2030 (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
නිදන කාමරය පුරා අරක් ගත් ගස් වැල් මතින් මසිතේ අතීතය සිත්තම් වන්නට විය..
අම්මාගේ උණුසුමේ වැතිරී ගෙවුණු අවසන් දින රාත්රිය බොද වුණු දෑසින් මැවෙන්නට විය.
” නංගී..”
අතින් ලියාලූ කිරි අල කොල පිඟානක් සහිතව අක්කා නෙත් අභියස පෙනී සිටියාය. ඒ අපගේ දිවා ආහාරයයි. රඹුටන් , මැංගුස් , වැල , වරකා හැකි අයුරින් අප කුස පිරෙව්වාය. වත්ත පහල දොල නොමසුරුව පිපාසය සංසිඳුවාලීය. ගසින් නෙලා අනුභව කරනු විනා ආහාර පිසීමක් නොමැත. එසේ කන්නට සිත්ලූවද අවැසි අඩුම කුඩුමද නොමැත.
අක්කාත් , මමත් කිරි අල කොල එකින් එක කන්නට වීමු. ඒවා කන්නට තරම් දැන් අප සිත් දැන් සවිමත්ය.
ගෙයක් , මිදුලක් අතු ගෑ දිනයක් මතක නැත. හැද සිටිනා ඇදුම ඇගලූයේ මෙයින් දින හතකට පමණ පෙරය. නා පිරිසිදු වීමක අවැසිතාවයක්ද දැන් නොමැත.
” අම්මා හරි හිටියා නම්..”
මා හඩ අවදි කලෙමි.
අක්කා සුසුම් ලෑවාය.
අවසන් දින රැයෙහි හුස්ම ගත නොහැකිව අම්මා ගිලන්රථයක රැගෙන ගිය අයුරු මතකය. ඒ අප ඇය දුටු අවසාන දිනයයි. එවකට නගරයේ ප්රමුඛ පෙලේ පාසලක මම සිවු වන වසරේත් , අක්කා පස් වන වසරේත් ඉගෙනුම ලැබුවාය. දැන් අප වයස කීයදැයි ඇයත්, මමත් නොදනිමු. කාලය පිලිබද එතරම් තැකීමක් අප දෙදෙනාටම නැත. එසේ කිරීමෙන් ඇති ඵලයක්ද නොමැත. පනාවක පහස නොලද එදා කොටට තිබූ කොණ්ඩය අද නිතඹ තෙක් දිගුය.
කොහිදෝ සිට සුළගේ පාව ආ පන්දහසක නෝට්ටුවක් අක්කාගේ පාදය අසලට වැටිණි. අක්කා ඉන් රොකට්ටුවක් සකසා නැවත සුලගටම පා කෙරෙව්වාය. අම්මාගේ ගෙල බැදි මාලය බිම වැටී දුහුවිල්ලෙන් වැසී තිබුණෙන් එය අහුලා ජනෙල් පඩිය මත තැබීමි.
දුරකථනය ගොලුවත දරමින්ම මකුළු විමානයකට රජ දහනක්ව ඇත. අයිස් පෙට්ටිය, රෑප පෙට්ටිය දෙකෙහි ඉරණමද එබදුමය. කකුල් දෙකකට වාරු දී ඇති ගෑස් ලිප ඉතිරි එක් කකුලක් බිදී ගිය විගසම බිම පතිත වනු ඇත. ගරාජයේ නවතා ඇති පෙජරෝවෙන් ගැලු මලකඩ දියර බිම දිගේ රටාවකට ගලා ගොස් ඇත.
” නංගී..”
” අපි ටිකක් එලියට යමුද? කවුරු හරි කෙනෙක් ඉතිරි වෙලා ඉන්නවා වෙන්න පුළුවන්..”
කවදාවත් නොමැතිව අක්කා යෝජනා කලාය.
අම්මා මිය ගිය පුවත සවනත වැකුණද ඇයගේ දේහය අපට දක්නට නොලැබුණි. එය බලන්නට අප සමග රෝහලට යන්නට කෙනෙක් නොවීය. වසංගතයට ගොදුරු වූ නෑදෑයන් සේම ගම්වැසියන්ද බොහොමයක් එවකටත් අප හැර ගොස් තිබිණි. අසල නිවසේ මාමාත්, නැන්දාත් නිවස තුලම මියැදී සිටියේ අම්මා නැතිවූ දාට දින දෙක තුනකට පසුවය.
අක්කාත් මමත් වසර ගණනාවකට පසුව මහ මගට බැස්සෙමු.
මහපාරේ දිරා ගිය වාහන පෝලිමකි. සුක්කානමක් මත කමිසයකි. තවකෙක
දිරා ගිය සාරියකි. මුහුද අසල වූ නිවසක් තුලට රින්ගූ වැලි කන්දකි.
අක්කාත් , මමත් බොහෝ දුර පියමන් කලෙමු. මිනිසෙකු තබා බල්ලෙකුදු දක්නට නොහැකි විය. මිනිසුන් සමග ඔවුන්ද වදව ගොස් ඇත්තා සේය. එසේ වුවද අහසේ විහඟුන් රංචු පිටිනි. මග දෙපස මල් පිරී බිගු නදද සුලබය.
බොර පාටින් ගැලු කලු ගග අද නිල් පැහැති සේද සලුවකි. පැයට කිලෝමීටර් 120ක වේගයෙන් යන්නට තැනූ මන්තීරු හයේ රුවන්පුර අධිවේගය මත ලා අඩි පාරක් පමණක් ඉතිරිව වල් වැදී ඇත. සීවලි පිටිය, ෆුඩ් සිටිය, පොලීසිය, ඔරලෝසු කණුව කෞතුක වස්තූන් ලෙස නැගී සිටියාය.
අක්කාත් , මමත් මොහොතක් මුවින් මුව බලා හිද කිසිවක් නොකියාම ආපසු හැරුණෙමු. ඇයට මමත්, මට ඇයත් හැර අන් සරණක් නොවන බව ඇයත් මමත් වටහා ගතිමු…..
උපුටා ගැනීම:  Chathurika Jayaweera

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!