අස් කිරිල්ල.. (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මමයි, අම්මයි, නැන්දම්මයි තුන් දෙනාම ඉපදුනේ ජූලි මාසේ. මාසේ එකක් නිසාද මන්දා අපි තුන්දෙනාගෙම තිබුනා පොඩි සමාන කමක්. ඒ තමයි රෙදි සේදිල්ලයි , ගෙවල් අස් කිරිල්ලයි. සමානයි කිව්වට එයලා ඉපදිලා අවුරුදු 30ට පස්සෙ මම ඉපදුන නිසා වෙන්නැති මම හිටියේ ඒ දෙන්නට සෑහෙන්න මෙහායින්.
‌අම්මා රස්සාවක් කරේ නැති නිසා වගේම අපි තුන්දෙනාම කෙල්ලො වෙච්ච නිසා අපේ ගෙදර ඒ තරම් අවුල් උනේ නෑ. ඉතින් අපේ ගෙදර නිතරම පිරිසිඳුයි, පිළිවෙලයි.
හේමන්තගේ අම්මා ප්රාථමික ඉස්කෝලෙක ප්රින්සිපල් කෙනෙක්. ගෙදර කන්ද උඩ. ඉස්කෝලේ කන්ද පාමුල. හේමන්තයි නංගියි ශිෂ්යත්වෙන් ගාල්ලේ ඉස්කෝලවලට ඇවිත් බෝඩින්වලයි, හොස්ටල්වලයි. ඉතින් ඒ ගෙදරත් එදා ඉඳලම පිරිසිඳුයි, පිළිවෙලයි.
මම කැම්පස් අවුට් වෙන්න කලින් කසාද බැඳලා ඕනනම් කැම්පස් එකට පයින් ඇවිදගෙන යන්න උනත් පුළුවන් දුරින් රෙන්ට් එකට ගෙයක් අරං පදිංචි වෙලයි හිටියේ. ලෙක්චර් නැති දවසට යාළුවො අපේ ගෙදර. උයනවා, කනවා, ෆිල්ම්ස් බලනවා, ෂොපින් කරනවා, ට්රිප් එකක් යන්න කවුරු කතා කරත් අපි දෙන්නත් යනවා. එහා ගෙදර ඇන්ටි ටිකක් වයසයි. බයි පාස් එකකුත් කරා. එයත් එක්කත් සේරම ගමන් බිමන් ගියේ තනියට මම. ගෙවල් අයිති අක්කත් එක්ක කයිය ගහන්න ගියොත් එක දිගට පැය දෙක තුන. ඉතින් මගේ ගෙදර සමහර වෙලාවට අපිලිවෙලයි. අපිරිසිදු උනේ නෑ. මොකද මට තදටම ග්රස්තීය නියුරෝසියා තිබුනා. වැලට රෙදි දානකොට, ගන්නකොට බිම වැටුනොත් ආයේ ආයෙමත් හේදුවා. වැඩ දෙක තුන වෙනවා ඒක නිසා. යාළුවො දාඩිය දාගෙන ඇවිත් මගේ ඇඳේ වාඩි උනොත් එයාලා යනකම් ඉඳලා බෙඩ්ෂීට් හෝදනවා. ඔය හේතු නිසා මුළු දවස් 365 ම එකම විදියට ගෙදර පිළිවෙලට තියාගන්න එක මට ලේසි පාසු උනේ නෑ.
ඔක්කොටම වඩා හේමන්ත ඇඳුම් හැමතැනම දැම්මා. බස් ටිකට්, සීඩි, කම්පියුටර් කෑලි හැමතැනම. අස්කරනවා, අවුල් වෙනවා, ආයේ අස් කරනවා, වැඩක් වැටුනොත් අස්කිරිල්ල කල් දානවා. ඔහොම ඉන්නකොට ගේ ජරාම විදියට අවුල් වෙලා තියන දවසට කෝල් එකක් එනවා දෙපැත්තෙන් කවුරු හරි අම්මා කෙනෙක් එනවා කියලා. ඉතින් මට පියවි සිහිය නැතුව යනවා. ජාමේ බේරගන්න එපැයි කොහොම හරි. මම නන්ස්ටොප් වැඩ ඒ වගේ දවසට. අන්තිම රෙදි කෑල්ලත් හෝදලා වැලට දාන්න එලියට බහිනකොට ඔන්න ගේට්ටුවත් ඇරගෙන අම්මලා එනවා. ඒ වෙලාවට,
හේමන්තගේ අම්මා: ” වැඩනේ? මොකෝ මේ? අපි එන නිසාද”
අම්මා: ” ඔයා විතරයි මගේ විදියට හැදුනේ, අක්කලා දෙන්න නම්… කතා කරලා වැඩක් නෑ.”
අම්මගේ කතාවට සතුටක් දැනුනත් හේමන්තගේ අම්මගේ විහිළුවට මගේ හිතට දැනෙන්නේ ලැජ්ජාවක්. හදිසියේවත ගේ අස් කරගන්න බැරි වෙච්ච දවසට අම්මලා දෙන්නම සාරි පිටින්ම අස්කරන්න ගන්න එක තමයි ඉවසගෙන ඉන්න බැරිම දේ. ඒ හින්දා මම බැලුවේ නිදි මරාගෙන හරි අස් කරලා ඉවරයක් කරන්න.
ඔහොම ඉන්නකොට මට රස්සාවකුත් ලැබිලා, එතනින් ස්ථාන මාරුවකුත් අරන් යන්න ඉන්නකොට මගේ පලවෙනි ඊබී එක්සෑම් ලියන්න ආවා. ආයතන සංග්රහයයි, මුදල් රෙගුලාසියි නෝට්සුත් ෆොටෝ කොපි කරගෙන ලෑස්ති උනාට මගේ ආයතන ප්රධානියා කිව්වේ කිසිම වැඩක් පෙන්ඩින් තියෙන්න බෑ, මාව රිලීස් කරන්නේ නෑ කියලා. අලුත් තැනට යන්න තිබුන ආසාවට එක්සෑම් ටිකකට අමතක කරලා, මම ගෙදරත් අරන් ඇවිත් වැඩ ටික ඉවරකරගෙන සිකුරාදා දවසක රිලීස් උනා. ඊළඟ සෙනසුරාදා එක්සෑම්. දවස් හතක්ම තියෙනවනේ පාඩම් කරන්න කියලා හිතාගෙන දුකක් නැතුව හිටියා.
එතනින් දවස් දෙකක්ම අඩු කරන්න උනේ හදිසියේම ඒ වීක් එන්ඩ් එකේ ලොකු අක්කලා ආව නිසා. කමක් නෑ. දවස් පහක් වැඩිත් එක්ක. අපි ඔහොමද පාඩම් කරේ කියලා හිතලා මම සඳුදා උදේම ගියා මගේ අලුත් සේවා ස්ථානය වෙච්ච හොරණ ප්රාදේශීය ලේකම් කාර්යාලයට පිළියන්දල ඉඳන්.
ඒ වෙනකොට එහේ කවදාවත්ම මුල් ළමාවිය සංවර්ධන නිලධාරී කෙනෙක් හිටපු නැති නිසා පෙර පාසල් දරුවන්ට කිරි වීදුරුවක් ලබා දීමේ වැඩසටහනත් අමතර වැඩක් විදියට කරපු, මම එනකම් නොයිවසිල්ලෙන් බලං හිටපු වනිතා සංවර්ධන නිලධාරී මම ගිහින් විනාඩි පහක් යන්නත් කලින් මාව වැහිලා යන්න ෆයිල් ගොඩක් මේසේ උඩින් ගෙනත් තියලා,
“අනේ නංගි, මගේ වැඩත් එක්ක හරි අමාරුවෙන් කරගෙන ගියේ. මෙන්න මේ වැඩ ටික මට කරන්නම බැරි උනා. ඔයා මේ ටික කරනවද?”
කියලා අතපසු වෙච්ච වැඩ ගොඩක්ම මට බාර දුන්නා. මම ඒ දවස්වල හරී මෝඩයි.
“අනේ අක්කේ, සෙනසුරාදා මට ඊබී එක්සෑම්. ඒක ඉවර වෙලාම මම මේ ටික කරන්නම්”
මට කියන්න තිබුනේ එහෙම. ඒත් පලවෙනි දවසෙම එහෙම කියලා මම ගැන අපහැදීමක් ඇති උනොත් කියලා බයට මුකුත්ම නොකියා මම පටන්ගත්තා ඒ වැඩ ටික කරන්න. හවස 4.15ට ඕෆ් වෙලා අතුරු පාරක තිබුන ඔෆිස් එකේ ඉඳන් ස්ටෑන්ඩ් ගිහින් බස් එකක වාඩි වෙලා බෝකුන්දරට ඇවිත්, එතනින් තව බස් එකක් එනකම් ඉඳලා ගෙදර යනකොට කොහොමත් හයහමාරවත් වෙනවා.
ස්ටාෆ් සර්විස් එකක හෙඩ් ඔෆිස් ගිහින් ඒසී එකේ ඉඳලා ස්ටාෆ් සර්විස් එකේම ගෙදර ආපු මට හොරණ ගියපු මුල් සතියේ දැනුන මහන්සියට සාමාන්ය විදියට ගෙවල් අස්කරගෙන ඉන්න බැරි උනා. ඒ වගේම අර අක්කා දීපු වැඩ ටික බ්රහස්පතින්දා වෙනකම්ම කර කර හිටියා සිකුරාදා නිවාඩුවක් දාලා දවසම පාඩම් කරනවා කියලා හිතාගෙන. දෙලොව රත් උනේ සිකුරාදා හවස සම්බන්ධීකරණ කමිටුව නිසා නිවාඩු කැන්සල් කියලා දැනගත්තට පස්සේ. එක්සෑම් ගැන දැනගත්ත අර අක්කත් දුක් උනා.
“ඔයා කියන්න එපායෑ නංගි. මම දන්නේ නෑනේ. ඒ වැඩ පස්සේ උනත් කරන්න තිබුනා. අපරාදේ”
කමක් නෑ. කැම්පස් එකෙදිත් වැඩිපුරම කරේ අන්තිම දවසේ පාඩම් කරපු එකනේ. මට එහෙම විෂයන්වලට A ත් ලැබිලා තියෙනවනේ කියලා හිත හදාගෙන සිකුරාදා හවස ගෙදර ආවේ රෑට කෑම කඩෙන් ගේන්න කියලා හේමන්තට කෝල් එකකුත් දීලා. ඒ වෙලාවේ හේමන්ත,
“මම කියන දේ අහලා කලබල වෙන්නෙපා අනු, ඔයා පාඩම් කරන්න. මොකුත්ම අස් කරන්න එපා. මම අම්මටත් කිව්වා. ඔයාට හෙට එක්සෑම් කියලා. අම්මත් කිව්වේ එයාලා ඇවිත් උයන්නම් කියලා”
මම හිටියේ දොර අරින්න යතුර දාලා කරකවන ගමන්. මට දැනුනේ මුළු ගෙදරම මගේ වටේට කර කැවෙනව වගේ. පුදුමාකාර සංතෝසයක්. ඉතින් මම හිනා උනා මහ හයියෙන්. අපේ ගෙදර බලන්න ලස්සනයි. සිරියාව උතුරනවා, හැමදේම හැම තැනම. ඊට පස්සේ මම කෑ ගහලා ඇඬුවා. අඬ අඬාම ගේ අස් කරන්න ගත්තා.
මගේ හොඳම යාලුවා දිලේකා, එයා ආවා රත්නපුරේ ඉඳන් අපේ ගෙදර. මාත් එක්ක එක්සෑම් ලියන්න යන්න.
” අනේ අනු, ඇන්ටි මුකුත් හිතන එකක් නෑ. ඔයාට එක්සෑමුත් නිසා. දැන් ඔය ඇති. එන්න ටිකක් හරි පාඩම් කරන්න.”
“අනේ බෑ දිලේකා, මම කොයිතරම් අස් කරත් එයාලට පුංචි හරි දෙයක් පේනවා වෙනදටත්. මේ විධියට තිබුනොත් නම් එයාලා දුවයි. ඔයා පාඩම් කරපුවා මට ඇහෙන්න කියන්නකෝ. මම මතක තියාගන්නම්.”
මම මුළු ගෙදරම අස් කරා. සිකුරාදා උදේ උයපු වලං විතරක් සින්ක් එකට දාලා, දිලේකගේ වදේට ගියා පාඩම් කරන්න. එතකොටත් රෑ වෙලා. පහුවදා උදේ නැගිටලා උයන්නෙත් නැතුව අපි ගිහින් එක්සෑම් ලිව්වේ මට ආයෙමත් ලියන්න වෙයි කියලා හිතාගෙනමයි. මමයි දිලේකයි ගෙදර එනකොට හේමන්තගේ අම්මා උයනවා.
“මොකෝ? ඊයේ වතුර කපලා තිබුනැයි?”
“ඇයි අම්මේ? වතුර නැද්ද? ඊයේ නම් වතුර තිබුනා”
අම්මා හිනාවෙවි මගෙන් අහත්දි මෝඩ කමට එක සැරේට මට තේරුනෙත් නෑ මොකද්ද මේ අහන්නේ කියලා. මම පිටිපස්සෙන් හිටපු දිලේකා දිහා බැලුවම එයාට තේරිච්ච බව මූනෙන් පෙනුනා. ඒත් එක්කම මටත් තේරුනා. ඒ නැතත් අම්මා තේරුම් කරලා දුන්නා.
” නෑ..මේ.. සින්ක් එකේ ඉඳුල් වලං වගයක් තිබුනා. ඒකයි.”
“අනේ පුතේ, අපි එනවා කියලා ගෙවල් අස් කරන්න මහන්සි වෙන්නෙපා, පාඩම් කරන්න, අපි ඇවිත් මක්ක හරි උයන්නම්”
කලින් දවසේ රෑ මට කෝල් එකක් දීලා එහෙම කියපු කෙනාම ඊට පස්සේ අරම අහත්දි මට පුදුම හිතුනා තමයි. ඒත් එදායින් පස්සේ මම පුළුවන්නම් අස් කරා, බැරි නම් නිකං හිටියා. නහයට උඩින් වතුර අඟලක් ගියත් එකයි, ඊට වැඩිය ගියත් එකයි කියලා.
කසාද බැන්දම කපල් එකක් ටික කාලයක් හරි (වයසින්, අත්දැකීම් වලින් පරිනත වෙලා, නැන්දම්මව ඉවසන්න පුළුවන් වෙනකම්) තනියම ඉන්න එක ගොඩක් හොඳයි කියලා මට එදා හිතුනා. දැන් මම හේමන්තගේ අම්මත් එක්ක එක ගෙදර ඉන්න පටන් අරන් අවුරුදු 9ට ළඟයි. අපේ දරුවො බලාගන්න ඇවිත් එයා අපි වෙනුවෙන් නොකරන දෙයක් නෑ. ඉඳලා හිටලා එයාට දැනෙන මගේ අඩු පාඩුවක් විහිළුවෙන් වගේ කියලා දාන එකයි, මම උයනවට තියෙන දැඩි අකමැත්තයි, එයාගේ කෑම රසයි කියලා මම නිතරම කිව්වත් මගේ කෑම රසයි කියලා කවදාවත් නොකියපු එකයි ඇරෙන්න එයා මට කරපු හොඳ දේවල් මට පොතක් උනත් ලියන්න පුළුවන්. මම තරයේම විශ්වාස කරන දෙයක්. එයා මගේ වාසනාවට ලැබුණු නැන්දම්මා කෙනෙක්.
ප.ලි.
මම ඊබී පාස් උනා. කටවුට් මාක්ස් 40යි. හරියටම මට ලකුණු 40ක් තිබුනා. දිලේකත් එක්ක එක දිගට එයා පාඩම් කරපුවා කතා කරලමයි ඒ තරමින් මම ගොඩ ගියේ.
උපුටා ගැනීම: Anu Jayawardane

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!