ප්‍රබන්ධ පරදවන සත්‍ය කතා. (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඒ ගෑනු ළමයා බිම වැටී තිබුන බිස්කට් එක කකුලෙන් පාගගෙන කාටත් නොපෙනෙන විදිහට තමයි අතට අරන් කෑවේ. ඇයට එහෙම කරන්න වුනේ ඒ වනටිත් බිම වැටුණු දෙයක් අහුලාගෙන කෑම හොඳනැති දෙයක් ලෙසට තහවුරු වී තිබුන නිසාය.
ඔය කියන සිදුවීම වෙනකොට අපි හිටියේ හතරේ පංතියේ. එතනින් එහාට වුනේ මාර සිදුවීමක්.
පාසල නිමාවෙන සීනුව නාද කිරීමට වෙලාව බැලීමට යාමේදී තමයි විදුහල්පතිතුමාට අත් ඔරලෝසුව නහැයි කියලා දැනුනේ. කලබලයට පත් වු විදුහල්පතිවරයා ඔරලෝසුව හොයන්න ගත්තා. නමුත් එය හමුනේ නෑ. ඊලගට ඔහු ඒ පිලිබඳව ලමයින්ගෙන් විමසන්න වුනා. ඔය අතර තමයි විදුහල්පතිවරයාට කවුරුහරි ලමයෙක් කියලා තියෙන්නේ අහවල් ගෑනු ලමයා හොරෙන් හොරෙන් මොනවද අහුලා ගන්නවා දැක්කා කියලා.
විදුහල්පතිවරයා ඒ ලමගෙන් මොනවද හොරෙන් හොරෙන් වගේ අහුලා ගත්තේ කියලා ඇහුවත් ඒ ලමයා කිසිවක් අහුලා නොගත් බව කියා සිටියා.
බැරිමතැන විදුහල්පතිවරයා විසින් අර ගෑනු ලමයාට සියලු දෙනා ඉදිරියේ හොදවැයින් වේටැල් පාරවල් කීපයක් දුන්නා.
මුළු පාසලටම තිබුන පංති පහම තිබුණේ එකම ගොඩනැගිල්ලක. මුළු පාසලටම හිටියේ ලමයි හැටක් විතර තමයි.
ඔය අතර අපි සියලු දෙනා බයට ගල් ගැහිලා බලාගෙන ඉන්නවා. විදුහල්පතිවරයා අර ගෑනු ලමයට එක දිගට තලනවා. පාසලේ හිටපු අනෙක් ගුරුවරියන් දෙදෙනා මැදිහත් වුනත් විදුහල්පතිවරයා විසින් අර ගෑනු ලමයාව මරාගෙන කන්න හදන එක නවත්වන්න බැරි වුනා.
දැන් වාගේ නෙමෙයි ඉස්සර ලමයිව එකම පංතියේ වුනත් දෙතුන්පාර පේල් කරනවා. එහෙම පේල් වුන ලමයෙක් හිටියා හේමචන්ද්ර කියලා. ගුරුවරු හේමචන්ද්රට කියලා නොයෙකුත් වැඩ කරගන්නවා. එයා තමයි පාසල නිමා කරකොට ලිදේ තියන බාල්දියයි කඹෙයි ගෙනත් තියන්නේ..
දැන් ඔන්න විදුහල්පතිවරයා අර ගෑනු ලමයාව කෝටු මස් කරන අතර තුර තමයි හේමචන්ද්ර ලිඳ ගාවට යන්නෙන් කඹය සහ බාල්දි ගේන්න.
ලිඳ ලගට ගිය හේමචන්ද්ර එක හුස්මට කෑගහගෙන විදුහල්පතිවරයා ලගට දුවගෙන එනවා. බයෙන් ගුලි ගැහිලා සිටි අපි තවත් බය වෙන්න ගත්තා. චන්ඩියා වගේ සිටි විදුහල්පතිවරයාත් හේමචන්ද්ර කෑගහගෙන එනකෙට අහකට පැන්නා. ඒ වුනාට ඔහු කෙලින්ම දුවගෙන ආවේ විදුහල්පතිවරයාගේ ඇඟටමයි.
අනිත් ගරුවරියන් දෙන්නා හිටියෙත් ලමයි අතරට වෙලා ගල්ගැහිලා.
එදා විදුහල්පතිවරයා වතුර බොන්න ගිය වෙලාවෙ තමයි ඔරලෝසුව ගලවලා ලිං බැම්ම උඩ තියලා ඇවිත් තියෙන්නෙ.
හේමචන්ද්ර විදුහල්පතිවරයාගේ ඇඟට පැනලවගේ තමයි ඔරලෝසුව විදුහල්පතිවරයා අතට දුන්නේ.
ඔරලෝසුව දැකපු ගමන් ගුටිකමින් සිට අර ගෑනු ලමයා එකපාරට බෝම්බයක් පිපිරුනා වගේ අඩන්න ගන්නවා.
ඔරලෝසුව අතට ගන්න විදුහල්පතිවරයා උපරිම වෙර යොදා එය පොලවේ ගහනවා. අනිත් අතේ තිබුන වේවැල අල්ලා වීසිකරනවා. එතකොට අර ලමයගෙ ඇඩිල්ල එකපාරටම නතර වෙනවා.
ඒ එක්කම විදුහල්පතිවරයා පාසලෙන් පිටවෙලා යන්ඩ යනවා.
විනාඩි කීපයක් මුළු පාසලම නිහඬතාවය මත ගිලී යනවා. ඊට පසුව අපි කවුරුත් එකිනෙකා සමග කතා නොකර ගෙවල් වලට එනවා.
පහුවදා විදුහල්පතිවරයා පාසලට ආවේ නෑ. නමුත් අපි කවදාවත් පසුගියදා සිදුවීම ගැන කතා කලෙත් නෑ.
සුමානයක් විතර යනකොට අපිට ආරංචි වුනා විදුහල්පතිවරයා ගුරු වෘත්තියෙන් ඉවත් වෙන්න හදනවා කියලා. ඊට පසුව තමයි අර ගුටි කාපු ලමයගේ තාත්තයි තවත් දෙමාපියන් කීපදෙනෙකුයි පාසලට ඇවිදින් කිව්වේ විදුහල්පතිවරයාව අපි කොහොම හරි ගෙන්න ගමු කියලා. නමුත් විදුහල්පතිවරයාව ගෙන්න ගන්න කාටවත් බැරිවුණා.
දැන් ඔන්න සුමාන තුනක් විතර ගෙව්නා. ඉතුරු ගුරුවරියන් දෙන්නා එක්ක පාසැලේ වැඩේ ඇදගෙන යනවා .ඒ වුනාට විදුහල්පතිවරයාගේ රස්නය එ් විදිහටම පාසල තුල පැවතුනා. මාසයක් යන්නත් කලින් කොට්ඨාස අධ්යාපන කාර්යාලයේ දෙදෙනෙක් සමග විදුහල්පතිවරයා පාසලට ආවා. ඒ වෙලාවේ පාසැල මීයට පිම්බා වගේ වුනා.
පසුව කොට්ඨාසයෙන් පැමිණි දෙදෙනා අපගේ පොත් පත් පරික්ෂා කිරීමෙන් අනතුරුව සියලුම දරුවන්ට රස කතාවක් කියලා දුන්නා.
ඉන් පසුව අර ගුටි කාපු ලමයට ඉදිරියට එන්න කියනවා. නමුත් ඒ ලමයා ඉස්සරහට යන්න බය වෙනවා. ඊට පසුව ගුරුවරියක් ඇවිදින් එයාව ඉස්සරහට අරගෙන යනවා. ඊට පසුව කොට්ඨාසයෙන් ආපු මහත්තයෙක් අර ගෑනු ලමයට ලොකු තෑග්ගක් දෙනවා. ඒ වෙලාවේ අපි සියලුම දෙනා⁣ට එක පාරටම අත්පුඩි ගැහුනා..
දැන් ඉතින් අපිට මේ තෑග්ග බලනකම් ඉවසිල්ලක් නෑ. විදුහල්පතිවරයා ඒ ගෑනු ලමයට කිව්වා තෑග්ගේ මොනවද තියෙන්නේ කියලා බලන්න කියලා. ඒ තෑගි පෙට්ටිය ලෙහලා බැලුවහම තිබුනනේ බිත්ති ඔරලෝසුවක්. පසුව අපි කවුරුත් නොසිතපු දෙයක් තමයි වුනේ.
ඊට පසුව ඒ ගෑනු ලමයා මේ ඔරලෝසුව ස්කෝලේ එල්ලන්න කියලා විදුහල්පතිවරයා අතට දීල වැන්දා. එවිට විදුහල්පතිවරයා ඒ ගෑනු ලමයාව බදාගෙන ඇඬුවා. ඒ සිදුවීම නෙත ගැටුන අපි සියලු දෙනාමතටත් ඇඬුනා.
ඊට පසුව මේ පරීක්ෂකවරු දෙදෙනා අර ගෑනු ළමයත් සමග පෞද්ගලිකව පැය භාගයක පමණ කතාබහක යෙදුනා.
මෙම ගෑනු ළමයාට බිම වැටී තිබුණු බිස්කට් එක පයින් පාදලා ඇදගෙන ඇවිදින් කාටවත් නොපෙනෙන සේ අරගෙන කෑමට සිදු වූ කාරණය පරීක්ෂකවරුන් දෙදෙනා විසින් එහිදී සොයාගනු ලැබුවා.
එය සිදුවී තිබුණේ මෙහෙමයි. පහේ පන්තියේ ළමයි සහ අතරේ පන්තියේ ළමයි බිස්කට් වලින් සීට්ටු දාන්න පුරුදු වෙලා හිටියා. සීට්ටුව ට බිස්කට් ටික දුන්නහම කන්ඩ බිස්කට් ඉතුරු වෙන්නේ නෑ. එහි ප්රතිඵලයක් විදියට තමයි බිම වැටුණු බිස්කට් එකක් වුනත් හොරෙන් අවුල ගෙන කන්න හිතිල තියෙන්නේ.
මේ කාරණය තේරුම් ගත් පරීක්ෂකවරුන් මින් ඉදිරියට පාසැලේ බිස්කට් සීට්ටු දැමීම තහනම් කරමින් ඔවුන් පිටත් වී යන්න ගියා.
ඔය කියන ගෑනු ලමයා දැන් දේශීය රබර් කිරි නිෂ්පාදන දාරිතාවය නගා සිටවන රැකියාවක් තමයි කරන්නේ.ඒ කියන්නේ එයා තමන්ගේම ඉඩමක රබර් වගාවක් කරනවා. මීට දින කීපයකට ඉහත දී තමයි මම බෙහෙත් පැලයක් හොයන්න ඒ ගමට ගියේ. ඔය අතරෙදි තමයි වසර 35ට විතර පසුව ඇය කිරි කපමින් සිටින විටදී හමුවුනේ. එහිදී අපි තොරතුරු කතා කිරීමේදි තමයි එක පංතියේ හිටපු යහළුවන් කියලා අදුන ගත්තේ.
ඉන්පසුව අපි අපේ පාසැල් කාලය ගැන කතාකරන්න වුණා. ඔය අතරෙදි තමයි මම අැයට කිව්වේ ඔයා එදා ඔරලෝසුව ඉස්කොලෙට දීපු වෙලාවෙ මට හිතුණා ඔයාව බදාගෙන ඉඹගෙන ඉඹගෙන යන්න කියලා. නමුත් ඒකට ඕන කරන මානසික ශක්තියක් මට තිබුනනේ නෑ කියලා මම කිව්වහම ඇය කියනවා කාගේ උනත් හදවත් වලට එන හොද සිතුවිලි වලට මම මොකටද විරැද්ද වෙන්නේ, කියල කියන ගමන් මේ ගෑනි කියනවා ඒකට නං ඉතින් අද වුණත් කල් වැඩි නෑ නේ කියලා කිව්වා කියහහංකෝ.
ඒ වුනාට ඉතින් මම….!
උපුටා ගැනීම:  Prasanjith Jayarathne

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!