“ලොකු දූ… මාර වැඩේ. යතුර ඇතුලෙ තියෙද්දි දොර වැහුනනෙ. ලිප් දෙකේම එළවළු දෙකකුත් තියල තියෙන්නෙ. අනේ..”
එක්තරා දවසක දුක, අවුල, කලබලය මුසු වෙච්ච වෙවුලන හඬින් ටොයිලට් එක අසලට දුවගෙන ඇවිත් අම්ම එහෙම කියද්දි උදේ හය විතර ඇති. කරමින් හිටපු වැඩෙත් අතරමග නතර උනා වගෙයි මට නම් එවෙලෙ දැනුනෙ.
අපි ඉන්නේ කාමර කෑලි දෙකක් තියන පොඩි ගෙයක. ගෙයින් පිටවෙන්න පුළුවන් දොරවල් දෙකක් තියනවා. කුස්සිය ගේ ඇතුලට සම්බන්ධ වෙලයි තියෙන්නෙ. කුස්සියෙන් පිටතට යන්න වෙනම දොරක් නැහැ. අර කිව්ව එක දොරක් වහන්න පුළුවන් ඇතුලෙන් විතරයි. උදේ පාන්දරට අම්ම ඒක කොහොමත් අරින්නෙ නෑ. මොකද ඒ පැත්තෙන් එලියට ගියොත් දොර ලොක් කරන් යන්න බැරි නිසා. ඉතින් ඉස්සරහ තියන අනිත් දොර ඇදගෙන තමයි ගෙයින් පිට වෙන්නෙ ගේ ඇතුලේ කවුරුත් නොහිටියොත් උදේට. ඒ ඇදගනිද්දි අතේ හෝ දොරේ පිටතින් යතුර තිබුනෙ නෑ කියන්නෙ ඉතින් සොරිම තමයි. එහෙම උනොත් ඉතුරු වෙන්නෙ එකම එක ඔප්ෂන් එකයි. ඒ “දොර කඩන එක” විතරයි. ජනේලයකින් වත් පනින්න බෑ මොකද ජනෙල් උළුවහු වලට ඇළුමිනියම් බාර් ගහලයි තියෙන්නෙ.
එවෙලේ තිබුන ලොකුම අවුල අම්ම ගෑස් එකත් ඔන් කරල තියෙද්දියි දොර වහල තියෙන්නෙ. ඒ කියන්නෙ දොර ඉක්මනටම ඇරගන්න වෙනව කියන එක.
“අ… හරිනේ දැන්. කරලනෙ වැඩේ. එහෙනං ඕන මගුලක් කරන් ඇරගන්න එකයි ඇත්තෙ රෙද්ද. කරන්න ආපු වැඩෙත් හරියට කරගන්න නෑනෙ මෙතන…”
පස්ස පැත්තෙන් මළ පැනීම නතර වී, කට පැත්තෙන් පට පට ගා ඒ වචන ටික පිටවුනේ තරහකුත් මුසුවෙච්ච පට්ටම අව්ලකින් එවෙලේ. මොකද මන් දැනන් හිටිය දැන් මේ මගුල නිසා මට අද හොඳටම ප්රමාද වී බස් එක මිස් වන වගත්, අද කෑම ගෙන යාම සිහිනයක් වන වගත්, දෙදෙනා අතර උදේම ඇති වීමට නියමිත බහින්බස්වීම හේතු කොටගෙන සාරියේ රැළි ටික මටම තනියම හදාගන්න වෙන වගත්.
ගිය වැඩේ ඉවරටම ඉවර කරගන්නෙත් නැතුව එළියට එන විටත් එහා ගෙදර අය්ය ඇවිත් දොර කඩමිනුයි උන්නේ.
“මම හැමදාම රෑට යතුර මේ මේසෙ උඩින් තියලයි නිදාගන්නෙ. ඒක අරන් අමාරුවට අර ඇණෙන් එල්ලනව මහ රෑ මැද. ඒක නිසයි අද මේ දොර වැහුනෙ. ඒ මදිවට මේකේ වූල් බෑන්ඩුයි, රබර් බෑන්ඩුයි…මේව අයින් කරපන් එක්කො”
දොර කැඩීමෙන් පසු කෝපාවිෂ්ඨ වූ අම්මා, ඒ ඇණේ එල්ලා තිබුණු මගේ දේවල් පැත්තකට වීසි කරමින්, පිපිරෙන සුළු මුහුණකින් යුක්තව මට හෝ ගා බැන වදියි.
දොර ලඟම එහා පැත්තේ තියන මේසය අසල ඇණයක් වැනි යමක් සවි කර තිබෙන අතර, මෙය අම්මා විසින්ම සවි කර ඇත්තේ යතුරු වැනි දෑ එල්ලා තැබීමටයි. ඉතින් ඉඳහිටක එහි මාගේ කොන්ඩ බූලයක්, රබර් පටියක්, හෑන්ස්ෆ්රී දෙකක් වැනි දෑ එල්ලීමට මට අම්මාගෙන් අවසර ගැනීමට කොහෙත්ම උවමනා කර තිබුනේ නැහැ.
“කාගෙ අතින්ද දැන් දොර වැහුනෙ? දැන් මමද දොර වැහුවෙ යතුර ගේ ඇතුලෙ දාල ආ…?”
ඉවසාගත නොහැකි තැන මාත් ඒ මොහොතට උචිතම ප්රශ්නය පටස් ගා ඇයගෙන් ගැසුවා.
“මගේ අතින් වැහුනෙ. ඒ උනාට සම්පූර්ණ වැරැද්ද උඹගෙ. මොකද උඹයි මම මේසෙ උඩින් තියල එන යතුර මේ ඇණෙන් එල්ලන්නෙ හැමදාම රෑට. මම තියන තැන් වල ගෙදර බඩු තියෙන්න ඕන එච්චරයි කතාව”
අම්මගෙ සර්ව සාදාරන පිළිතුර එයයි.
“ඉතින් දැන් අවුරුදු ගානක් තිස්සෙ මම රෑට නිදාගන්න එද්දි ඔය යතුර ඔය ඇණේ එල්ලලනෙ ආවේ. හරි මේක කියන්නකෝ..ඊයෙ උදෙත් අම්ම දොරට යතුර දැම්මෙ ඔය ඇණෙන් අරන් නෙමෙයිද? නැත්නම් මේසෙ උඩ තිබිලද?”
“ඒ උනාට මම නිදාගන්න එද්දි තියල එන්නෙ මේසෙ උඩනෙ. ඒක අරන් ඇණෙන් එල්ලන්නෙ අහවල් මගුලටද උඹ? මම තියපු තැන් වලයි මේ ගෙදර බඩු තියෙන්න ඕන.”
ඒ සුන්දර වාක්යය (මම තියන තැන් වලයි මේ ගෙදර බඩු තියෙන්න ඕන) දෙවනි වතාවටත් අම්මගෙ කටින් පිටවෙද්දි අම්මට මළම පැනල කියල මට තේරුනා ඒ මර හඬ දීපු විදියෙන්.
අම්මා රෑට නින්දට යන්නේ දොර ලොක් කර යතුර මේසෙ උඩින් තබාය. ඇණය තිබුනාට අම්මා යතුර එල්ලීමට එය භාවිත කරන්නෙ දහවල් කාලයේ පමණි. රෑට යතුර මේසය උඩින් තැබීම ඈ පුරුද්දක් කරගෙන සිටින අතර ඒ යතුර අරන් ඇණයේ එල්ලා නිදා ගැනීම තවමත් මා පුරුද්දක් කරගෙන සිටියි.
“ඔන්න ඊයෙත් ඔය දොර ඔය විදියටම අමතක වෙලා වැහුනනම් වැරැද්ද මගේ. මොකද මම යතුර ඇණේ එල්ලපු නිසා. අම්ම දැන් කොච්චර කිව්වත් දෙය්යනෙ හැමදාම උදේට ඇණෙන් යතුර අරන් අම්මමනේ දොරට දාන්නේ. අද එයාට ඒක අමතක උනා කියල ඒකට පලි ලැට් එකේ හිටපු මේ මං”
මටත් දැන් ඔන්න මළේ මළ. කටේ සද්දෙත් වැඩි උනාද මන්ද එවෙලේ.
“රෑ ජාමයක් වෙනකල් පෝන් එකට ඇන ඇන ඉඳල, මම තියපු තැනින් යතුර අරන් ඇණේ එල්ලල, අන්තිමට නිදාගන්නෙ උඹ නෙමිද හැමදාම? ආ කියපන්?”
අම්මත් මේක මගේ පිටම නොදා නතර නොකරන වග ඒ මොහොත වෙද්දි මට හොඳටම තේරිල තිබුනෙ ඉතින්. ඒත් නොකරපු වරදක්, මේ සුන්දර උදෑසන මගේ පිටින් දාල දවසම අසුන්දර කරන්න යන එක ගැන මට එවෙලෙ අම්ම එක්ක ආවෙ තරහවක් මුසු වෙච්ච දුකක්. මාත් ගේම ඇතෑරියෙ නැහැ ඉතින්.
“හරි එහෙමනං මේක කියන්නකො දැන්. වැරදිලාවත් ඔය දොර අද මගේ අතින් වැහුනනම්??”
“අ… මිනිස්සුන්ට ඕන තරම් එහෙම අමතක වීම් වෙන්න පුළුවන් ඉතිං”
ඔන්න ටිකක් නිවිච්ච හඬකින් වචනයක් ඇහුනමයි ඒ කටින් දොර කැඩුවට පස්සෙ.
“ඒකනෙ අම්මෙ, අනෙ මට අමතක වෙලානෙ ෂිට්, ඊයෙ රෑ යතුර ඇණේ එල්ලුවෙ. ඒ කියන්නෙ වැරැද්ද මගේ නෙමෙයි. මොකද මිනිස්සුන්ගෙ අතින් ඕන තරම් එහෙම අමතක වීම් වෙන්න පුළුවන්නෙ නේද අම්මෙ?”
ව්යාජ හිනාවක් පෙන්නල මම එහෙම ඇහුවෙ, මම පොඩි ජයග්රහණයක් ලැබුව වගේ මෙව්ව එකකුත් ඇඟට අරන් එවෙලෙ. මම දැක්ක එවෙලෙ අම්මගෙ මූණත් නිකං ඤොරොක් වෙලා, ආයෙ යකා ආරූඩ වේගෙන එනව වගේ ලයින් එකක්.
“උඹට හැමදාම එතකොට අමතක වෙලාද යතුර ඇණේ එල්ලන්නෙ?”
“ඔව්නෙ, මිනිස්සුන්ට ඕන තරම් එහෙම අමතකවීම් වෙන්න පුළුවන් නෙ ඉතින්”
යක්ෂාවේසව නෝක්කාඩුවෙන් වගේ අරම ඇහුවම මාත් නෝක්කාඩුවට වගේ හිස වනා එහෙම කිව්ව ඉතින්. හැබැයි අම්මත් අතෑරියෙම නෑ මිත්රෝරුනි. සුපුරුදු වාක්යය තුන්, හතර වෙනි වතාවටත් මගේ ජයග්රහණය ඉදිරිපස දමා ගසමින් එයා මෙහෙම කියපි.
“මොනව උනත් ‘මම තියන දේවල් ඒ තැන් වලම තිව්ව නම්’ අද මේක වෙන්නෑ. අයෙ ‘මම දෙයක් තිව්වොත් මේ ගෙදර තැනක ඒක ආයෙ බලද්දි එතනම තියෙන්න ඕන. එච්චරයි කතාව.'”
අහෝ!
කෝප්පයක් පිඟානක් බිඳුනම
දොර ටිකක් සද්දෙට වැහුවම
මගෙ අතින් මොකක් හරි උනහම
අම්ම කියන්නෙ මෙහෙමයි,
කාබාසිනිය කරපන් පුළුවන් නම් ගෙදර තියන සේරම…
අත්වැරැද්දෙන් දෙයක් වැටිල බිඳුනට
අද හුලඟ වැඩි නිසා දොරක් හය්යෙන් වැහුනට
අම්මගෙ අතින් ඉහත කී දෑ වෙනකොට
මීක් නෑ එ්ව වැරදිත් නැ, හැබැයි ඉතින්
හරි වේදනයි මට…
**උගත් පාඩම් පොතට: අම්මලා යනු අම්මලාය. එයාල යමක් තිව්වොත් තැනක ඒ තියපු තැන ඒ විදියටම ඒ දේ තිබිය යුතුමය. තවද ඔවුන් අතින් වැරදි සිදු නොවෙයි. හුදෙක් ඒවා අමතකවීම් හා අතපසුවීම් ම පමණකි. වැරදි සිදුකරන්නේ අප පමණයි. අවසන අපට අම්මලා වීමට තව කල් තිබේ. එතෙක් අපි සාවදානව බලා සිටිමු.
සිදුවීමට අදට අවුරුද්දක් පිරෙද්දි, අම්මගේ ආතල් මෙනෙහි කිරීම පිනිස ඉතාමත් ආදරයෙන් ලියූවක් බව කිව යුතුමය

_සොෆී_
උපුටා ගැනීම: UdeShi MuthuHewa