“පුතා මේක අම්මට හරි ආච්චිට හරි පරෙස්සමට ගිහින් දීල ඉක්මනට එන්න”
හිස් තේ කෝප්පය හා පීරිසිය දරුවගෙ අතට දෙන ගමන් මම කීවා.
“ආච්චිට…??”
දරුව අමුතු බැල්මට් එකක් එක්ක අමුතුම හිනාවක් දැම්මෙ.
“යස් පුතා. වයි? එනි මැට…?”
“නෝ… නෝ මැට ටීච. බට් ඕක අපේ අම්මිට හරි, අම්මම්මිට හරි ඇහුනනම් එයාල හිතයිද දන්නෑ ටීචත් ගොඩේ කියල”
“ඔහ් වට්?
අහ්… ඉට්ස් ඕකේ පුතා ටේකිට් ඊසි. සෝ කැන් යූ ප්ලීස් හෑන්ඩ් දිස් ඕව ටු යෝ අම්මි ඕ අම්මම්මි ඇන්ඩ් කම් බැක් සූන්?
දරුවගෙ නෝක්කාඩු හිනාවට හේතුව අඳුනගත්තු මම මගේ වචන ටික ආයෙ පොඩ්ඩක් එහෙ මෙහෙ කරල නැවත දරුවගෙන් ඒ උදව්වම ඉල්ලුව.
“ඕකේ.. ශුව ටීච”
මේක පොඩි සංස්කරණය කරන ලද සංවාදයක් විතරයි. මේකම අඩු වැඩි වශයෙන් බේස් කරගත්ත සිදුවීම් කීපයක්ම මට දැනට කිහිප අවස්ථාවකම සිදුවෙලා තියනව.
අම්මම්මා, අම්මම්මි, ග්රැනී එහෙමත් නැත්නම් මේ කියන අම්මිගෙ අම්මි. ඒ අපේ ආච්චි නේද? නැත්නම් අත්තම්මා. එහෙමත් නැත්නම් ආච්චි අම්මා. සමහරු ආත්තා කියලත් කියනව. ඉතින් මේක ඇත්තටම ලෝක ප්රශ්නයක් නම් නෙවෙයි. නමුත් දැන් දැන් පොඩි ප්රශ්නයක් තියනවා මට හිතෙන්නෙ දරුවන් මේ වචන ග්රහණය කර ගැනීම සම්බන්ධව. ඒකට ප්රධානතම හේතුව ඔවුන්ගේ දෙමව්පියන් වගේම ඔවුන් ළඟින්ම ඇසුරු කරන වැඩිහිටියන්.
“කෝ පුතා අම්මම්මි කියන්න. කෝ කියන්නකො ඉතින්..”
“බලන්න පුතේ අර ටෙෂාන් බබා. කොච්චර ලස්සනයිද එයා කට පුරා ග්රැනි කියලනෙ කියන්නෙ එයාගෙ අත්තම්මිට. ඔයාට තමා අම්මම්ම කියාගන්න වත් බැරි මෙතන”
“අහවල් ආන්ටිලගෙ ගෙදර ගියාම ඔන්න ආච්චි ආච්චි කියල මගේ සායම එහෙම දිය කරන්න නම් එපා මගෙ සං පැටියෝ..”
“ආච්චි කියන්න එපා පුතේ කැතයි. අම්මම්ම කියන්නකෝ..”
තමා පොඩි කාලේ, තමාගේ අම්මගේ අම්මට ආමන්ත්රණය කරපු විදිය අමතක වෙච්ච නූතන අම්මිලා සහ ග්රැනීලා තමන්ගෙ දරුවට ඔන්න ඔහොම තමයි වචන උගන්වන්නෙ. භාෂාව කියන්නේ වෙනස් වෙන දෙයක්. රට අනුව, තමන් ඉන්න ප්රදේශය අනුව, තමන්ගෙ පරම්පරාව අනුව මේ කියන භාෂාව මිනිස්සු වෙනස් කරන් හදාගෙන තියනව. ඒක ප්රශ්නයක් නෙමි. ඒක සාමාන්යයි. කියද්දි ලස්සනයි. පොෂ්. හැබැයි ප්රශ්නෙ තියෙන්නෙ ඒක දරුවෙක්ට කියල දෙන විදියෙ. ලංකාවේ පාසල් විෂය නිර්දේශයේ පවා තියනවා දරුවන්ට නෑකම් ගැන ඉගැන්වීම සඳහාම ෆෝකස් කරගත්තු පාඩම් මාලාවක් ප්රාථමික පන්ති වල ඉඳන්ම. ඉතින් එතනදි ගුරුවරයා දරුවන්ට කියල දෙනව බොහෝ දුරට මේ නෑ කම් ගැන භාෂාවෙ වෙනස්කම් ටිකත් එක්කම. හැබැයි දරුවන්ගෙ මුල් ගුරුවරුන් ඔවුන්ගෙ දෙමව්පියන්. ඔවුන් හරහායි දරුවෙක් අප වෙත සම්බන්ධ වෙන්නෙ. ඔවුන්ව විශ්වාස කරලයි දරුවෙක් ගුරුවරයෙක්ව තෝරගන්නෙ. ඔවුන් කියන දේවල් ධාරණය කරගෙනයි දරුවන් ගුරුවරයා වෙත යන්නෙ. ඉතින් ඔබ ඔවුන්ට අර විදියට නම් පොඩි කාලෙ ඉඳන් ගුරුහරුකම් දෙන්නෙ, අන්න ඒක නම් ලෝක ප්රශ්නයක් හොඳේ…
“පුතා මේ ඔයාගෙ අම්මගේ අම්ම. ඒ කිව්වෙ ආච්චි අම්මා. ඔයා ආසයි නම් එයාට අම්මම්ම කිව්වත් කමක් නෑ හොඳේ”
“ඔව් පුතා මේ ආච්චි තමයි. ඔයා අර අම්මම්මි කියන්නෙ මෙන්න මේ කියන ආච්චිටම තමයි අ..”
“දිස් ඊස් ග්රෑන්ඩ් මද. ඒ කියන්නෙ මේ ඉන්නෙ ආච්චි කියන එකට බබා. අර අපි ග්රැනී කියන්නෙ. ආ… එයාට ආච්චි කියල තමයි සාමාන්යයෙන් කියන්නෙ හරිද”
අන්න ඒ විදියට කියල දුන්නොත් මොකද? එතකොට දරුවවත්, ගුරුවරයාවත් දවසක අපහසුතාවයට පත් වෙන එකක් නැහැ නේද? මොකද දෙමව්පියන් දරුවෙක්ගෙ ඔලුවට දාල එවන පොඩි වැරදි වැටහීමක් උනත් වෙනස් කරන්න ගුරුවරයෙක්ට මාර කට්ටක් කන්න වෙනවා. ලොකු පරිශ්රමයක්, හෙන ආගිව්මන්ට්ස් ගොඩක් එක්ක. මොකද දැන් දැන් දරුවන් හරිම විතක්කශීලියි.
සැ.යු:- ඉංග්රීසි විෂයෙදි “මයි ෆැමිලි මෙම්බර්ස්” කියල පාඩමක් එක ශ්රෙණියේ ඉඳලම දරුවන්ට අපි උගන්වනවා. එතනදි මම,
“පුතා හිය, ග්රෑන්ඩ්මද. ඒ කියන්නෙ ආච්චි. නැත්නම් ඔයාලගෙ අත්තම්මා, ආච්චි අම්මා. අන්න එයාට තමයි අපි ග්රෑන්ඩ්මද කියන්නෙ. ග්රෑන්ඩ්ෆාද මීන් සීයා. නැත්නම් ඔයාල සීය තාත්ත කියන්නෙ. අන්න එයා”
“එතකොට ටීච ආච්චි කිව්වම නෝටි නැද්ද? අම්මි මට කිව්ව ආච්චි කැතයි. ඒ නිසා ඒක කියන්න එපා නොටියි, අම්මම්මි කියන්න කියල”
“ඔහ් රියලී… ඔකේ පුතා නෙව මයින්ඩ්. ඔයා එයාට අම්මම්මි කියන්නකො. නෝ ප්රොබ්ලම් දෙය. හැබැයි ආච්චි කියල තමයි පොඩි කාලෙ ටීචත් කිව්වෙ. ඔයා අද ගෙදර ගියාම අම්මිගෙනුත් අහන්නකෝ ටීච ඇහුව කියල, අම්මි කොහොමද එයාගෙ අම්මගෙ අම්මට පොඩි කාලේ කිව්වෙ කියල. හරිද?”
ටීච ඇහුව කියල කිව්වම පොඩි දරුවන් ගෙදර ඇවිත් කියන විදිය ගැන මම මෙතන අමුතුවෙන් සඳහන් කල යුතු නෑ මම හිතන්නෙ.
උපුටා ගැනීම: UdeShi MuthuHewa