“ආ ෆස්ට් ඇපොයින්මන්ට් එක කොහෙටද?”
“N.I.M.H එකට”
“අයියෝ, ඔයා යනවද ඉතින්”
“ඔව්, නැතුව මගේ ලිස්ට් එකේ තුන්වෙනියට මං ඒ හොස්පිට්ල් එක දැම්මේ”
“ඔයාටනම් විකාර, අනේ මන්ද ඉතින්. හරි හරි මං යනවා”
මට ඉස්සෙල්ලාම පත්වීම ලැබුනු හොස්පිට්ල් එකේ නම අහපු ගමන් මං වටේ හිටපු ගොඩක් දෙනා එහෙම තමයි කිව්වේ.
සමහර අය,
” කොහෙටද පත්වීම ? “
“N.I.M.H එකට”
“ආ හොදයි හොදයි, ඒත් ඒ මොකක්ද?
” ජාතික මානසික විද්යාතනය “
“කොහෙද තියෙන්නේ? “
“අංගොඩ”
“අයියෝ මෙන්ටල් හොස්පිට්ල් නේද? යන්න බය නැද්ද?”
“මොකටද අනේ බය වෙන්නේ”
තවත් සමහරු,
” ඔයානම් අංගොඩ නේ”
“ඔව් , ඉතින්”
“එහෙ ඉතින් මහලොකු වැඩක් නෑනේ. අනිත් හොස්පිට්ල් වල කොච්චර වැඩද. කලබල කලොත් ඉන්ජෙක්ශන් එකක් දීලා සෙට්ල් කරලා පාඩුවේ ඉන්නනෙ තියෙන්නේ නේ”
“ඒ ඉතින් දන්න තරම තමයි”
ඔන්න ඔහොමයි ගොඩක් දෙනා කිව්වේ. ඇත්තටම මේ මිනිස්සු කියන දේවල් ඇත්තද
අපි එහෙට වැඩ කරන්න යන්න බය වෙන්න ඕනිද?
ඇයි එහේ ප්රතිකාර ගන්නෙත් අපි වගේම මිනිස්සු නෙමෙයිද? බය වෙන්න යක්කු නෙමෙයිනෙ ඉන්නේ. යම් රෝගයකට ප්රතිකාර ගන්න ආපු මිනිස්සු ඉන්නේ.
එතකොට එහෙ වැඩකරන ඩොක්ටර්ස්ලාට, නර්ස්ලාට, කණිශ්ඨ සේවකයින්ට අනිත් හොස්පිට්ල් වල වැඩ කරන අයට තරම් වැඩ නැද්ද.
එක දවසක් අපේ හොස්පිට්ල් එකට ඇවිත් බැලුවොත් තේරෙයි මෙහි නියම තත්වය. රෝගීන් වෙනුවෙන් හැමෝම කණ්ඩායමක් වගේ එකමුතුව වෙහෙසෙන හැටි. කොයි වගේ මානසික ස්ථාවරත්වයකින් අපි මෙහේ වැඩ කරන්න ඕනිද කියලා. ඒ වගේම රෝගීන්ව නැවත සමාජගත කිරීම සදහා කොපමණ වෙහෙසෙනවද කියලා.
ඉස්සර අපෙ අම්මගෙ යාළුවෝ මගෙ හොස්පිට්ල් එක ඇහුවම අම්මා කියන්නේ
“ආ එයා කොළඹනේ වැඩ”
” එහෙමද, නැශනල් හොස්පිට්ල්ද?
“ඔව් ඔව් එහෙ තමා”
ඉතින් හිතාගන්නකෝ මෙහෙ වැඩකරන අයට මෙහෙම කියනවානම් රෝගීන් ගැන කොයි විදියේ ආකල්ප ඇතිද.
දැන් වන විටනම් මේ තත්වය ටිකක් දුරට වෙනස් වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් සීයට සීයක්ම වෙනස් වෙලා කියන්නත් බෑ.
සමහර රෝගීන් මෙහෙ එන්න කැමති නෑ. ඒ සමාජයේ ඇති වෙලා තියෙන වැරදි මත නිසා, කොන්කිරීම් නිසා. සමහරවිට ජීවිතේ කවදා හරි දවසක අපිටත් මානසික රෝගයක් හැදෙන්න පුළුවන්. එවැනි රෝගීන් කොන් කරන්න එපා. නිසි ප්රතිකාර වලට ඔවුන්ව යොමු කරන්න. ඔවුන් සුව උනාට පස්සේ, ඇවිත් ආපහු ඔවුන්ව ගෙදර එක්ක යන්න. ඔවුන්ටත් සුව වූ පසු අනිත් මිනිසුන් මෙන් සමාජයේ ජීවත් වීමට උදව් කරන්න.
උපුටා ගැනීම: Buddhi Jayaweera