“ඔන්න උඹල සේරටම කිව්ව ඈ.. එන ඉරිද රෑට අපේ ගෙදර අවුරුදු කෑමට වරෙං”
යෝජනාව කැළුමගෙ. මම, ඩොමා, ළහිරුව, සමන,සචින්තය, තිළිණ අැතුළු හත් අට දෙනෙක්ම එතන හිටිය. අපි ටික ඒ කාලෙ ඒ ලෙවල් වලට පාඩම් කරනව. වෙනම ගෙයක් තිබුන රෑට සේරෝම එතෙන්ට තමා එකතු වුනෙ. ඔය සමන එහෙමනං අපේ වයසෙ නෙවෙයි. එද්දාස් නවසිය බර ගනන්වල වුනත් ඌත් අපි එක්ක ඔහේ නිදිමරාගෙන හිටිය. අපි ඉතින් පාඩම් කරන්න යනව කියල ගෙවල්වලින් කෑමබීම ලෑස්ති කරගෙන හරි උනන්දුවෙන් යනවා. එකොලහ විතර වෙනකම් පාඩම් කරලා තුනට එලාම් තියල නැගිටලා කිට්ටුව තිබුණ බේකරියෙන් උණු උණු මාළුපාන් ගෙනත් කාල නිදාගෙන ආයෙ උදේ අටට නැගිටල සතුටින් විසිර යනවා. ඔන්න ඔය කාලෙ තමයි මේ සිද්දිය වුනේ..
ඕං ඉතින් අදාල දවසෙ අපි සේරම දවල්ටත් නොකා බඩවල් එහෙම හිස් කරගෙන සල්ලි එකතු කරලා කේක් ගෙඩියක් එහෙමත් අරගෙන කැළුමලෑ ගෙදර යන්න ලෑස්ති වුනා. කිලෝමීටර් හය හතක් වගෙ දුර ඩබල් දාල පැදගෙන බයිසිකල්වල තමයි ගියේ.
“අම්මටසිරි උඹල එයි කියල හිතුවෙත් නෑ.. වරෙං වරෙං”
වැට ගාවට වෙලා හිටපු කැළුම කිරිහාමි වගෙ කට කපල හිනාවක් දාල අපිව පිලිගත්ත.
“පොඩ්ඩක් ඉඳගනිං මචං”
අපි ඉතිං බොහොම සංවර හැදිච්ච ළමයි විදියට ටික වෙලාවක් ඉද්දි ගේ ඇතුලට ගිය කැළුමා අපි ඉදිරියේ අායෙම පෙනී හිටිය.
“මචං තේ බොනවද තේ? “
“නෑ මචං දැන් තේ එපා”
මොනවහරි බැදෙන සුවඳක් එන කුස්සිය පැත්තට හොස්ස දික් කරල ඉව අල්ල අල්ල හිටපු සමන සෙනිකව එහෙම කිව්වෙ තේ බිව්වොත් බත් කන්න බඩේ ඉඩ නැතිවෙයි හිතල වෙන්න ඇති. කෝමත් ඌ අඩි හත අටක් පොළව යටත් පේන ඩෑල්ලෙක.
“හම්මට හරි හරි මචං”
කියල ගෙට ගිය කැළුම වෙඩින් කේක් කෑලි ටිකක් අරන් ඇවිත් හැමෝටම දුන්න. අපේ උං ඒ ටිකෙනං කොල ටිකත් ලෙවකාලයි විසි කලේ.
“යමං ගඟ බලන්න. මේ ලඟ තියෙන්නෙ”
තවත් යෝජනාවක්. ආයෙමත් අපි කැළුම පස්සෙං වැටුණ. ලඟ කිව්වට ඒකත් විනාඩි විස්සක විතර පයිං ගමනක්. කෝම හරි අපි එතෙන්ටත් ආව.
“කෝ ප@# ගඟ?”
ඒ ආදරබර ඇමතුම මට මතක විදියට ළහිරුවගෙන්.
” හම්මට… මචං දැං කළුවරයිනෙ ගඟ පේන්නැත්තෙ ඒකයි”
නව සොයාගැනීමක් කරපු එකෙක් වගෙ කැළුම ඔළුව පස්සට දාල අපිට පැහැදිලි කරද්දි එකෙක් ගිණිකූරක් පත්තු කලේ ගඟ බලන්න නෙවෙයි හඳ බලන්න..
කොහොමිං කොහොම හරි ගඟත් බලල අපි කැළුමලෑ ගෙදෙට්ට එද්දි අම්බානක බඩගිනී. අපි දැන් සාලෙට වෙලා ඉඳගෙන ඉන්නව. උංගෙ අක්ක පපඩමක් කකා එලියට ඇවිත් ගියාම බඩගින්න ඩබල් වුනා. බත් ඉල්ලන්න බැරි කමට අපිත් බලා ඉන්නව කැළුමගෙ අවුරුදු කෑම කන්න. පැය බාගයක් ගියා.. දෙවෙනි පැයබාගෙත් ගියා.. ඔන්න එතකොට කැළුම ඇවිත් අපෙන් අහනවා
“මචං උඹල කාලමද යන්නද ඉන්නෙ?”
මුගෙ අප්පට යකොව් මූ අපිට කෑමට එන්න කියලා ඒ විදියට ඇහුවම කටඋත්තර නැති වෙනවනෙ.
“නෑ මචං අපි දැං යනව”
අපි යන්න නැගිට්ට. ආයෙමත් උගෙ මූණ දිහා බැළුව.
“මේහ් පිස්සු නැතුව කාල යන්න හිටහල්ල. විහිළුවක් කලේ”
එහෙම කියයි කියල හිතුවත් ඌ එහෙම කිව්වෙ නෑ. ගිය විදියටම බයිසිකල් පැදගෙන මගට ආවට කන්න කඩයක්වත් නෑ. ඒ අස්සෙ ඉස්සරහිං ගිය එකෙක් බයිසිකලේ නවත්තල අපේ උන්ට කේක් බෙදනව. කොහොමද හම්බවුනෙ කියල අහන්න සිහියක් කිබුන්නෑ අහුවෙච්ච කෑල්ල කටේ දාගත්ත මිසක. හතර දෙනා පාන්ගෙඩි හයක් කාපු අපෙ උන් අට දෙනෙක්ට කේක් එකක් කියන්නෙ මොනවද?
නාගස් හන්දියට ඇවිත් සතිරෙන් කොත්තුවකුත් කාල එහෙම ප්ලේන්ටියක් බීල බඩවල් පිරෙද්දි අපි කතා කරන්න ගත්ත.
“අඩෝ ළහිරුවා, කොහෙන්ද බං කේක්?”
“අපි ගෙනිච්ච එක තමා බං”
බලද්දි මූ ගෙනිච්ච කේක් එක ආපහු උස්සං ඇවිත් තමයි අපිට බෙදල තියෙන්නෙ.
ඊට පස්සෙත් කැළුමයි අපියි හොඳ යාළුවො විදියට හිටියා. ඒත් කවදාවත් කෑම නොදීපු එක ගැන අපි උගෙන්වත් කේක් එක ගැන ඌ අපෙන්වත් ඇහුවෙ නෑ.
උපුටා ගැනීම: – චින්තක එපිටවල –