මේ මගේ දෙවනි කතාව. පලවෙනි කතාවට ලැබුනු ප්‍රතිචාර උත්කෘෂ්ඨයි. ඒ ගැන මගේ හදපිරි මෙවුවා එක. එකම එක අවවාදෙකුත් බොහොම ආදරෙන් ලැබුනා. “ඔක්කොම හොදයි, ඇඩ් වැඩී බ්‍රෝ” කියලා. සෝ මේකේ ඇඩ් නෑ කියලා හිතෙනවා.
හරි.. මේකයි කතාව. පලවෙනි එක වගේම මේකත් ජීවන අත්දැකීමක්. සින්හලෙන් කිවුවොත් ටෲ ස්ටොරි..
මීට මාස 3කට කලින් සෙනසුරාදා දවසක, මම කාර් එකේ කඩවත එන්න එනවා බොරැල්ලෙ ඉදලා, බේස්ලයින් පාරෙන් ඇවිත්, කැලනි පාලම හරහා නුවර පාර දිගේ.
අනේ බේස්ලයින් එක කෙලවරේ, අන්තිම කලර් ලයිට් එක කොල පාට වෙලා වාහන යන්න ගත්තාමත්, පොඩි ට්‍රැෆික් එකක් පේනවා. වාහන එක පේලියක් විතරක් වම් පැත්තෙන් අයින් කරන් යනවා. දකුණු පැත්ත බ්ලොක් වෙලා.
ශුවර් එකට වාහනයක් වැදිලා ඇති කියලා බලාගෙන යද්දී, අවුරුදු 50ක විතර කෙසග මනුස්සයෙක්, පාර මැද්දට වෙන්න බිම වාඩිවෙලා, හාල් ටිකක් බෑග් එකකට එකතු කරනවා. තව තුනපහ, පරිප්පු පැකට් ටිකක් එහෙම එතනම තියනවා. හැබැයි හැලිලා නෑ. හාල් ටික විතරයි හැලිලා තියෙන්නෙ. පැත්තකින් පුශ් බයික් එකක් තියනවා පාර මැද්දෙ තියෙන යකඩ වැටට හේත්තු කරලා.
වාහන ඔක්කොම මිනිහට ඔරෝ ඔරෝ යනව. අනේ මේ අසරනය බිම බලාගෙන, එක හැල්මට හාල් ටික එකතු කරනවා. මට පුදුම දුකක් දැනුනෙ. ඒත් එක්කම මට මතක් උනා, අර බොරුවට බඩු මල්ලක් අරන් එන ගමන්, බස් හෝල්ට් ලග අපස්මාරෙ හැදිලා, සෙම දාගෙන වැටිලා, බඩු ටික හලාගෙන, වටේ ඉන්න මිනිස්සු අන්දලා සල්ලි ගලෝන කාලකන්නියව.
හැබැයි මට ඒ එක්කම තේරුනා, මොලේ කලදක් හරි තියන එකෙක් මේ වගේ තැනක ඔය වැඩේ කරන්නේ නෑ නේද කියල. මොකද මේ බේස්ලයින් කෙලවරේ, නුවර පාර මුල. මිනිහෙක් පයින් යනවා තියා හිතන්නවත් නැති තැනක්. වාහන යනවා එක සීරුවට. හිගමන් දෙන්න නෙමෙයි , වාහනේ කැඩුනත් නතර කරන්න පුළුවන් තැනක් නෙමෙයි.
සෝ ඉතින්, මම එක පයින් තීරනය කලා මේ මනුස්සයගේ අසරනකම. ඒත් ඉතින් ප්‍රශ්නයක්. මේ ටික ඔක්කොම මගේ ඔලුව ඇතුලේ ප්‍රෝසෙස් වෙලා තීරනේට එනකොට අර දුප්පතා පහුවෙලා සෑහෙන දුර ගිහින්. ආයෙ එනවා නම් කැලනි පාලම පැනලා, පෑලියගොඩ හතරේ කනුවට කලින් තියන වට රවුමෙන් කැරකිලා, ආයෙත් අනික් පැත්තෙන් කැලනි පාලම උඩට ඇවිල්ලා, බේස් ලයින් එක පටන් ගන්න තැනට එන්න ඕනෙ.
ඒක ඉතින් ඇත්තටම කිවුවොත් වෙනම ගමනක්. ට්‍රැෆික් අස්සෙ, ඔය මුලු රවුමම කැරකිලා, ආයෙ ඕල් ද වේ අනික් පැත්තට යන්න පොඩිපහේ ඉත්තැවෙක් ඉදලා බෑ හිතොතුනි. ඒකත් තව තදබල හේතුවක් උනා අර මනුස්සයා ජෙනුයින් කියලා මම තීරනය කරන්න.
අනේ ඉතිම්, ඔය කිවුවට මගේ ඉත්තැවා ඒ ජාතියේ එකෙක්. ඕන පුපක් කියලා යන්න තිබ්බ ගමන පැත්තක තියල, හැරෙවුවා කාර් එක ආයෙත් අනික් පැත්තට. දැන් මට මෙලෝ සිහියක් නෑ අර මනුස්සයා මිස් වෙයි කියලා. මම දැන් හැටට හැටේ යනකොට අනේ මේ මනුස්සයා හාල් ටික එකතු කරගෙන යන්න නැගිටිනවා.
මම වාහනේ නවත්තනකොටම අනේ පුදුම අසරන බැල්මක් බැලුවා මිනිහා මගේ දිහා. කලු, කෙට්ටු, අඩි 5’2″ විතර උස, අවුවට හොඳටම පිච්චිච්ච , කොන්ඩේ තැනින් තැන සෑහෙන සුදු වෙච්චි, ලෙඩ පාට මනුස්සයෙක්. පොඩි වෙච්චි ලා නිල් පාට අත් නමපු ශර්ට් එකකුයි, කිලුටු පාට පරන සුදු සරමක් ඇදල. දාඩිය පෙරාගෙන.
මම වාහනේ නවත්තලා පාර පැනලා ලගට යනකොටම, ඈත තියා මගේ දිහා බලලා “බෑග් එක කැඩිලා මගේ හාල් ටික හැලුනා මහත්තයො, එක වාහනයක්වත් බැලුවෙවත් නෑ” කියලා හරීම දුක හිතෙන විදිහට කිව්වා.
හිතලා බලන්න මේක තමන්ට උනා නම්, මොන විදිහට දැනේවිද කියලා. Corona දෙවනි රැල්ල පීක් කාලෙ. බලපු ගමන් පේනවා එදා වේල හොයාගෙන කන මනුස්සයෙක් කියලා.
මගේ පපුව හෝස් ගාල ගියා. ඇත්තටම කිවුවොත් මගේ අතේ සල්ලී තිබුනේ නෑ දැනෙන ගානක්, ඒ මනුස්සයාගෙ අසරනකමේ හැටියට සහ ඒ වෙලාවෙ පත්වෙලා හිටිය තත්වෙ හැටියට දෙන්න.
මොකද කරන්නේ කියලා කල්පනා කරලා මනුස්සයාගෙ පිටට තට්ටුවක් දාල මම කිවුවා, “අන්කල්, ඔයාට පුළුවන්ද මගේ car එක පස්සෙන් එන්න මේ ලගම තියන ෆූඩ් සිටි එකට” කියල. අනේ මේ මනුස්සයා “හා” කිවුවා.
ලගම කාර්ගීල්ස් එක තියෙන්නෙ පෑලියගොඩ. මම ඉතින් හෙමින් හෙමින් මේ මනුස්සයට බයිසිකලේ පැදගෙන පස්සෙන් එන්න පුලුවන් වේගෙන් කාර්ගීල්ස් එකට ගියා. වාහනේ නවත්තලා විනාඩි 5කට විතර ගියාට පස්සෙ මිනිහ ආව. මම දැන් මෙහෙම හිටියට, හොද මීටරෙන් ඉන්නෙ පොරගෙ මුව්මන්ට්ස් ගැන.
කියන්න බෑනෙ. තාමත් ලාවට ශුවර් නෑ නෑ වගේ. දෙන්න එක්කම ඇතුලට ගියා. යනකොටම මට තේරුනා, අනේ මේ මනුස්සයා කලාතුරකින් ෆුඩ්සිටි එකක් ඇතුලට ආපු කෙනෙක් කියල. දෙකට නැමිලා වගේ බොහෝම බයාදු විදිහට, අර සේල්ස් බොයිස් කෙනෙක්ගෙන් හාල් ටිකක් ඉල්ලනවා.
සේල්ස් කොල්ලා මාව දැක්කෙ නෑ. මේ අන්කල් දිහා රබර් ඇහැක් දාල මොනවද කිවුවා. මම ලගට ගිහින් ඇහුවම කියනවා “සර් මගේ හැලුනේ හාල් කිලෝ 3යි. මේ මහත්තයා මම කිලෝ 3ක් ඉල්ලපුවාම, කිරලා දාගන්න කියනවා, මට තේරෙන්නෙ නෑ කොහොමද කිරලා දාගන්නෙ කියල”.
මට තව අප්සෙට්. මම අර බෝයිට කිවුවා 5kg හාල් බෑග් එකක් දෙන්න කියල. දැන් නම් මට මාරම අවුල්. මම ඇහුවා, ඔයා මොනවද කරන්නේ, කින්ද මන්ද විස්තර.
අනේ මේ මනුස්සයා මේසන් බාස් කෙනෙක්. වැඩ කර කර හිටිය කොම්පැනිය කොරෝනා අස්සේ වහලා. දවස් ගානකට පස්සෙ අද තමයි ගෙවල් ගානෙ ගිහින් යාන්තම් වැඩක් හොයා ගෙන රුපියල් 1,500/- හම්බ කරන් තියෙන්නෙ.
එ දුප්පත් 1,500/- න් ගත්ත බඩු මල්ල තමයි මේ වැටිලා තියෙන්නෙ. ලමයි 3 දෙනෙක්. ලොකු කෙල්ල ඕ ලෙවල්. පොඩි කෙල්ල 8 වසරෙ. කොල්ලා 2 වසරේ.
හාල් කිලෝ 3 වෙනුවට කිලෝ 5 ගන්න කියපු නිසා මනුස්සයා සැහෙන දුක හිතෙන විදිහට මගේ ගාව නැමිලා කියුවා “අනේ මහත්තයො, හාල් ටිකක් අඩු කරලා හරි කමක් නෑ, සීනි තේ කොල ටිකක් සමාවෙලා අරන් දෙන්න පුළුවන්ද, ලමයින්ට තේ වතුර ටිකක් බොන්න කියලා”. මගෙ ඇස්වල කදුලු පිරුනා.
ඒ දැනුන හැගීම විස්තර කරන්න වචන නෑ මිත්‍රවරුනි. මම කිවුවා ඔයා ඕන දෙයක් ගන්න. මම සල්ලි දෙන්නම් කියල. ඒ ඇරෙන්න කියන්න වෙන දෙයක් මට හිතා ගන්න බැරි උනා ඇත්තටම.
ඒ පාර මනුස්සයා පහත් වෙලා අර රැක් වල තියන පුන්චිම තේ කොල පැකට් එකක් අතට ගත්තා. ඒත් එක්කම මගේ සැකේ වාශ්ප, වෙලා ඉවසිමේ සීමාව පැන්නා
මම පැනලා තේ කොල 500g , කිරිපිටි, සීනි, පරිප්පු , අල, ලූනු ඇතුලු එකී මෙකී නොකී සියලුම ජාති, පවුලකට මාසෙකට විතර කන්න බොන්න ඇතිවෙන්න අරන් දුන්න.
මනුස්සයා පුදුම වෙලා වගේ මගේ දිහා බලන් හිටියා කියලා විතරයි මට මතක. ඔක්කොම අරන් ඉවරවෙලා, බිල ගෙවලා, එලියට ආපුවාම, මේ මගේ තාත්තා වගේ මනුස්සයා මට අත් දෙක එකතු කරලා වැන්දා. වැදාලා පින් දුන්නා. කියන්න වචන නෑ. දුක, සතුට වගේම ජයග්‍රහණය මිස්‍ර වෙච්ච හැගීමකින් පපුව පුරෝගෙන, මම එදා ගෙදර ආව මිත්‍රවරුනි
ඔහොම කාලේ ගතවෙලා ගිහින්, ඊයෙ හවස මම වැඩ ඇරිලා වයිෆ් එක්ක ගෙදර එනවා. රෑ කෑම ගත්තෙ නෑ කියලා මතක් උනේ, කඩවත ටවුම පහුවෙලා, හයිවේ බයිපාස් එකටත් දැම්මට පස්සේ . කඩවත හයිවේ බයි පාස් එක, කැන්ඩි රෝඩ් එකට වැටෙන්න කලින් තියන, අන්තිම කලර් ලයිට් එකෙන් වමට දාල ගියාම, ආයෙ කඩවත ටවුන් එක පැත්තට වැටෙනවා, නුවර පාර දිගේ.
එතනින් ගිහින් කෑම ප්රශ්නය විසදගෙන එනවා කියල හිතල, වමට හරවන්න යද්දිම, මෙන්න යකෝ පොරක් හාල් එකතු කරනවා පාරෙ. බයිසිකලේකුත් තියනවා පැත්තකින් නවත්තලා. මගේ බට්ටා මාරු උනා පින්වතුනි. නවත්තන්න විදිහක් නෑ පිටිපස්සෙ එවුන් පැලෙන්න හෝන් ගහනවා.
ඩයල් එක හරියට මීටර් කරගන්නත් බැරි උනා. ඌමද කියල ශුවරුත් නැනෙ. ඕක ගැන හිතලා, කරපු පින්කමත් අහෝසි කරන්, ලේ පුච්ච ගන්න වැඩක් නෑ කියල හිතලා, වයිෆුයි මායි උදය හෝටලේට ගිහින්, අපේ සුපුරුදු ප්‍රනීත ආප්ප පාරක් කාල, ආයෙම බයිපාස් එක පැත්තෙන් දාගෙන, ගෙදර එන්න ආව.
අර මම කලින් හරෝපු කලර් ලයිට් එක පහුකරල, හයිවේ බයිපාස් එක, ඇල්දෙණිය පල්ලිය ගාවින්, නුවර පාරට වැටෙන්න 300M විතර කලින්, මෙන්න යකෝ ආයෙත් හාල් එකතු කරනවා පාරෙ, බැක් ටු බැක්.
මුගෙ අම්මට කේජු කන්න මේ අර කැX බල්ලනේ, මම අච්චර දුක හිතන්, වැඩ ඔක්කොම පැත්තක දාල, ආපහු වාහනේ හරෝගෙන ගිහින්, මාසෙකට කන්න බඩු අරන් දීපු. ෆීලින්ග් ඕසම් ප්රෙන්ස්.
නැවැත්තුවා කාරෙක එම තැන. බැහැල අරූ ඉන්න පැත්තට යනකොට, අනේ මට පේනවා මම වගේම පුපේ ඉත්තැවො දුවන එවුන් දෙන්නෙක්ම පෝලිමේ යනව අර පxයාට සල්ලි දෙන්න. කෑ ගහල නැවැත්තුවෙ උන් දෙන්නව, හිතේ මෙවුවා එක වැඩි කමට.ඒ ගියපු එක රත්තරන් කොල්ලෙක් කියනව, “අයියා හොද වෙලාවට කිවුවෙ, මගේ අතේ තියෙන්නෙම රුපියල් 1,000/- යි. මම මේ ඒක දෙන්න ගියේ” කියලා.
ඉතින් හිතන්න මිත්‍රවරුනි. මූව මරලත් මදි නේද..? යකෝ හිගාකෑවා නම් මීට වැඩිය කොච්චර හොදද… නම්බුද.. මිනිහෙක්ගෙ දුක දැකල, තමන් වැඩිපුර කැප කිරීමක් කරලා, පිහිට වෙන්න යන සන්වේදී මිනිස්සුන්ගෙ හැගීම්, තිරිසන් විදිහට රවට්ටලා, කොල්ල කන්නෙ නැතුව.
අර අතේ තිබ්බ රුපියල් 1000/- දෙන්න ආපු මල්ලි ආපහු ගිහින් නැග්ගෙ මරුටි කාර් එකකට. අනික් කොල්ල බයික් එකකට. සමහර විට උන් දෙන්නාම සතියක්ම මහන්සි වෙලා හොයන සල්ලි, අර කාලකන්නියා පැය 2 න් හොයනවා ඇති. මිනිහෙක්ගේ දුක දැකලා උනුවෙන්නෙ දුක දන්න පපු විතරයි.
මට වැඩියෙන්ම දුකහිතුනේ ඒ මොහොකටවත් නෙමෙයි. කොහොමද දෙයියනේ අපි මේ විදිහට ඇත්තම අසරනයෙක්ව අදුන ගන්නේ. පිහිට වෙන්නෙ.
මූ එක උදාහරණයක් විතරයි. අද සමාජේ උඩ ඉදලා යටටම මේ වගේ තිරිසනුන්ගෙන් පිරිලා නේද හිතෝතුනි.
මේ කතාවට ‘මිස් උන ෆොටෝ එක’ කියල නම දැම්මෙ නිකන් නෙමෙයි. කලබලේ අස්සේ මට අර කාලකන්නයගෙ ෆොටෝ එකක් ගනන් බැරි උනා මේකට ඇටැච් කරලා දාන්න, උබලට බලා ගන්න. කමක් නෑ, නිකල් පාට තුන්කාලෙ බයික් එකක් නවත්තලා, ඔය මම උඩ කියපු හැඩහුරුකම් එක්ක, ට්‍රැෆික් වෙලාවක පාර මැද්දෙ එකෙක් හාල් එකතුකරනවා නම්, බොහෝවිට ඒ ඌ තමයි….!!!
එහෙනම් කොල්ලෝ අපි ගියා..!!!
උපුටා ගැනීම: Sampath Udana Kaluarachchi