ඒක උනේ හවස ෆාමසියකදි. ඒ මනුස්සයා පිලිවෙලට ඇදගෙන හිටියා,අපූරු විලවුන් සුවදකුත් තිබුනා.ඒත් මූණෙ තිබුනෙ හිස් බවක්. ඇස්දෙකේ තිබුනෙ පරාජිත කමක්.එයා ඉල්ලුව බෙහෙත් පෙති වර්ගය ලබාදීම ඖෂධ වේදියා තරයේ ප්‍රතික්ෂේප කලා .ඒක ශරීරයට අහිතකර, උපදෙස් වලින් තොරව පාවිච්චි නොකල යුතු ඖෂධ යක්.ඉතින් ඒ මනුස්සය හිස් අතින් ආපහු හැරුනා. යන්න ගියා.විකල්පයක් හිත හිත යන්න ඇති.මේ මොහොත වෙනකොට විකල්පයක් හොයාගෙනත් ඇති.
මම මේ ලියන මොහොතෙත් ..ජනේලෙන් එලිය බලාගන,එහෙම නැතිනම් වරින් වර ෆෝන් එක දිහා බල බල,ඒත් නැතිනම් සුසුම් ගොඩාක් හුලගට තල්ලු කර කර, කල්පනා කරන අය ලෝකෙ හැම තැනම ඇති. හිත් රිදිල ඇති.කෑලි වලට කැඩිලා ඇති.මැරෙන්න හිතෙනව ඇති.
“මේව සේරම තාරා.ඔයාගෙ අල්මාරියක දාල තියන්න. ..මම මැරෙන්න හිතෙන එක පාලනය කරගන්නෙ ඕව හංගලා”
මේනු දුමින්ද දුන්න තෑගි බෝග සේරම ටියුලිප් බෑග් තුන හතරකට දාගෙන මදාරා එක්ක ඇවිත් මට භාර දුන්නා. ඊට පස්සෙ බිම වාඩිවෙලා කෑ ගගහ ඇඩුවා. එයා දනිස් දෙකෙන් බිම වාඩිවෙලා ඔලුව බිමට නවාගන ගොඩාක් වෙලා හිටියා.මදාරා ඒ වෙලාවෙම දුමින්දට කෝල් එකක් ගත්තා. ඒත් දුමින්ද කෝල් එක කට් කරල දැම්මා.
මේ ලෝකෙ ගොඩාක් මිනිස්සුන්ට ,ජීවිතේ එකපාරක් හරි මැරෙන්න හිතෙනවා. තවත් කොටසක් උදාවන දවසක් ගානෙ හිත හිතා මැරෙනවා . එක පාරින් ජීවිතේ නැති වෙලා යන එකට වඩා…මැරි මැරී ජීවත් වෙන එක බිහිසුණු දෙයක්.
“මම ආස උනේ කොහොම හරි යුනි යන්න .ඩිග්‍රී එකෙන් පස්සෙ රටකට යන්න..සේරම හීන ඉවර උනා..”
මදාරගෙ පුංචි අම්මගෙ දුව දෙවන වතාවටත් උසස්පෙල අසමත් උනාම එයාට නොනවතින හිසේ කැක්කුමක් පටන් ගත්තා. මැරෙන්න හිතෙනවා .එයා නිතරම එහෙම කිව්වා .
විභාග සමත් උනාම.තමන් කැමති ක්ෂේත්රය කින් උපාධියක් ලැබුනම. ඒක තමා අධ්‍යාපනය වෙනුවෙන් කෙනෙක් ලබන ශ්‍රේෂ්ඨත්වය .ඉදිරි අරමුණු වෙනුවෙන් ලබන සුරැකුම. ඒත් ජීවිතය අසමත් නම්….උපාධිය කින් පලක් ඇත්තේම නෑ කියල මට හිතෙනවා.
මහා හයියෙන් හිනාවෙන මිනිස්සු ..ඇත්තටම ගොඩක් වෙලාවට ඇතුලාන්තයෙන් මාරාන්තික වේදනාවක් විදිනවා.කෑ ගහල කතා කරන, පොඩි දේටත් විහිලු කරන මිනිස්සු රෑ නින්දට ගියාම නොසෑහෙන්න අඩනවා. කොට්ටෙට මූණ ඔබාගන කෑ ගහනවා. ආයම උදේට පුරුදු හිනා මූනෙන්ම දවස ගෙවනවා. එහෙම අයව හදුනාගන්න අපහසුයි.මොකද කවදාවත් එයාල බිදිලා කියල ලෝකෙට පෙන්නන්නෙ නෑ.
වෙසක් පෝයකට කූඩු අරන් එන්න පානදුරේ ඩයස් වත්තට ගිහින් හිටපු වෙලාවක තරුණ අම්ම කෙනෙක්..පාට විදුලි බුබුලු දහයක් ගන්න සල්ලි ඉල්ලුවා.ඒ අම්ම ගොඩාක් කෙට්ටුයි.ඒත් පිරිසිදුව ඇදලා හිටියා.කොන්ඩෙ දිගයි. ඒක කරලකට ගොතලා තිබුනා.මම එයා එක්ක කතා කලා.
” මට ඉන්නෙ පුතාල දෙන්නෙක් මිස්,එක්කෙනෙක් පහේ එක්කෙනෙක් හතේ.. මහත්තය මාව දාල වෙන කෙනෙක් එක්ක ගියා. මම රෙදි කඩේක වැඩ කරන්නෙ..අමාරුයි ජීවත් වෙන්න.මැරෙන්න හිතෙනවා ..බෑනෙ කොල්ලො හින්ද..එයාල හෙදර කූඩු හදනව..මට සල්ලි නෑ මිස් ඕවට දේවල් ගෙනියන්න. ගෑණු අයගෙන් විතරක් ඉල්ලනව…මම හිගාකන කෙනෙක් නෙවෙයි..”
එයාට නෙවෙයි ඒක අහල මට මැරෙන්න තරම් දුක හිතුනා. මම එයාට සල්ලි දුන්න. ඒකෙන් මට ගන්න තිබුන කූඩු වලින් තුනක් අත අරින්න උනා මටත් සල්ලි මදි උන නිසා.ඒත් හිත ඇතුල සන්සුන් උනා.
කවුරු හරි ඔබ ලගදි
.”මැරෙන්න හිතෙනවා “
කියල තියනවද?එහෙම වෙලාවට ඔබ කලේ මොකක්ද කියල මතකද?
හයියෙන් හිනා උනාද?
පිස්සු නැතිව ඉන්න කිව්වද ?
දැන් නිදාගෙන මම උදේට කතාකරන්නම් කිව්වද?
එහෙම නැතිනම්….
“මට කියන්න…මොකක්ද උනේ..මම ඔයා වෙනුවෙන් ඕනම වෙලාවක ඉන්නවා”
කියල කිව්වනම්……….ඔබ මනුෂ්‍යත්වය හදුනන .කෙනෙක්.ඔබට තියෙන්නෙ හොද හදවතක්.
” එයා කන්න ආස බෝල්ලො මාලුයි,මෑ කරලුයි, ගෝව කොල මැල්ලුමයි,පපඩමුයි,පරිප්පු එක්ක සුදු බත්….මට ඒ කෑම එකක් හරි දකිනකොට .නොකා නොබීම මැරිල යන්න හිතෙනවා “
එහෙම කියපු කෙනෙක් හිටිය.
පොඩි දේවල් කියල අපි අත හරින ගොඩක් දේවල්,තව කෙනෙකුගෙ ඇතුලාන්තයට කොච්චර පහර දෙනවද කියල තේරුම් නොගන්න එක මොනතරම් පව්කාර කමක්ද කියල හිතෙනවා.
අපි හැමදේකටම හේතු හොයනවා.හිනාවෙන්න හේතු, සතුටු වෙන්න හේතු,විවාහ වෙන්න ආදරේ කරන්න හේතු……මේ සේරම අතරෙ..ජීවත් වෙන්න හේතු හොයන අයත් ඉන්නවා.
“මට ජීවත් වෙන්න හේතුවක් දෙන්න”
කවුරුත් එහෙම අපෙන් ඉල්ලන්නෙ නෑ ඒත් අපි තේරුම් ගත්තොත්…අපි කාට හරි ජීවත් වෙන්න හේතුවක් දෙන්න ඕන කියල.එහෙම පුලුවන් තැනක නම් අපි ඉන්නෙ…..ඒ දේ අපි කල යුතුයි .කියල මට හිතෙනවා .
“මේ ලෝකෙ කොතන හරි ඔයා හුස්ම ගන්න බව මට දැනගන්න දෙන්න. එතකොට මම මැරෙන්නෙ නෑ.”
මම එහෙම ලිව්වා මගෙ ලැප් එකේ “Be Mine” කියන ෆෝල්ඩර් එක ඇතුලෙ.හේතුවක් ඇතිව හරි නැතිව හරි .ඒ ලිව්ව වචන..කී දෙනෙක් වෙනස් වෙනස් විදියට හරි තව කෙනෙකුට කියල ඇතිද.
මිනිස්සුන්ට ඕන ජීවත් වෙන්න .ලැබුන කාලයෙදි ඇති තරම් ජීවත් වෙන්න.
ජීවිතේ අත හරින්න ඕන කියල කෙනෙක් කිව්වොත්.දෙවරක් නොසිතා..එයාව වැළදගන්න.
තාරා.
උපුටා ගැනීම: Tharangani Dilrukshi Jayasena