හොස්ටල් සමිතිය (ඉස්කෝලෙ කාලේ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේක වෙද්දි අපි 10 වසරේ. හොස්ටල් එකේ සමිතියක් තියෙනවා. මෙතනදි ඉතින් අපේ සැගවුනු දක්ෂතා ඔප් නංවන්න හැකියාව ලැබෙනවා. සින්දු කියන්න ඩ්රාමා එකක් කරන්න තමන්ට පුලුවන් ඕනි දෙයක් කරන්න අවස්ථාව තියෙනවා. ඕක සාමන්යයයෙන් ඉතින් සතියකට පාරක් තියෙනවා. තියෙන්නෙ බදාදා ඒ කියන්නේ Special day එක දවසේ. රෑට හොදට කන්න තියෙනවා රයිස් එකක් ඊට පස්සෙ 9 ට වගේ පටන් ගන්න සමිතිය 10 30 වගේ වෙනකන් ඇදෙනවා. සාමාන්යයෙන් සින්දු කියන ඒවා අරවා මේවා අයින් කලාම හැම වසරකින්ම නාට්යක් පෙන්නන ඕනි. 11 වසරට හැරෙන්න අනිත් ඔක්කොටොම මේක අනිවාර්ය නීතියක් වෙලා තිබ්බෙ. මේක දාන්නෙත් ඉතින් 11 වසරම තමා. සමිතිය තියෙන දවසට ඉතින් හවස 6.30 ඉදලා 8 වෙනකන් යන පාඩම් කරන වෙලාවත් කට් වෙනවා. මොකද ඩ්රාමා එහෙම ප්රැක්ටිස් කරන්න එපැයි. හෙන ආතල් චිල් දවස් ඉතින්.
ඔන්න ඔය සමිතියට පින් සිද්ධ වෙන්න දෙයියනේ කියලා මට මගේ එක හැකියාවක් නම් එළියට දා ගන්න පුලුවන් වුනා. සින්දු කියන්න තියා තාලෙට හූවක් වත් මට කියාගන්න බැරි වුනාට රගපෑමේ හැකියාව නම් තියෙනවා. ඔය සමිතියේ රගපාලා ගත්ත පන්නරයෙන් ඉස්කොලේ ඇතුලේ සහ පිට 3 පාරක් හොදම නලුවා වෙන්නත් පුලුවන් වුනා. ඊට වඩා මටනම් හිතන්නේ ලැබුණ හොදම ප්රයෝජනය තමයි අදටත් මොකක් හරි බාල්දියක් පෙරලෙනකොට රංගන හැකියාව පාවිච්චි කරලා එතනින් මාරු වෙන්න පුලුවන්. හැමදාම ඉතින් මොකක් හරි ඩ්රාමා එකක් කරන්න එපැයි. එදා ඉතින් අපේ ඩ්රාමා එක වුනේ මගුල් ගෙයක්.
මෙන්ශන් කරන්න බෑ බෑ මනමාලිට ඉදපු එකාව. හරි නෑ නේ. කොහොමහරි ඒ කාලෙ හදන හැම ඩ්රාමා එකක්ම ඉවර වෙන්නෙ වලියක් ගිහිල්ලා. මේකත් එහෙමයි. මගුල් ගේ සාමාන්ය විදිහට යනවා. අශ්ටක කියලා පෝරුවේ දාලා. පෝරුවට ගත්තෙ රැක් එකක්. කැඩිලා තිබ්බ ඇදුම් රැක් එකක්. ඒකෙ උඩ ටිකට කොල අතු ටිකක් ගැහුවම අර සපත්තු තියන කෑලි දෙකේ දෙයියනේ කියලා නව යුවල හිටෝලා තියන්න පුලුවන්. බලන්න එපැයි මනමාලිගෙ හැඩ! ඇතුලේ තිබ්බ නෙට් එකක් ගලෝලා ඒක ඔලුව වටේ ඔතලා ගත්තේ. හම්මේ ආතල්. ඔය අස්සේ හොදම ආතල් එකක් සෙට් වුනා. එදා රෑට චිකන් කාලා රයිස් කන්න ඉදියට මොකක් හරි අකලංචියක් වෙලා වැඩේ කැන්සල් වෙලා තිබ්බා. තිබ්බෙ වට්ටක්කා හොද්දකුයි කරෝලයි බඩකඩිත්තුවක්. ඕකට කොල්ලන්ට නස්පෙට මළ පැනලා ඉදියේ.
රායිට්.. දැන් ආයෙම ඩ්රාමා එකට එමුකෝ. මං ඉදියේ ඔය බොන චරිතෙකට. දන්නවා නේ ඉතින් වෙඩින් වල බීලා හාන එවුන් ගැන. ඒ දවස් වල කොහොම නාට්ය වලට කලාට මං දෙතුන් පාරක්ම ඇත්තටත් හාලා තියෙනවා. ඒවා වැඩක් නෑ. කිව්වනේ ඩ්රාමා එක ඉවර කරන්නෙ වලියකින් කියලා. බීලා වැඩිවෙලා ආතල් දීලා වලිය දාගන්න ඉදියේ මායි තව කොල්ලො තුන් හතර දෙනෙකුයි. අපි තමයි ඉතින් වෙඩින් එකේ සම්බාවනීය අමුත්තො. ඔතන එකෙක් ඉදියා ඌට කියන්නේ ඉබ්බා කියලා. ඉබ්බා කියන එක සංශෝධනය වෙලා වෙලා පසු කාලීනව කැබ්බා කියලා තමයි ඕකට කිව්වේ. මං මූට කිව්වා අපි කුඩු ගහන සීන් එකකුත් පෙන්නමු උඹ ඇවිල්ලා බොන සීන් එක අස්සේ නහයට උරනවා වගේ පෙන්නලා ඇස් උඩ ගිහින් කැරකිලා පාට් එකක් දාහන් කියලා. මූත් කිව්වා අම්මට දෙන්නම්කෝ රඹටි හැලෙන්න කියලා.
දැන් ඔන්න අර රාජකීය කෑම වේලෙන් පස්සේ සමිතිය පටන් ගත්තා. ඉස්සරහම MIC සර් එක්ක වොඩා ඉදගෙන ඉන්නවා. අනේ පොඩි ළමයි ගේ සැගවුනු දක්ෂතා අව්යාජ මූණක් දාගෙන හිනා වෙවී උයන ඇන්ටිලා දෙන්නත් බලාගෙන ඉන්නවා. ඊට පිටිපස්සේ පුටු තියාගෙන සුවහසක් වෙච්ච හොස්ටල් එකේ පීඩිත පන්තිය ඉන්නවා. ඔහොම ගිහින් ගිහින් අපේ එකත් පටන් ගත්තා. ඔන්න ඉතින් මගුල පටන් අරන් නව යුවල ඇවිල්ලා පෝරුවේ නැගලා අශ්ටක කියලා දෑගිලි ගැටගහලා සේරම කලා. දැන් ඉතින් උන් දෙන්නව පුටුවකින් වාඩි කරලා තිබ්බා. දැන් තමයි අපේ සීන් එක පටන් ගත්තේ. ඔන්න ඉතින් සෙට් එකම බිම වාඩි වෙල බොනවා. ලාවට පේනවා ඇන්ටිලගේ මූණු ඇද වෙනවා වගේ. කමක් නෑ අපි හම්බු කලොත් අපි බොනවා.
ඔන්න ඉතින් වැඩේ නැගලම යද්දි මටත් ඉන්න බෑ නේ. වේටර්ට ඉදපු එකාට කතා කරනවා මල්ලි වට්ටක්කා බයිට් එක ගේන්න ( මේ සියල්ලම එදා රෑ කෑම එකට උයන උන්ටයි සර්ලටයි එළිපිට ගහන හින්ට් ) මල්ලි, කරෝල රෝස්ට් කරලා ගේන්න. දැන් හෙන භීසනේ ඔක්කොම හිනා වෙනවා වගකිවයුත්තන්ගේ මූණු ඇඹුල් වෙනවා. කැබ්බා නිකම් ඔන්න බොන සීන් එකේ ඉදලා එක පාරට නැගිටලා වෙරි වගේ පෙන්නලා ඉදාන් මල්ලි පොඩි වැඩක් කරන්න කියලා ගියා. එතනින්ම ඇතුලට ගිහින් ආයෙම එන්න පුලුවන්. තප්පර 10න් මූ ආවා. කුඩු ගහන එක දෙන්නම් රඹටි හැලෙන්න කිව්වට රෙදි ගැලවෙන්නම මූ කරයි කියලා මං හීනෙකින්වත් හිතුවේ නෑ. කොල්ලො වුනාම මේවත් ගහන්න ඕනි මල්ලි කියලා මූ සාක්කුවෙන් රතු පාට පොඩි ශොපින් බෑග් එකක් ගත්තා. කුඩු වගයක් තියෙනවා අවුලක් නෑ ඔය ගානට කලා කියන්නෙ ඇති මට හිතුනා. මු ඕවර් ඇක්ටින් කලා කියහන්කෝ. අර පාර්සලේ අරගෙන හැන්දක් ගත්තා.
හැන්දට කුඩු ටිකක් දාගත්තා. මූ මේ කොහෙන් හරි සබන් කුඩු වගයක් උස්සගෙන ඇවිල්ලා තියෙන්නේ. දැන් මට පේනවා බලන් ඉන්න උන්ගේ මූණු වෙනස් වෙන හැටි. මූ එතනින් නතර වුනේ නෑ ගිනි පෙට්ටියක් අරගෙන ගිනි කූරක් ගහලා හැන්ද යටින් අල්ලගෙන උඩ සබන් කුඩු ටික අදිනවා වගේ පෙන්නනවා. යකෝ මේ දෙනෝදාහක් ඉස්සරහ! ඇන්ටිලටෙ කටවල් ඇරිලා අත් කම්මුල් වල. වොඩාගෙ මූණ නිකම් ගලි බවුසරේ වගේ වෙලා. MIC දිහා බලන්න තිබ්බේ. පාලන මිලක් තියෙද්දිත් කිලෝ එක රුපියලට ගන්න පොළොන්නරුවේ රටළුණු ගොවියෙක් වගේ පෙනුමක් තිබ්බේ. මටත් කරකියාගන්න දෙයක් නෑ. කපල් එක තක්බීර් වෙලා ගිහින්. ඔක්කොටොම හරියන්න බලන් ඉන්න එවුන් ටික පුටු පෙරලගෙන හිනා වෙනවා.
හු%&තෝ ඕක නවත්තහන් මං කට වහගෙන කියෝනවා. බිබී ඉදපු අනිත් උන් බොන එක නවත්තලා බලන් ඉන්නවා. පුදුම චාටර් එකක් කෑවෙ එතන. වැඩේ හරියන්නෙ නැති හින්දා අඩෝ ඕවා එපා මෙහෙ කියලා වලිය පටන් ගත්තා. මනමාලියි මනමාලයයි දිව්වා අපිත් වලියෙන්ම ඩ්රාමා එක ඉවර කලා. වැඩේ අවුලක් වුනේ නෑ නේ හොදට තිබ්බා නේ කියලා අරූ මගෙන් අහනවා. තව ටික වෙලාවක් තිබ්බා නම් තියාගෙනම ඉන්න තිබ්බා කියලා කියන්න හිතුනත් මුගෙ අසහාය රංගනය හින්දා මුකුත් කිව්වෙ නෑ. මං හිතුවේ හෙන නඩ්ඩක් කැරකෙයි කියලා. කිසිම දෙයක් වුනේ නෑ. හැබැයි දවස් 5ක් 6ක් යනකන් වොඩා හැසිරුනේ නිකන් වෙඩි කාපු ඌරෙක් වගේ. උදේ 5 ට බෙල් එක ගහගෙන ගියාම 5යි 1 ටත් එකෙක් නිදි නම් කෙලිනවා හම යනකන්. 10 වසරේ උන්ට විතරයි එහෙම කරන්නෙ. කෑම කන්න පරක්කු වෙන්න බෑ. මොනා කලත් එලව එලව ගහන්නේ. බුදුන් වදින බෙල් එක හවස 6 ට ගහද්දි නාන ගමන් ඉදියොත් සබන් පිටින් ඉන්න උන්ටත් එලෝ එලෝ ගහනවා. ඒ දවස් ටිකේ හවස් වරුවේ ජොක්කු ඇදන් හොස්ටල් එකේ වත්ත පුරා සබන් පිටින් දුවන කොල්ලොයි එලෝ එලෝ ගහන වොඩයි හරිම සුලබ දසුනක් වුනා. අරූ කරපු තුප්පැහි වැඩේට සතියක් විතර ඇරියස් එක කවර් කලා. මං ජීවිතේකට ඌ කරපු තරම් Surprise එකකට තාම මුහුණදීලා නෑ. කොහොමහරි ආයෙම මාසයක් යනකන් සමිතිය තිබ්බෙත් නෑ. සර් අද සමිතිය තියෙනවද කියලා ඒ දවස් වල ඇහුවොත් ඒකටත් ගැහුවා.
_ශාමින්ද ජයරත්න_

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!