මම වනාහි ඕනෑම ස්ථානයක, ඕනෑම අවස්ථාවක, ඕනෑම ඉරියව්වකින්, ඉතා ස්වල්ප වේලාවකින් ම නිදි දෙව්දුව වැළඳ ගැනීමේ විශ්මිත හැකියාවකට උරුමකම් කියන්නෙක්මි.
මගේ බෙහෙවින් මුදු, සුකෝමල කටහඬ කණ වැකෙන ඕනෑම අයෙකු “ගිය ආත්මේ පන්සල් බර ගාණකට ඝාණ්ඨාර කුළුණු පූජා කරලා ඇති මයෙ හිතේ..” කියන්නැහේ, නිදාගැනීම සම්බන්ධයෙන් මා සතු සුපිරි හැකියාවට හේතුව, පසුගිය ආත්මභවයන් හී දී ආරාමවලට කොට්ට, මෙට්ට, ඇඳ ඇතිරිලි මතු නොව, සැතපෙන කුටි පවා පුජා කර තිබීම යැයි මට හැඟේ.
ඇතැමෙක් හට තම සුපුරුදු වාසස්ථානය, කොට්ටය, මෙට්ටය වෙනස් වූවොත් නින්ද නොයයි. ඒ අතින් ගත් විට මට නිදා ගැනීමට, ඇඳ – කොට්ට – මෙට්ට යන සාධක තිබීම හෝ නොතිබීම අදාළ නැත.
තවද, පොතක් පතක් කියවද්දී හෝ රෑපවාහිනිය නරඹද්දී නිදි දෙව්දුව අත වනන්නට වීම සාමාන්‍ය පුද්ගල ස්වභාවයකි. ඒත්, තමුන් ආසම පුඩිමක්, වටලප්පමක්, අයිස්ක්‍රීම් එකක් රස බලද්දි නින්ද යන අයත් සිටිත් ද???
ඕ.. මේ ඉන්නේ..
ඒ හැරුණු කොට, මැහුමක් – ගෙතුමක් අතරතුරේ, ඉබේටම නින්ද යන අය??? මේ ඉන්නවා..
නෑ..නෑ.. මේ කියන්න යන්නේ, අවුරුදු 60 -70 පැන්න අත්තම්මා කෙනෙකු ගැන කතාවක් නෙවී අවුරුදු විසි ගණන්වල මුල් අවධියේ නාඹර යෞවනියක් ගැන කතාවක්.
රැකියාව හමාර කර නිවසට පැමිණ, රෑ කෑම ගන්නාවිට සෙසු නිවැසියන් කා බී අවසාන නිසා, අතුරුපසට ඇති පුඩින්/ ජෙලි/ වටලප්පම් නැවත වෙනම කෝප්පයකට බෙදා නොගෙන ඒ මුල් බඳුනටම තව අයිස්ක්‍රීම් ස්කූප් 2-3කුත් බෙදාගෙන කෑම එකල මගේ සිරිතයි. සැප පුටුවකට බර දී, අතුරුපස බඳුන රස විඳීමට පටන්ගත් හැටි මට හොඳින් මතකය. ඉන් අනතුරුව, මං උඩ විසි වී ඇහැරෙන්නේ අම්මාගේ ගෝරනාඩුවත් සමඟිනි.
“ඔය භාජනෙත් බිඳෙනවා තව ඩිංගෙන්. කෝ.. දෙන්න මෙහාට.., ඕක දැන් කන්න බෑ.. ඔක්කෝම දියාරු වෙලා. අන්න අරහෙ ඇඳට ගිහින් හරියට නිදා ගන්ඩ..”
එක අතකින් හැන්ඳත් අල්ලන්, අනෙක් අතින් අතුරුපස බඳුනත් අල්ලන් මං දොයි ලු. දුක යනු, අතුරුපසින් බාගෙට බාගයක්ම කා නොතිබීම ය. එවකට, අප නිවස තුළ, එම ජවනිකාව කොතෙකුත් සුලබ ය.
තවත්, එවන් සුලබ ජවනිකාවකි. ඒ නම්, එක අතකින් ඉඳිකටුවක් අල්ලන්, අනෙක් අතින් කතිර මැහුමකුත් අල්ලන් මං නිදි දෙව්දුව වැළඳගෙන හිඳීම යි. ඒ ජවනිකාවේ දී අම්මාගේ දෙබස මෙසේයි;
“ඔහොම ගියොත්, කොයි වෙලාවේ හරි නිදි විකාරෙන් ඔය තඩි ඉඳිකට්ට අතේ ඇනගන්නවා.. ඕක ඇනුනොතින් නං පිටගැස්මට බේත් විදින්න වෙයි. අන්න අර ඇඳට ගිහින් නිදා ගන්ඩ ළමයෝ.., මැහුමක් දෙකක් මහනවා – නිදි. අන්තිමට මැහුම් මහන්න නෙමේ, මැහුම් දාගන්ඩ තමා වෙන්නෙ නැත්තං..”
මැහුම්වලට වඩා අම්මාගේ බැනුම් තියුණුය. එ නමුදු ඒවායෙන් මේ දැරිවිගේ නින්දේ නම් වෙනසක් සිදු නොවිණි. එකල මාගේ බාල සොයුරියන් දෙපලම පාසල් යන වයසේ පසු වූ නිසා කිසිවෙකුත් ලඟ ජංගම දුරකථන නොවූයෙන්, මගේ අරුම පුදුම නිද්‍රා මුද්‍රාවන් කිසිඳු සේයාරුවක සනිටුහන් නොවීම මා ලද භාග්‍යයකි.(ඡායාරූප තිබුණා නම් ඔය චිත්රයේ පෙනුමට සමාන වේවි. ආහ්.. ඒ සිත්තම ඇන්ඳේත් මේ නිදිකුම්බරී ම තමාය.)
මගේ සිරුරට අරක්ගත් නිදි දෙව්දුවත් හරි පුදුමාකාරය. නිහඬ, නිස්කලංක වාතාවරණයක අවශ්‍යතාවක් ඇත්තේම නැත. “බිස්කට් කුඩු – බිස්කට් කුඩු” රිද්මයේ ගී නද ගිගුම් දෙද්දී, හුස්මක් කටක් ගැනීමට හෝ ඉඩක් නොතබමින් පොල් පැටවූවාක් වැනි බස් රියක, තනි කකුලෙන් හිටන්, මැද බාර් එකේ තනි අතින් එල්ලී යද්දී පවා ඒ නිදි දෙව්දුව ඉතා ශාන්ත ලීලාවෙන් මා කරා වඩින්නීය. ඉහින් කණින් දහදිය වගුරමින්, පොදිකන මගී සමූහයක් අතරිනුත් මාව ම සොයාගන්නට නිදි දෙව්දුවට පුළුවන් හැටි විශ්මයජනකය.
මේ එවන් එක් දවසක ජවනිකාවක්;
ඒ වන විට මා, අවුරුදු 20ක්-21ක් වගේ ලාබාල යෞවනියකි. සාරියකුත් ඇඳන්, එක උරයක හෑන්ඩ්බෑගය ද, අනෙක් උරයේ ඊටත් වඩා තඩි කෑම බෑගය ද එල්ලාගෙන, තනි අතකින් බසයේ මැද බාර් එකේ එල්ලීගෙන, තෙරපී සිටින අතරතුරේදීත් මා සුපුරුදු නින්දට වැටිලා ය. හදීසියේ වැදුණු තිරිංග පහරකින් ලද අනපේක්ෂිත චාලක ශක්තිය හේතුවෙන්, මං එල්ලී උන් අත කේන්ද්‍ර කොට ගෙන, මගේ ඔළු ගෙඩිය දෙතුන් වටයක් පරිභ්‍රමණය වී, ආපසු මුල් පිහිටීමටම සැපත් විය. මගේ භ්‍රමණ චලිතය ළඟ පාතවුන් මඟීන් දුටුවාට සැක නැත. මං කිසිවක් නොවූ පරිද්දෙන්, යළිත් දෑස් පියා ගත්තා පමණි.., කවුරුන් හෝ තට්ටු කරන්නාක් වගේ දැනේ.
තිගැස්සී දෑස් විවර කළ මට පෙනුනේ, එතැන පහළ අසුන්ගෙන ඉන්නා කොල්ලෙකි. අවුරුදු 26ක්-28ක් වගේ. ඔෆිස් ගිහින් එමින් ගමන් වගේ පෙනුමක්. එයාට එහා පැත්තෙත්, ඒ වයසේම වගේ තව අයියෙක්. මෙච්චර වෙලා හිටන් ඉඳලා තීන්නේ ඒ ඩබල ගාව, දැක්කෙත් නෑ.. (දකින්න නම්, ඇස් ඇරන් ඉන්න එපෑ..)
තට්ටු කරපු අයියා, මට සිය අසුන පිරිනමා නැඟිටින්නට සැරසේ.
මං : “තෑන්ක්ස්.. මේ ටික මෙහෙම යන්නං.”
අයියා : “ටික නෙමී, තව දුරයි. පිළියන්දලට නෙ ටිකට් ගත්තේ..??? ඔයාට නින්ද ගියාට, බස් එක තාම වැඩිදුරක් ගියේ නෑ..”
මං : “නෑ.. කමක් නෑ.. තෑන්ක්ස්..”
අයියා : “නෑ.. නෑ.. ඔයා දැන් ඉඳගන්න. බැරිවෙලාවත් මට නිදිමතක් ආවොත්, මං ආපහු ඔයාගෙන් සීට් එක ඉල්ලගන්නංකෝ..”
දැන් ඉතින් වෙන කුමක් කරන්න ද???
විලිලැජ්ජාවකි, ඉරකි, තිතකි. ලජ්ජාව වැඩිකමට මගේ කකුල් දෙක පණ නැති වී යන්නාක් මෙන් දැනෙන්නට විණි. අර හාදයා නැගී සිටිනවාත් සමඟම, කපා හෙළූ කෙසෙල් කඳක් මෙන් ඒ ආසනය මතට ඉබේම පතබෑ වුණෙමි.
ආසනය පිරිනැමූ මහා පරිත්‍යාගශීලියා, මගේ හිසට උඩින් පාත්වෙලා, වීදුරු කවුළුව පැත්තෙ අසුන්ගෙන ඉන්න සිය මිතුරා සමඟින් මහා සද්දෙන් කතාව;
හිටන් ඉන්න හාදයා : “මචං, ඊට පස්සේ මේවගේ ‘දුර ගමන් සේවා’ බස්වල ගමනක් යනකොට, අපිවත් අම්මට කියලා උණු තේ ෆ්ලාස්ක් එකක් හදන් එන්නෝනි. මඟ දිගට නිදි කිරන ආච්චම්මලාට ටික ටික බෙදලා දෙන්න.”
ඉඳන් ඉන්න හාදයා : “අනේ.. ඔව් බං, ඒක මාරම පිනක්. කවුද හිතන්නේ 120 බස් එකක සැමන් ටින් ගාණට පැක් වෙලා යද්දිත් මේ තරං සැපට නින්ද යනවා කියලා..”
රෙදි ඉල්ලෙ.. විලිලැජ්ජැවේ සන්තෝසෙ බැරුවා.. ඒවගේ අවස්ථාවකට මුහුණ දුන්නා කිව්වාම.. නෑ.. නෑ.. මුහුණ දුන්නා කිව්වාට, මුහුණ දුන්නේම නෑ.., මූණ බිමට හරවගෙන, නිදාගෙන හිටියේ. නිදාගෙන කිව්වාට, නිදාගෙනම නෙමී.., ඇස් පියන් තද කරන් හිටියේ ලැජ්ජාවටම. දැන් ආයේ මොන නින්දක් ද? නිදි දෙව්දුව පලා ගියේ තප්පරයක්වත් සුනංගු නොවී, ආපස්ස හැරිලාවත් නොබලා, හරියට භූමිතෙල් පාරක් කාපු ගැරඬියෙක් වගේ. නිදිමත නැති වුණාට, අර දෙබස් ඇහෙද්දි ඇස් ඇරන් ඉන්න තරම් පුළුවන්කාරකමකුත් නෑ. දැන් වගේ නෙමී ඉතින්, ඉතාම ලජ්ජාශීලී නාඹර තරුණියක් නෙවැ ඒ කාලේ.
දැන් මං ඇස් පියන් තද කරන් නිදි වගේ දිගටම ඉන්නවා. අර ඩබල මොකද කරන්නේ..??? ආ.. එයාලත් දිගටම කතා කර කර ම යනවා.
ඉඳන් ඉන්න හාදයා : “මළ ගෙවල්වල නයිට ගහනවාද මන්දා.., මෙච්චර ගැස්සෙන බස් එකක යද්දිත් නින්ද යන්නෙ..”
හිටන් ඉන්න හාදයා : “නයිට් ඩියුටියට මිනිය මුර කරනවා ඇති, පාර්ට් ටයිම් ඉන්කම් එකට.”
හපොයි..
මම නම් ගඟේ පනිනවා – වතුර බීලා මැරෙනවා.
නෑ.. නෑ.. මේ වෙලාවේ ඒ තරම් වික්‍රමයක් කරගන්න බෑ, මං තාම බස් එක ඇතුළේ නෙහ්. ඕනිම නම් ඇඳන් හිටපු සාරියේ පොට බෙල්ල වටේ ඔතාගෙන බස් එකේ මැද බාර් එකේ එල්ලිලා මැරෙන්න වගේ පුළුවන්. නෑ.. ඒකත් බෑ.. මොකෝ ඒ වෙලාවේ පොල් පටෝලා සෙනඟ උන්නු බස් එකේ මැද බාර් එකේ එල්ලෙන්න ඉඩක් හොයාගන්න කොහෙත්ම බෑ.
“ශරීර කූඩුව මගේ නම්.., කැරකුණේ මං නම්.., කාටවත් ඇයි වේදනා..???” කියලා අහන්නැතුව මොකට ඔච්චර ඇඹරුණා ද? දැන් එහෙම පොර සේ හිතුවාට.. එවකට,
“මට බොළඳ වයසේ බැරිය පොර ටෝක්ස් දැන් සේ..”
මෙලෙසින් එදා තුන් බිලියන හතර දෙමිලියන හත් ලක්ෂ අසූ හාරදාස් එකසිය ගාණට බයිට් වීමෙන් අනතුරුව මේ බවලතී නම් ආයේ බස්වල යද්දි ඇහි පිල්ලමක්වත් ගහන්නැතුව ඇති කියා ඔබට සිතුණා ද?
පිස්සුවක් ඇතෙයි??? මට අරක්ගත් නිදි දෙව්දුව එහෙම ලේසියෙන් පහුබහින අම්මණ්ඩියෙක් නම් නෙමී. ඉන්පසුවත් ඒ උත්තමාවි මා කෙරේ උපන් අසීමිත අනුකම්පාවෙන් සුපුරුදු විදියටම මා සොයාගෙන වැඩියාය.
උපුටා ගැනීම: Randima Cooray