කියන්නට තියා වෙච්චි අලකලංචියේ හැටියට උන්ට උන්ගේ නම් පවා අමතක වන්නට ඇත.උනුත් පව් ය.අපි පවේ පව් ය.)
කෙසේ හෝ ඉතිං ප්‍රස්න ටික සේප් කරගෙන,යංතං සංතං පදං වැඩේ ගොඩදාගෙන,ජැන්ඩි පහට කිට මරා washroom එකෙන් එලියට ආ අපි,පාඩුවේ මොකුත් නොවුනාක් මෙන් ගොස් හෝල් එකෙන් වාඩි වූවෙමු.පසුව දුටු පරිදි,කාන්තා වැසිකිලියත් ඇත්තේ පිරිමි එකට අනික් පැත්තේ ම ය.දෙකේම දොරවල් එක ගාව ය.අසිහියෙන් ආ ගෑල්ලමා ජෝඩුවට දොරවල් දෙක ටැපලෙන්නට ඇත.උන් නං දිව්වෝ ය.ලැජ්ජා නහර පිපිරුවේ අපේ ය.
කොහොමින් කොහොමහරි,ආපු කාරිය කරගත්තෙමු.පේලියට ඉස්ටේජ් නැග කොල්ලෝ තෑගි සහතික ටික ගත්තෝ ය.වෙනදා හැමෝම දණ ගසා සහතික ප්රදානය කරන උතුමන්ට වඳින මුත්,එදා සමහර කොල්ලෝ දණ ගසා වැන්දේ නැත.මොන සෙල්ලම දැම්මත් දන ගහන්නට නම් බැරිය.ඒ ඇයි කියා ඉතිං රස කතාවේ ලිවිය යුතු නැත.කියවන ඔබ එය හිතා ගත්තානම් මැනවි.ඕනෑනම් ශාරුක් කාන් බාබුජිට වඳින්නාක් මෙන් යංතං වඳින්නට අමාරුවෙන් හැකිවන්නට ඉඩ තිබුණි.ඒත් එහෙම හරි නැති නිසා,ආයුබෝවන් කියා සැනසී දෙන මගුලක් අරං ස්ටේජ් එකෙන් බසින්නට තීරනේ විය.අවසානයේ දෙයියනේ කියා සමස්ත ශූරතාවද ගෙන කප් එකද ඉස්සුවෙමු.වැඩි අප්සට් එකක් නැතුව උස්සවේ ඉවර වෙනකං රෝලක් ගසාගත්තෙමු.රසකතාව ඔන්න ඔහොමය.
ඉතිං ගෑනුලමයිනි,දෙන්නා දෙන්නා ටොයිලට් යන්නම ඕනෑම නම්,(මං කියන්නේ ඒක ඔගොල්ලන්ට අත්‍යවශ්‍යම වැදගත් කාරනාවක් දැයි මං දන්නේ නැත.ඕනිම නම්) අඩුගානේ ඔය රේඩියෝ එක ඕෆ් කරගෙන,සිහිකල්පනාවෙන යනමෙන් කාරුණිකව බැගෑපත්ව ඉල්ලා සිටිමි.බිකෝස් එහි අතුරු ප්‍රතිපල ඔබ සිතනවාට වඩා බොහෝ බයානක විය හැකි බැවිනි.