මේකෙත් ඉස්සර කෙල්ලොන්ට තිබ්බ අමුතුම පිස්සුවක්නේ මේ උණ මට හොඳටම ගහලා තිබ්බා. දැනටත් ඉන්න මගේ හොදම යාලුවො දෙන්න පවා මට හම්බුනේ ශිහාන්ගේ උන්මාදය නිසා. මොකද මට වගේම උන් දෙන්නටත් පිස්සුව තදින්ම හැදිලා තිබ්බේ. පිස්සුවේ තරම කොච්චරද කියනවා නම් පිටු 400ක් පිරෙන්න මම ශිහාන්ගෙ photos අලවලා තියෙනවා ඒ විතරක් නෙමේ ශිහාන්ගෙ birthday එක දවසක අපි තුන්දෙනා ටියාරා කේක් එකක් ගෙනල්ලා happy birthday shihan කියලා කපලා මුළු පන්තියටම කේක් බෙදුවා. ඉතින් ඉස්කෝලේ බාගෙට බාගයක්ම දන්නවා අපිට ශිහාන්ගේ උණ හොඳටම ගහලා තිබ්බ කියලා. මොන පත්තරේද මොන day card එකද අලුතෙන් එන්නේ ශිහාන්ගෙ මම නොවරදවාම ඒක ගන්නවා. අපේ ගෙදර උන්දලා පවා දන්නවා මට කොච්චර පිස්සුවක් තිබ්බ ද කියලා මොකද shihan out වෙච්ච දවසේ ගෙදර පෙරලි පෙරලි අඬපු හැටි ගෙදරට දුක ප්රකාශය කරන්න මගේ යාලුවෝ call කරපු ප්රමාණය දැකලා එයාලා ඒක හොඳ හැටි දැනගත්තා.
දැන් තමා ඉතින් කතාවට එන්නේ කලින් කිව්වේ හැඳින්වීම පමණයි. එතකොට ඉතිං අපි ඕලෙවල් කරන කාලෙ තමයි සුපර් ස්ටාර් වැඩසටහන යන්නේ. මම ඉතින් ඒ කාලේ පොඩ්ඩක් කොල්ලෙක් වගේ කොණ්ඩෙ කොටට කපලා තමා හිටියේ. මට රංගන හැකියාව ලාවට වගේ පිහිටලා තිබ්බා. ඒ කාලෙ ශිහාන් සුපර් ස්ටාර් කිව්ව සින්දු පහුවදා උදේම ඉස්කෝලේ ඇවිල්ල කට්ටිය වටකරන් කියන එක තමා කරන්නේ. මම ඉතින් දන්න ඇක්ටින් පාර දාලා පංතිය ඉස්සරහට ගිහින් ශිහාන් කියන විදියට රගපාලා පෙන්නනවා. ඉතින් කෙල්ලෝ ටිකට හරි හැපි හිනා වෙනවා අත්පුඩි ගහනවා තව එකක් කියන්නකො රංගිකා තව එකක් කියන්නකො කිය කිය මට වදේ..මාත් ඉතින් දන්න උපරිම රංගනයේ යෙදිලා වැඩේ දෙනවා..
දැන් තමා හොදම හරිය.. අලුත් අවුරුදු කාලය ආවා, අපිට අපේ ටීචර් කිව්වා අලුත් අවුරුද්දට අඳින ඇඳුම් අරගෙන එන්න කියලා පහුවදා එද්දි මොකද එදාට අවුරුදු උත්සවයක් ඉස්කෝලේ ලෑස්ති කරල තියනවා කියලත් කිව්වා හෙල සිරිතට මුල්තැන දෙමින් චාරිත්ර වාරිත්ර ටික සිදු කරනවා කියලත් කිව්වා ගැමිකම ප්රදර්ශනය වෙන පරිසරයක් මවන්න ඕනේ කියලත් ටීචර් කියවනවා දැන්. මායි මගේ හොදම යාලුවෝ දෙන්නයි කතා වෙන්නේ මොනවද දැන් හෙට අරගෙන එන ඇඳුම් කියලා. ඔන්න ඉතින් මගේ ටිකිරි මොලේට ආවා හොද අදහසක්. මම කිව්ව මුන් දෙන්නට මම ශිහාන්ගෙ විදියට අඳිනවා කියල මං ලග තිබ්බා එතොකොට ශිහාන් දාන් ඉන්නවා වගේ හැට් එකක් ඒකත් අම්මගෙන් වද කරලා අර ගත්තේ අනේ ඉතින් මේ මැටි හරක් මොංගලියෝ දෙන්නත් එකපහින්ම ඒකට කැමැති වෙලා කිව්වා මරු අදහස නේ එහෙනම් ඔයා ඒ විදිහට අඳින්න කියලා.(පාප මිතුරියෝ දෙන්නා)
දැන් ඉතින් කොහෙන්ද ඇඳුම් ඔන්න ගෙදර ගිහිල්ලා අම්මට කිව්වා අම්මේ මම හෙට නාට්යක කොල්ලෙක්ගෙ චරිතයක් රඟපාන්න ඉන්නවා මට ඩෙනිම් කලිසමකුයි ටීශර්ට් එකකුයි සපත්තු දෙකකුයි ඕන කියලා අපේ නැදෑ අයියා කෙනෙක් ලග ඔය පහල පින්තූරේ ශිහාන් ඇඳන් ඉන්න ටී ෂර්ට් එකක් වගේම ටී ෂර්ට් එකක් තිබ්බා, ඔන්න ඉතින් මම අම්මා එක්ක ගිහින් ඒ අයියගෙන් ටී ෂර්ට් එකයි ඩෙනිම් කලිසමයි deck shoes දෙකකුයී ඉල්ලගත්තා.( අම්මා දැන් දන්නේ මම මේ නාට්යයක කොල්ලෙක්ගෙ චරිතයකට රඟපාන ඇඳුම් ලෑස්ති කරගත්තා කියලා )
ඔන්න ඉතින් පහුවදා මගේ ඇඳුම් පැළඳුම් ටික බෑග් එකට දාලා ලෑස්ති කරන් ගියා ඉස්කෝලෙට.අම්මා කිව්වා ලස්සනට රගපාන්න කියලත්.අනේ ඉතින් අම්මා දන්නෙ නෑ නේ මම රගන්න යන යකාගෙ තරම. උදේම ඉතින් ඉස්කෝලෙට ගිහිල්ලා ඇඳුම් ටික ඇඳගන්නයි ලෑස්තිය. පන්තියේ අනෙක් ළමයි ඔක්කොම චීත්ත ගවුම් ,රෙද්ද හැට්ට,සරම් ෂර්ට්(අපි ගර්ල් ස්කුල් එකක් නිසා කෙල්ලො තමා පිරිමි විදියට අදින්නේත් ටීචර් එයාලට තාත්ත, මාමා,සීයා වගේ චරිත දිලා තිබ්බා)ඔන්න ඇදන් ඉන්න ඇදුම්.මට ඉතින් ලොකු අවුලක් නෑ මම මගේ පාඩුවේ මගේ ඇදුම් ටික ඇද ගත්තා..ආ මගේ මිතුරියෝ දෙන්නත් මට සපෝර්ට් වැඩේට උන් දෙන්නා තමා පෑනක් අරන් අර ශිහාන්ගෙ මුහුණේ තිබ්බා වගේ කැලැල්ලක් ඇන්දේ..(කොහොමද සපෝර්ට් එක මුන් දෙන්නා දීපූ)
දැන් ඉතින් මම සම්පුර්ණයෙන්ම ශිහාන්ව ආරූඪ කරන් ඉන්නේ.ඉස්කෝලේ පිටිපස්සෙ තමා අපේ ග්රවුන්ඩ් එක තියෙන්නේ ඕකේ තමා දැන් වැඩේ ලැස්ති කරලා තියෙන්නේ.අපේ සෙක්ශන් එකේ පංති ටික පහු කරන් යන්න ඕනේ..මගේ සගයෝ දෙන්නා ඉන්නේ යුනිෆෝම් එකෙන් උන්දෙන්නා ඇදුම් ගෙනල්ලා නෑ.(මාව දැන දැන වැඩේට බැස්සුවා ද කියලා සාධාරණ සැකයක් ආවේ මට පස්සේ.)
ඔන්න ඉතින් මම දැන් යනවා ග්රවුන්ඩ් එකට අපේ එහා පංතියේ එවුන් මොන මොනවද කියනවා කටවල් අතින් වහන් ඒ කාලේ ඉතින් එහා පංතියේ එවුන් එක්ක අපි කොහොමත් මලෙන් ඉන්නේ මම දැන් හිතන්නේ මුන් ඊර්ෂ්යාවට අනංමනං කියනවා කියලා..මම දන්නවා වැඩේ ටිකක් අවුල් තමා කියලා ඒ වුනාට ලොකු අවුලක් නෑ කියලත් හිත කියනවා..දැන් මම ග්රවුන්ඩ් එකේ..අම්මේ අවුරුදු සිරිය දසත පැතිරෙනවා.කට්ටියක් රබන් ගහනවා,තව ළමයි ඔංචිලි පදිනවා..බට්ටෝ පයිනවා,පංච දානවා හරි ලස්සනයී.හැමෝම චීත්ත ගවුම්,රෙදි හැට්ට,සරම් තමා ඇදන් ඉන්නේ..මම දැන් නිකන් වෙන ලොකෙකින් ආපූ එකෙක් වගේ ඩෙනිම ගහලා ඩෙක් සපත්තු දෙකයි තොප්පියයී දාන් ඉන්නේ.ඒ මදිවට මුහුණේ කැලැල්ලකුත් ඇදගෙන..6,7,8 පංතිවල නංගිලා මගේ ලගට ඇවිල්ලා කියනවා” අක්කේ ඔයා ශිහාන් අයියා වගෙ” කියලා,දෙයියනේ ඒ කියන්නේ මම හොදටම වැඩේ දිලා කියලනේ..දැන් ඉතින් ඔස්කාර් සම්මානේ හම්බවුණා වගේ මගේ ඇදුම් මගේ හැසිරීම නිසා මම හිතන් ඉන්නේ මම දැන් ශිහාන් වගෙමයි කියලා..දැන් මට පේනවා ටීචර්ස්ලා දෙන්නෙක් මගේ දිහා බලන් ඉන්නවා මට ඉතින් මොකෝ මම මගෙ පාඩුවේ හිනා වෙවි ඉන්නවා මගේ යාලුවෝ දෙන්නා එක්ක.ඒ මදිවට පොඩි කෙල්ලො මගේ ලගට ඇවිල්ලා මං දිහාම බලන් ඉන්නවා..
ඔන්න ආවා ශිෂ්ය නායිකාවක් ඇවිල්ලා කිව්වා නංගි ඔයාට ජානකී ටීචර් ස්ටාෆ් රූම් එකට එන්න කිව්වා කියලා..දැන්නම් ටිකක් මොකක්දෝ එකක් පපුවට ආවා..ගියා මම ස්ටාෆ් රූම් එකට මගේ ගාඩ්ලා දෙන්නත් මගේ පස්සෙන් ආවා(මොනා වුනත් මාව තනිකරේ නෑ.)
ඔන්න ඉස්සරහම හිටන් ඉන්නවා අපේ ක්ලාස් ටීච (ජානකී ටීච)..
මොකක්ද මේ ඇදන් ඉන්නේ..පිස්සු හැදිගෙන එනවද? අවුරුදු ඇදුමක් ඇදන් එන්න කිව්වේ තමන් ට්රිප් එකක් යන්නද ඇදන් ආවේ කියලා ඇහුවා ලැජ්ජාව දැන් කිලෝ එකයී.මෙච්චර වෙලා ආරූඪ වෙලා හිටපු ශිහාන් පෑල දොරෙන් පැනලා ගියා. අරුන් දෙන්නා සද්ද නෑ..දෙයියනේ කියලා හිත හදා ගත්තා ටීචට මීටර් නෑ කියලා ශිහාන්වගේ ඇදන් ඉන්නේ කියලා..පිටිපස්සෙ ඉදන් තව ටිච කෙනෙක් ඇවිල්ලා කිව්වා මෙයා මේ අර සුපර් ස්ටාර් එකෙ ශිහාන් වගේ ඉන්නේ කියලා..දෙයියන්ට ඔප්පු වෙච්චාදෙන් අපේ ටීචගේ මුහුණ ගිනි රතුවුනා..දැන් මට බය අම්මව එක්කන් එන්න කියයිද දන්නේ නෑ කියලා..ටීච ඇහුවා ඇයි ශිහාන් ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද සින්දුව කියන්න ආවද කියලා මට එක පාරටම කියවුනා නෑ ටීච මම මේ විකට ඇදුම් තරගෙට ඉදිරිපත් වෙන්න ආවේ කියලා..(කොහොමද මගේ මොලේ )එහෙම තරගයක් ලැස්ති කරලත් තිබ්බේ නෑ..දැන්ම ගිහින් මාරු කර ගන්නවා ඇදුම කිව්වා මමත් ඉතින් එක එල්ලේම පංතියට ගිහින් ඇදුම් මාරු කෙරුවා..
එහා පංතියේ එවුන් ඇවිල්ලා අහනවා කෝ ශිහාන් පැනලා ගියාද කියලා..ශීකේ මට වස ලැජ්ජාව.ඒ මදිවට අරුන් දෙන්නත් මට හිනා වෙනවා….ඕක ඉතින් එක රසවත් මතකයක් විතරයී පාසල් කාලේ…
-රංගිකා හංසනී