තානායම (හොල්මන් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඒ දෙපළ මධුසමයට තෝරාගත්තෙ බෙලිහුල්ඔය තානායමකි. එහි තිබුණු සුන්දරත්වයත් දේශගුණයත් අලුත විවාහ වුණු තරුණ යුවලකට කදිමට ගැළපෙන බව ඔවුන්ගෙ මිතුරන් කීපදෙනෙක්මත් කියා තිබූ නිසා එය අවසන් තීරණය කරගැනීමට රොසෑන් සහ අශාන් බොහෝ සේ නොසිතන්නට ඇති.
අලුත විවාහ වූ ජෝඩුව තානයමට යන විට රාත්රී අටටද කිට්ටු වී තිබිණි. වහාම රාත්රී ආහාර ගත් ඔවුන් දෙදෙනා අැඟපත සෝදා නින්දට වැටුණේ ඔවුන්ට තිබූ අධික ශාරිරික වෙහෙස නිසාම නොවිණි. විවාහ මංගල්යයට මාස ගණනාවක් තිස්සේම සූදානම් වීමට ගත් මහන්සියත් හිතේ තිබුණු බරත් දෙකම එකම දවසක අවසන්ව තිබූ මුත් දැන් ඔවුන්ට අවශ්යව තිබුණේ හොඳ සුව නින්දක්ම පමණක් වූ බැවිණි.
තද නින්දක සිටි රොසෑන් එක්වරම පැහැදිලි කළ නොහැකි හේතුවකට ගැස්සි ඇහැරිණි… බිත්ති ඔරලෝසුවෙ වෙලාව රාත්රී එකොළහය. නමුත් එය විය නොහැකිය.. මන්ද ඔවුන් නින්දට යන විටත් රාත්රී දහයට කිට්ටු වූ බව ඇගෙ මතකයෙ හොඳින්ම සනිටුහන්ව තිබූ නිසාවෙනි . ඇය ජංගම දුරකථනයෙ සටහන්ව තිබූ වේලාව නිරීක්ෂණය කළාය. පාන්දර දෙකට ආසන්නය..!
” කැඩුණු ඔරලෝසුවක්..! මරු තානායමක්නෙ..! හෙටම කියන්න ඕනි..” අශාන් නම් තදම නින්දකය.. රොසෑන් නානකාමරයට ගොස් මූණ කට සෝදා බැල්කනියට වීවෘත වන ජනේල අසලට ගියාය.. ඇය ජනේල විවෘත කරන්නට ප්රථම තිරරෙදි මෑත් කර තරමක වේලාවක් අවට නිරීක්ෂණය කළාය..
තානායමට තරමක් පහළින් ගලාගෙන යන ඔයට සඳ එළිය වැටී ඇත.. එය වචන වලින් විස්තර කළ නොහැකි සුන්දරත්වයකි. අශාන්ට කීද්දුවත් ඔහු ඇහැරුණෙ නැත. ඇය ජනේල විවෘත කළාය.. ජනේල හරහා හමා ආ ඒ සීතළ සුළඟෙහි පහස වඩ වඩා විඳින්නට ඇය ලොකූ හුස්මක් ගත්තාය.. ඒත්.. ඒත් ඒ සැපවත් සුළඟෙ රැඳී තිබුණෙ මහා කුණු ගඳකි… එතෙක් ඇය වෙළාගෙන තිබූ ඒ සියළු අාදරණීය සොඳුරු හැඟුම් සුළඟ රැගෙන ආ දරාගත නොහැකි ඒ ගන්ධය සමඟ ඇගෙන් ඈතටම පළා ගියාය..
” කොහේ හරි මීයෙක් මැරිලා ඇති.. ! “
හඳ එළිය වැටුණු ඔයෙහි ගලන වතුරත්, බටපඳුරුත් , අවට කැළෑව පීරාගෙන සිපගෙන එන සිසිල් සුළඟත් පරදවමින් ආ කුණු ගඳ දරාගත නොහැකි වූ රොසෑන් ජනේල වසා දමා නැවත ඇඳ වෙත ආවාය..! පුදුමයකි.. දැන් ඔරලෝසුවෙ නිවැරදි වේලාව සටහන්ව ඇත..! අැය ජංගමය සමඟ එය පරික්ෂා කළාය. දැන් වෙලාව දෙකයි කාලයි. ඔරලෝසුවෙත් ඒ වෙලාවමයි.. ඒක පුදුම වැඩක්..! නෑ සමහරවිට මම ඉස්සෙල්ලා දකින්න ඇත්තෙ වැරදියට..!
• මනස්ගාතනෙ ළමයෝ..! ඔයා නිදිමරගාතෙ ඔරලෝසුවෙ වෙලාව වැරදියට දකින්න ඇති. මේක බොහොම ඉහළින් පිළිගත් තානායමක්. එහෙම අඩුපාඩු වෙන්න හැටියක් නෑ. අර ගඳ නම් ශුවර් එකට මීයෙක් මැරිච්ච එකක් වෙන්නැති උදේම එයාලා අස් කරන්න ඇති..දැන් ගඳ නෑනෙ..
රොසෑන් සහ අශාන් උදෑසන ආහාර ගෙන තානයමේ වත්ත පුරා ඇවිදින ගමන් කරන මේ කතා බහට කවුරුන් හෝ වුවමනාවෙන් ඇහුම්කම් දෙන බවක් ඇයට දැනෙයි. වටපිට බැලූමුත් කිසිවෙක් නැත..
• රොසෑන් ඇයි ඔයා බයෙන් කලබලෙන් වගෙ..? ඔයාට ඇඟට මහන්සි නම් ටිකක් නිදාගන්න..!
නෑ අශාන් , මට හිතෙන්නෙම අපි කතා කරන ඒවා කවුරු හරි අහන් ඉන්නවා කියලා..
• පිස්සුද ළමයෝ..?! ඒ අර මේ පරිසරය නිහඬ නිසා. බලන්න මෙහේ ඉන්න හැමෝම ඉන්නෙ තම තමන්ගෙ ලෝකවල. කවුරුත් කාටවත් අවධානයක් දෙන්නෙ නෑ..
එදා දවස ඔවුන් දෙදෙනා ගෙවූ සුන්දරතම දවස විය..! තානයම වටා තිබූ සුන්දර තැන් කිහිපයකම ඇවිද ආ ඔවුන් සුපුරුදු පරිදි රාත්රී ආහාරය ගෙන නින්දට ගියේ පහුවදා උදෑසනම හපුතලේ යන අදහසිනි.
එදින රාත්රියේත් කලින් දින රාත්රිය පරිදිම ඇය අහේතුකව නින්දෙන් අවදි විය.. ඔරලෝසුව පෙන්වන්නෙ රාත්රී එකොළහය.. ජංගමය ගෙන බලන විට වේලාව ඊයෙ රාත්රියෙ පරිදිම පාන්දර දෙකට ආසන්න වෙලාවකි. ඇය තරමක් බිය විය.. අශාන්ට කීපවරක්ම කතා කළ මුත් ඔහු තද නින්දකය.
පහුවදා හපුතලේ ගොස් පැමිණි වහාම ඔවුන් දෙදෙනාට තිබූ අධික වෙහෙස නිසා වෙනදා මෙන්ම වේලාසන නින්දට ගියෙ පහුවදා උදෑසනම කොළඹ යෑමේ බලාපොරොත්තුවත් තිබූ නිසාවෙනි. පුදුමයකට මෙන් එදිනද එම අද්භූත සිදුවීම කිසිදු වෙනසක් නැතිව සිදුවිණි..
• රොසෑන් ඕක මනස්ගාතයක්..! ඇඟෙ මහන්සියට ඔය විකාර පේන්නෙ, ගණන් ගන්න එපා.. !
කොළඹට එනතුරුම අශාන් , රොසෑන්ට මන්තරයක් මෙන් ඔය වාක්යය මතුරමින් පැමිණියෙ රොසෑන්ගෙ කලබල වූ සිත සංසුන් කිරීමේ අටියෙන් වුවත් රොසෑන්ට නම් ඉන් අස්වැසිල්ලක් නොලැබුණු හැටියකි..
අශාන් එම සති අන්තයෙ රැකියාව සඳහා නැවත විදෙස්ගත වීමට නියමිතව තිබිණි..
• තව ඉන්න තිබුණනම් හොඳයි රොසෑන් . ඒත් සති තුනක්ම මම නිවාඩු ගත්තානෙ නෝනෙ..! මම ඉක්මණට එන්න බලන්නම්..
අශාන් විදෙස්ගත වූ පසු රොසෑන් නිවසේ තනිවුණි.. එදින සිට සෑම රාත්රියකදීම සිහිනෙන් ඇයට තානයමේ විඳි අත්දැකීම චිත්රපටයක් මෙන් පෙනෙන්නට පටන් ගත්තාය.. මෙයින් දැඩි මානසික වියවුලකට පත් රොසෑන් ඇයගෙ හොඳම මිතුරිය නර්මදා අැමතීය..
• රොසෑන් උඹට දැන් ඔය තියෙන්නෙ පාළුව, තනිකම, කාන්සිය..! අශාන් එක්ක ඉන්න හම්බුනෙත් දවස් දහයක් විතරනෙ..! උඹ ප්රේ කරලා නිදියපන්…! … අහ් මම හම්බෙන්න එන්නම්කො..
කථිකා කරගත් පරිදි නර්මදා රොසෑන්ව මුණගැසීමට ගියාය.. ඇයට රොසෑන්ගෙ ස්වරූපය දැක හිතට මහාත් බියක් දැණිනි.. රොසෑන් සම්පූර්ණයෙන්ම ඇදී ගොසිනි.!
• මචං අහපන් මම හොඳ සයිකැට්රික් කෙනෙක් චැනල් කරන්නම්. අපි යමු.. මම හිතන්නෙ උඹට බ්රේන් වොෂ් එකක් ඕනි වගෙ..! අනික උඹ මේ ගෙදර තනිවම ඉන්න එපා. එක්කො උඹේ මහගෙදරට හරි නැත්නම් අශාන්ගෙ මහගෙදරට හරි පලයන්…!
ඒ ගත් කිසිදු ක්රියාමාර්ගයක් ප්රථිපලදායක නොවීය. රොසෑන් ඇයගෙ මවගෙ නිවසට ගියත්, මනෝවෛද්යරු මුණගැසුනත් ඇයට පෙනෙන ඒ විකාර සිහිනය දිගින් දිගටම ඇය පසුපසම හඹා එමින් තිබිණි..!
” නර්මදා මට ඔය තානායමට යන්න ඕනි..! ඔතන තමයි මේකට විසඳුම තියෙන්නෙ. මෙච්චර කාලයක් මම උඹ කියපු හැම දේම ඇහුවනෙ. දැන් මම කියන දේත් අහපන්.. අපි දෙන්නා විතරක් කාටත් නොකියා තානායමට යමු..”
• කිසි ප්රශ්ණයක් නෑ යමු..! ඒත් කෙල්ලෙ මගෙ වාහනෙ මේ දවස් වල හදන්න දාලනෙ..
” කමක් නෑ අශාන්ගෙ කා එක තියෙනවනෙ ඒකෙන් යමු…”
ඔවුන් එලෙස තානායමට ගියෝය. තානායමේ සිටි පැරණිම සේවකයෙක් දැන හඳුනා ගන්නට නර්මදාට අපහසුවක් නොවිණි.. නමුත් ඔහුගෙන්වත් එහි සිටි කිසිම පුද්ගලයකුගෙන්වත් ඔවුන්ට තානයම සම්බන්ධ කිසිදු අද්භූත යමක් ගැන දැනගැනීමට නොහැකි විණි..
• රොසෑන් මෙතන තියෙන්නෙ උඹ හිතන විදියට මොකක් හරි ස්පිරිචුවල් දෙයක් නම් ඇයි ඒක උඹේ පස්සෙන් එන්නෙ..? උඹට තියෙන සම්බන්ධය මොකක්ද? උඹ කලින් මේකට ආවද?
” නෑ නර්මදා , උඹ දන්නවනෙ මම ජීවිතෙ ගතකරන හැටි. මම මේ මෙතනට ආවමයි.. මම ඉතින් ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ ගියා ගෙදර ආවා.. ඊටපස්සෙ බඳිනකම්ම අම්මලා එක්කමනෙ කොහේ ගියත් ගියෙ. මෙතනට එහෙම ආවෙම නෑ..”
• උඹට හිතෙන්නෙ නැද්ද මචං උඹ බලන ඔය හොරර් ෆිල්ම්ස් වල දේවල් උඹේ මනසේ තැන්පත් වෙලා ඒවා උඹට ඇත්තටම වෙනවා වගෙ දැනෙනවා කියලා..?!
” සයිකැට්රිකුත් ඕක ඇහුවානෙ බං..! අනික මට ෆිල්ම්ස් බැලිල්ල සම්පූර්ණයෙන් නැවතුනා වෙඩිංග් එකේ වැඩ නිසා . මාස පහකින් විතර බලල නෑ දැන්. අශාන් එක්ක තියේටර් එකට ගිහින් එකක් බැලුවා. ඒකත් කාටූන් මූවි එකක්..”
• අනේ මන්දා..! දැන් බලපන් තානායමේ එකෙක්වත් මුකුත් කියන්නෙ නෑනෙ.. එහෙම දේවල් වෙන්නෙ නැතිව ඇති බං..
අවසානයෙ රොසෑන් තනිවමම මේ ප්රහේලිකාව විසඳන්නට අදිටන් කරගත්තෙ ඒ වන විටත් ඇය මේ මහා මානසික වධයෙන් හෙම්බත් වී සිටි නිසාවෙනි.
එ අනුව දිනක් ඇය තානයම කරා අශාන්ගෙ මෝටර් රියද ගෙන තනිවම ගියාය.. නමුත් තානයාම තුළට යනවා වෙනුවට ඇය කරේ තානායම අසළ පළතුරු විකුණන වයසක සීයා කෙනෙකුගෙ වෙළඳ සැලක් කරා මෝටර් රථය ධාවනය කරවීමයි . එය එසේ වූයෙ ඉබේටමය..!
” සීයේ මේ පළතුරු වස විස නැති ඒවද? .”
• ඔව් නෝනෙ..මයෙ වත්තෙයි, අහළ පහළ වතු වලයි පළතුරු. මම දැන් අවුරුදු ගාණක් මෙතන පළතුරු විකුණනවා , කවුරුත් ගන්නෙ මගෙන්. හැමෝම දන්නවා මම විකුණන්නෙ හොඳම දේ කියලා..
ඒ කාරුණික මිනිසා සිනාසීගෙනම ඇයට පළතුරු ගෙඩියක් දිගු කළේය.
• දුව කොහේ ඉඳලද..?
” කොළඹින්.. සීයා ගොඩාක් කල් ඉඳන් මෙතන ඉන්නවා කිව්වා නේ..? “
• ඔව් අවුරුදු දහයක් විතරම.. මයෙ ගමනෙ ඉතින් මේ.. අර ඈත පහළ තියෙන ගෙවල් පේනවද.. ආන් ඔය හරියෙ තමා මගෙ ගෙදරත්.
” එහෙමද? ..”
රොසෑන් මදක් කල්පනාකාරි විය.
” මම පත්තර වාර්තාකාරියක්.. පොතුත් ලියනවා.. මේ තානයම ගැන ලිපියක් ලියන්න හිතාගෙන ආවෙ..සීයට බැරිද මට විස්තර ටිකක් කියන්න මේ තානයම ගැන.. මේ ලස්සන තානායම හා බැඳුණු සුන්දර කතා එහෙම..”
• සුන්දර කතාත් ඇති..!
සීයාගෙ මුවින් පිටවුණ ඒ වදන් රොසෑන්ගෙ කුහුල ඇවිස්සීය..
” සුන්දර කතාත් ඇති කිව්වෙ..? මේකෙ එහෙම සුන්දර කතා නැද්ද.. “
• දුව , මේක ඉස්සර සුද්දෙක්ගෙ බංගලාවක්.. අවුරුදු දෙසීයකට විතර එපිටදි. ඒකා හරීම ධනවත් මිනිහෙක්ලු. ඒ සුද්දාට දුවෙක් හිටියාලු, ඒ ළමයා ගොළුලු , තරමක් අංගවිකලයිලු. නමුත් මේ ධනස්කන්ධයට කෑදර වුණ අපේ එකෙක් එ්කිව රවටන් කසාද බැඳලා යාප්පුවෙන්ම දේපළ අයිති කරගත්තලු. පස්සෙ ඒ සුද්දිව මැරුවා කියනවා බොන වයින් වීදුරුවකට විසක් දාලා දීලා.. පස්සෙ ඒ මිනිහත් හොයාගන්න බැරි දරුණු ලෙඩක් හැදිලා බොහොම විඳවලා මැරුණා කියනවා.. පස්සෙං පහු ඕක විකිණි විකිණි එක එකාගෙ අතින් අතට ගියා.. අර සුද්දිගෙ සාපයටද මන්දා කවදාවත් ඔය තානායමේ කලඑළියක් නෑ..! දියුණුවක් නෑ..! ආදයමක් නැතිව දරන්න වුණ නඩත්තු වියදම නිසාම බංකොලොත් වුණු අයිතිකාරයන් කීපදෙනෙක්ම ඕක අතැරලම දාලා ගියා.. මම හිතන්නෙ දැන් අයිතිකාරයොත් ඕක විකුණන්න හදනවලු..
” එතකොට සීයෙ මේ මෑතක වුණ මුකුත් විශේෂ සිදුවීම් නැද්ද..??! “
ඒ විඩාබර කාරුණික මහළු මිනිසා දීර්ඝ කල්පනාවකට වැටිණි.. එක්වරම ඔහුගෙ ඇස් දීප්තිමත්ව දිලිසුණේ යමක් මතක් වූ නිසා බව රොසෑන්ටද අවබෝධ විණි.
• ඔව් ඔව්..ඔය නෝනා මෙහෙට කලිනුත් ආවා නේද..? මීට අවුරුද්දකට විතර කලින්..
” නෑ.. මම ආවෙ මීට මාසයකට විතර කලින්.. “
• නෑ මේ වාහනේම මීට අවුරුද්දකට එකහමාරකට කලින් මෙහේ ආවා..!! මට මතකයි..
රොසෑන් තරමක් කලබල විණි.. නමුත් මේ කලබල වීමට අවස්ථාවක් නොවේ. ඇය බුද්ධිමත් විය යුතු අවස්ථාවකි.
” ආහ් ඔව් හරි මට මතකයි.. ආවා තමයි..”
• ඒකනෙ.. මට මතකයි , මට එකපාරටම ඒක මතක් වුණෙ මේ වාහනෙ දිහා බලද්දියි , මම මෙතැනම හිටියෙ. නෝනි හරිම සන්තෝසයෙන් මහත්තයා එක්ක අත්වැල් පටලන් ඔය තානායමට ගියා මට මතකයි..!
රොසෑන්ගෙ හිත කියාගත නොහැකි මහා අමුතු සිතිවිලි පොදියකින් තෙරපයි. අහේතුක බියක් , දුකක් , තරහවක් ඇතිවෙයි.. ඒත් ඇය උපරිම පාලනයකින් සීයාට ඇහුම්කන් දෙමින් සිටියාය..
” සීයාට මතකද ඒ ආව මහත්තයව..? “
• මෙතනට පැහැදිලිවම එන යන අය පේන්නෙ නෑ නෝනා..
” එහෙමනම් මාව දැක්කෙ..? “
• නෑ ඉතිං නෝනගෙ වාහනෙන් නෝනමනෙ එදා එන්ඩ ඇත්තෙ.. ඔය හැඩහුරුකම් වගෙ තමා මට මතක. මට ඉතින් එතරම් හොඳට ඇස් පේන්නෙත් නෑනෙ…!
” හරි ඉතින් සීයා ඇයි දැන් ඒක කිව්වෙ..? “
• නෑ මට මේ එකපාරටම ඒක මතක් වුණෙ වෙන කතාවක් කියන්ඩ හදද්දිම මේ වාහනෙත් දැක්ක නිසා.. කෝමහරි නෝනලා ඇවිත් ගිහින් සතියකට විතර පස්සෙ බෝම ලස්සන ගෑණු ළමයෙක් මෙන්න මේ පාර දිගෙ බයෙන් බයෙන් වගෙ රෙදි මල්ලකුත් පපුවට තුරුළු කරගෙන ඔය තානායමට ගියා. ඒ ළමයා ඔය තානායම ඇතුළට ගිහින් දවසකට පස්සෙ ගෑණු පිරිමි කාණ්ඩයක්ම කලබලෙන් වගෙ ඔය තානයමට ඇවිදගෙනම ගියා. ගිහින් පැයක් දෙකක් ඉඳලා ආපහු ඒ පිරිස යන්න ගියා. ඒකෙ හිටිය ගෑණු කෙනෙක් හෙම අඬ අඬමයි ගියෙ..! ඔච්චරයි මෑතකදි වුණේ.. විශේෂ සිදුවීමකට..!!
රොසෑන් සීයාට ස්තුති කර වැඩිපුරත් මුදල් ලබා දී නර්මදා සොයා පිටත්විය..
” මචං මට යන්න ඕනි ඔය පැත්තෙ පොලීසියට, උඹ එනවද..? “
ඒ වනවිටත් සම්පූර්ණ කථාන්දරය අසා මවිතයට පත්ව සිටි නර්මදාට රොසෑන්ගෙ එම යෝජනාව නෑසිනි..
” නර්මදා…! “
• ඕ..ඕ.. ඕ…
” උඹ එනවද මගෙත් එක්ක ඒ පොලීසියට යන්න..? “
• එන එකනම් ප්රශ්ණයක් නෙමේ බං .. ඒත් මේක කොහෙන් කෙළවර වෙයිද කියලයි මට භය..!
” උඹ එනවද නැද්ද..? “
රොසෑන් වෙනදාට වඩා තරමක් හිතුවක්කාර ශක්තිමත් ගැහැණියක් වී අැත.. ඇය තවදුරටත් කලින් සිටි ළඳ බොළඳ රොසෑන් නොවීය. නර්මදා සහ රොසෑන් පහුවදා පාන්දරින්ම අදාල පොලිස් ස්ථානය වෙත ගියෝය. එහි සිටි නිළධාරි මහතකු සමඟ කතාබස් කර ඔහුව යාප්පු කරගත් මේ මිත්ර දෙපළ ඔහුගෙන් හැකි තරම් විස්තර ලබාගන්නට උත්සහ කළෝය.
• ඔය කියන කාල සීමාවෙ මේ ගමේ ගෑණු ළමයෙක් අතුරුදහන් වුණ බවට මේ පොලීසියට පැමිණිල්ලක් ලැබිලා තියෙනවා. ඒ අනුව අපි ඔය තානායමත් පරික්ෂා කරා. නමුත් එහේ ඒ ළමයා හිටියෙ නෑ. නෑ..නෑ ඔය තානයමේ CCTV නෑ..! අපි සෑහෙන්න හෙව්වා නමුත් හොයාගන්න බැරිවුණා. පස්සෙ මම හිතන්නෙ ඒ කෙල්ලගෙ තාත්තා ඔය පහළ ගලාගෙන යන ඔයට පැනලා මැරුණා..! ඔව් දුප්පත් අහිංසක පවුලක්. කෙල්ලට කොළඹ හාදයෙක් එක්ක සම්බන්ධයක් තිබිලා තියෙනවා..! නමුත් මේ මෝඩ මිනිස්සු උෟව දැකලවත් නෑ.. කෙල්ලගෙ යාළුවො දෙන්නෙක්ගෙන් තමයි දැනගත්තෙ එහෙම සම්බන්ධයක් තිබුණ බවටවත්.. නෑ නෑ ඒ කෙල්ලො දැකලත් නෑ. මම හිතන්නෙ ඒ කෙල්ල පිස්සියක්. මනස්ගාත මවාගෙන ඉන්න ඇති.. වැඩේ කියන්නෙ එකපාරටම අතුරුදහන් වුණ විදිය.. මිස්ලා මේ මොනවා අහනවද මුළු තානායමෙන්ම අපි ප්රශ්ණ කරා..! කිසි එකෙක් ඇහැටවත් දැකලා නෑ ඔය කියන ගෑණු ළමයව..ඒකි පිස්සුවෙන් වගෙ කොහේ හරි ගිහින් ඇති.
රොසෑන් එදින රාත්රියෙ අශාන්ට ඇමතුමක් ගත්තෙ මේ පැටලුණු නූල් බෝලයෙ එක කොනක් අනිවාර්යෙන්ම ඔහු ළඟ ඇති බව දැන් බොහෝ දුරකට ඇයට ඒත්තු ගැන්වී තිබූ නිසාවෙනි. රොසෑන්ගෙ ප්රශ්ණ කිරීම් හමුවෙ මුලින් නිරුත්තර වූ අශාන් දෙවනුව ඇයට බැණ වදින්නට විය.. එයිනුදු ගැලවීමක් නැති බව දත් ඔහු සියල්ල පාපොච්චාරණය කරන්නට විය.
” අපේ අම්මලා ඔයා ගැන මට කියන්න මාස තුනකට විතර උඩදි තමයි මට නිකිණිව හම්බුනෙ.. අපි සෙට් එක බෙලිහුල්ඔය ට්රිප් එකක් ගිය වෙලාවකදි..! කෙල්ල දුප්පත් වුණාට ලස්සනයි. එළවළු ලෑල්ලක් දාගෙන හිටියෙ. මට හිත ගියා. දැන්ම කාටවත් කියන්න එපා, පස්සෙ ගෙදරට ඇවිත් මේක පිළිවෙලට කතා කරගෙන මම එයාව කසාඳ බඳිනවා කියලා පොරොන්දු වෙලා මට ඕනි දේ මම කරගත්තා.. මට ඇත්තටම ඒ රූපය ගැන ලොකු ආසාවක් තිබුණා. ඒක ආදරයක්ද කැමැත්තක්ද මම දන්නෙ නෑ. මගෙ යාළුවොත් ඒකිට මාර ආසාවෙන් හිටියෙ. පස්සෙ පස්සෙ ඒකි මට ඇණයක් වුණා. මම නිසා ළමයෙක් හම්බෙන්න ඉන්නවා කියලා මට කෝල්ස් දෙන්න ගත්තා. මේකි කෝල්ස් දෙන්නෙ ටවුමේ කොමියුනිකේෂන් එකකින්. ඕවා එතැන ඉන්න උන්ටත් ඇහෙයිද කියලා මට භයක් ආවා. ඉතින් මම දවසක් මේකිව හම්බෙන්න ගියා. ගියේ තානායමට. මේකිට හොරෙන් පාවිච්චි කරන්න කියලා පොඩි ෆෝන් එකක් දුන්නා. නැත්නම් මේකි හැමදාම අර කොමියුනිකේෂන් එකට රිංගලා මාව විනාසම කරයි කියන භයට.. එතන උන් ඒ පාර මේකිගෙන් විස්තර අහන්න ගන්නවනෙ හැමදාම එතනට ඇවිත් අඬ අඬ කෝල්ස් ගද්දි. එදා මම ඒකිව ෂේප් කරලා මීට පස්සෙ දෙයක් වුනොත් රංගනට කතා කරන්න කියලා රංගනගෙ විස්තර දුන්නා . මම නිකිණිට කිව්වා මම ගොඩක් වැඩවල හිරවෙලා ඉන්නෙ නිකිණි , ප්රශ්ණයක් ආවොත් රංගනට කතා කරන්න, රංගන මට ඒක කියයි කියලා. මම හම්බෙන්නම ගිහින් කතා කරපු නිසාත්, ෆෝන් එකක් දීපු නිසාත් ඒකි මාව විශ්වාස කරා.. මේ වැඩ ඉවරවුණාම මම මේ ප්රශ්ණය විසඳන්නම් කියලත් ඒකිට කිව්වා. පස්සෙ මම එදා රංගනට විස්තරේ කියලා ඌට වැඩේ භාරදුන්නා මේ කරුමෙ ඉවරයක් කරලා දීපන් කියලා. මේකි පස්සෙ දිගටම රංගනට කතා කරලා තිබ්බා. මොකද මම අර නම්බර් එක බ්ලොක් කරලා දාපු නිසා මේකිට මට කතා කරන්න විදියක් තිබුණෙ නෑ..! දවසක් රංගන මට කිව්වා ආයෙ ඒකි කතා කරන එකක් නෑ , ඒ ප්රශ්ණය ඉවරයි කියලා. මම එතනින් එහාට ඔය ගැන දන්නෙ නෑ රොසෑන්, ඇත්තමයි..! ඔයාගෙ ප්රොපෝසල් එක ආවෙ ඒ කාලෙමයි.. මම බයෙ හිටියෙ මේ ගෑණි ඔයත් එක්ක ඉන්න වෙලාවකත් කෝල් කරයි කියලා.. රංගන මම හිතන්නෙ ඒකිට සල්ලි දීලා කටවස්සලා තිබුණා. මගෙන් ලක්ෂ තුනක් ඉල්ල ගත්තා. උන් සල්ලි පස්සෙ ආපු ජරා ගෑණු. සල්ලි අරන් කටවහගත්තා..! එච්චරයි. මම දන්නෙ නෑ ඔයා මේවා කොහෙන් හොයන් කතා කරනවද කියලා.. මේවා වැඩකට නැති පරණ කතා..! රංගනද ඔයාට කිව්වෙ..? හෙලෝ.. හෙලෝ…!!
රොසෑන්ට දැඩි කලකිරීමක් ඇතිවිණි. ඇය දුරකථනය විසන්ධි කළාය. තවත් දුරට නොසිතා නොබලා රොසෑන් වහාම රංගන බලවික්රමට විරුද්ධව නිකිණිගෙ අතුරුදහන් වීම සම්බන්ධව ඔහු සැකකරුවකු බවට පොලීසියට පැමිණිල්ලක් කළාය.. පොලීසිය විසින් කළ දැඩි විමර්ශණ වලින් අනතුරුව රංගනව නිකිණි ගෙ අතුරුදහන්වීම සම්බන්ධව අත්අඬංගුවට ගැණිනි.
==================================
” ඒකිව අපි දැක්කෙ ට්රිප් එකක් ගිය වෙලාවක. එළවළු ලෑල්ලක් දාාගෙන හිටියෙ. කාලයක් තාත්තා එක්ක වෙළඳාම් කරලා. පස්සෙ තාත්තා අසනීප වුණ නිසා ඒකි තනියමම එතැන වෙළඳාම් කරනවා කියලයි අපිට කිව්වෙ.. ඒකි ලස්සනයි ගොඩක්..! ඒත් හරිම නූගත්. අපි සේරම ට්රයි කරත් ඒකි වැටුනෙ අශාන්ට. අශානුත් ඒක කරේ සිරාවටම නෙමේ. ඒකි හිතුවෙ බඳින්නම කරනවා කියලා. දවසක් මට අශාන් කතා කරලා කිව්වා නිකිණි වධ දෙනවා හරියට . ඒ ප්රශ්ණය පුළුවන් නම් විසඳලා දීපන් කියලා.. මොකද අශාන්ට ඒ වෙද්දි හොඳ සල්ලිකාර පවුලකින් ප්රොපෝසල් එකක් ඇවිත් තිබුණෙ. මම නිකිණිව දවස් දෙකෙන් තුනෙන් ෂේප් කරගත්තා. ඒකි මාව විශ්වාස කරන්න ගත්තා. මම දැනගත්තා මේක මට ඕනි දේ කරගන්න හොඳ අවස්ථාවක් කියලා. ඉතින් අශාන් මට වැඩේ භාරදීලා හයවෙනි දවසේදි මම දවස් තුනක නිවාඩුවක් දාලා තනියමම තානායමට ආවා. ඇවිත් අරකිට කෝල් කරලා කිව්වා අශාන් එනවා හෙට තානායමට ඔයා කාටත් හොරෙන් කැලෑ පාරකින් තානයමට එන්න කියලා. ඒකි ඒ ගමේම නිසා ඒ පාරවල් හොඳට දන්නවා . මම තානායමේ කොල්ලෙක්ට කතා කරලා තානයමේ පිටිපස්සෙ ඔයත් පේන කැලෑවත් පේන කාමරයක් දෙන්න කියලා ඉල්ලුවා. කොල්ලා මට කාමර කීපයක්ම පෙන්වුවා.! මගෙ වැඩේට ගැළපෙනම කාමරේ මම තෝරගත්තා. ඒ කාමරය තිබුණ තට්ටුවට පිටිපස්සෙනුත් පඩි පේළියක් තිබුණ නිසා කැලෑ පාරෙන් එන නිකිණිට කාටත් හොරෙන් කාමරේට එන්න අවශ්ය පහසුකම තිබුණා…
ඒකි මම කියපු විදියටම ආවා. කාටත් නොපෙනෙන්න හොරෙන්ම රෙදි මල්ලකුත් තුරුළු කරන් ආපු නිකිණි අශාන් කාමරේ නැති බව දැකලා කලබල වුණා. මම ඒකිව ෂේප් කරගත්තා. මේකි කෑගැහුවොත් සේරම ප්ලෑන්ස් වතුරෙ. අශාන් දැන් එයි ඔයා එතකම් සද්ද නැතිව ඉන්න කියලා තියාගත්තා. ඒත් පැයක් වගෙ යනකොට මේකි කිව්වා යන්න ඕනි කියලා.
මම ඒ පාර අශාන් බඳින්න ඉන්න බවත් ඒකිව රැවැට්ටුව බවත් කියලා , මම ඒකිව බඳින්නම් කියලා කිව්වම මේකි මටත් ගහලා පැනලා යන්න හැදුවා. මම ඒකිගෙ කට මිරිකගෙනම හිටියා මේකි කෑගහන නිසා..! බැරිම තැන ලේන්සුව ඔබලා කට ගැටගැහුවා. ඒත් මේකිගෙ දැඟලිල්ල ඇහෙයි කියලා බයට මම මේකිව පුටුවක තියලා බෙඩ්ශීට් වලින් ගැටගැහුවා. ! ඒත් මේකි පුටුව එක්ක දඟලන්න ගත්තා , බිම තියෙන්නෙ ලෑලි. මේ පුටුව හෙළවිල්ලට අනිවාර්යෙන්ම සද්දෙ ඇහෙන්න පුළුවන් . මට මාරයා ආවේස වුණා. ඒ කාමරේ තිබුණ වාස් එකකින් මම ඒකිට ඔළුවට ගැහුවා.
ඒකිගෙ දැඟලිල්ල නැවතුණා. බලද්දි ඒකි මැරිලා..! මම මරන්න හිතුවෙ නෑ ඒකිව. මගෙ වැඩේ කරගෙන කීයක් හරි දීලා අතාරින්න හිතුවෙ. එතකොට වෙලාව උදේ 11 ට ඇති. මම හිතුවෙ ඒකි සිහිය නැතිව ඉන්නවා කියලා. මම.. මම.. මම ඒකිව දූෂණය කරා දෙපාරක්ම.. ඒ වෙද්දිත් ඒකි මැරිලා ඉඳලා තිබුණෙ.!
මට ඊළඟ ප්රශ්ණය ආවේ මිනිය හංඟන එක ගැන..!! මගෙ මුළු ඔළුවම කැරකෙනවා. එත්.. ඒත් දවසම මෙහෙම ඉන්න බෑ.. මොනවහරි කරන්න ඕනි.. මම කාටත් හොරෙන් තානයමේ පිටිපස්සෙන් ඇවිත් බැලුවා. මිනිය හංඟන්න කැලේ තැන් තියෙනවා. ඒත් අරගෙන යන්නෙ කොහොමද..?! මම දැක්කා තානයමේ ගබඩා කාමරයක්. උදළු රේක්ක එහෙම දාපු , එකේන් මම ගෝනි දෙකකුයි උදැල්ලකුයි අරගෙන ආවා. උදැල්ල හැංඟුවා පඩිපෙළ යට. අැවිත් ගෝනි වලින් අරකිගෙ මිනිය එතුවා. ඔතලා බාත්රූම් එකේ තිබ්බා..! පස්සෙ කාමරේ සුද්ද කරා.. ලේ ගඳ හැමතැනම.. කොච්චර සුද්ද කරත් යන්නෙ නෑ..! මම කාමරේම හේදුවා. රිසිප්ෂන් එකට කෝල් කරලා කිව්වා මට ඩිස්ටබ් කරන්න එපා, මට අසනීපයි , කෑමත් එපා කියලා. එහෙම කරලා දවසම මම කාමරේ හේදුවා. හයියෙන් බිම අතුල්ලන්නත් භයයි, කාටහරි අැහෙයිද කියලා.!
මට නිතර නිතර වමනෙ ගියා..!! කලන්තෙ වගෙ වුණා අවස්ථා දෙක තුනක්ම. රෑ වෙද්දි මම හිත හයිය කරගත්තා. කවුරුත් නිදිය ගන්න , සද්දයක්ම නැති වෙලාවක් එනකම් හිටියා. පාන්දර දෙකට විතර වගෙ අරකිගෙ මිනිය එක්ක, රෙදි බෑග් එකටම ඕෆ් කරපු ෆෝන් එකත් දාලා ,ඒවා අරන් පහළට ආවා. ඒක මම හිතුවට වඩා අමාරුයි.. ඒකිගෙ මිනිය බරයි.. තුවාලෙන් ලේ ගලන එක ඒ වෙද්දි නතර වෙලා තිබුණෙ.. පඩිපෙළෙන් බොහොම සීරුවට උස්සන් ආපු මිනියයි , ඇඳුම් මල්ලයි පහළටම ගෙනවා. ඒකටම තියලා උදැල්ලත් ගැට ගහගත්තා.. පස්සෙ නොදන්න කැලෑවක හඳ එළියෙ පිහිටෙන් ආවේෂ වෙච්ච එකෙක් වගෙ මම ඔහේ ඇවිදගෙන ගියා. ගිහින් ඔයට කිට්ටු තැනක වළක් කපලා ඒකිවයි ඇඳුම් මල්ලයි වළදාලා , උදැල්ලෙ මිටයි තලයයි ගලවලා ඔයට විසිකරලා දැම්මා. එතැන ගස්කොළං වලින් වැහුණ තැනක්.. මට ඊටපස්සෙ එතනින් එන්නවත් පණක් නැතිවුණා. මම පිස්සෙක් වගෙ ඇඬුවා. හිතාගන්න බැරිව හිටියෙ මොනවා කරනවද කියලා..?! එළි වැටෙන්න කලින් මම පිස්සෙක් වගෙ ඔහේ ඇවිදගෙන කාමරේට ආවා, මතක නෑ ඒවා කොහොම වුණාද කියලවත්.. ඇවිත් නාලා බාත්රූම් ඔක්කොම හෝදලා මගෙ මුළු පර්ෆියුම් බෝතලේම කාමරෙයි බාත්රූම් එකෙයි හැලුවා..
ඊට පහුවදාත් මම එහේම හිටියා. කොහොමත් දවස් තුනක් නිවාඩු දාලනෙ ආවේ.. අනික එදාම ගියොත් ප්රශ්ණයක් වෙන්න තියෙන ඉඩ වැඩි නිසාත් හෝදලා කාමරේ ඇතුළෙ දාපු බෙඩ්ෂීට් එක වේලගන්න ඕනි නිසාත් මම හිත හදාගෙන හිටියා. එදා තානයමට ගමේ මිනිස්සු ටිකක් ආවා.. මම වත්තෙ හිටියෙ ඒ වෙලාවෙ. මට මහා බයක් දැණුනා. වාසනාවකට මම එදා බේරුණා. එදාට පහුවදා මම තානායමෙන් ආවා. අශාන්ට කීවා අරකි කටවහන් ඉන්න නම් සල්ලි ඉල්ලනවා කියලා. එහෙම කියලා මම උගෙන් ලක්ෂ තුනක් අරගත්තා.
මම ඒත් හිතුවෙ මේක මීට කලින් අහුවෙයි කියලා. නමුත් ඒ කෙල්ලගෙ පැත්තෙ උන්ගෙ නූගත් කමටයි, දුප්පත්කමටයි ඒ කේස් එක යටගැහෙද්දි හිතුවෙම ආයෙ කවදාවත් ඒක ගොඩ එන එකක් නෑ කියලා..
රංගනගෙ කට උත්තරය අනුව වළලපු මිනිය ගොඩගෙන එහි අවශේෂයන් ඥාතීන්ට භාරකෙරිණි. රොසෑන්ට එදායින් පසුව ඒ විකාර රූපි සිහිනය කිසිදාක නොපෙණුනි. මුළු බෙලිහුල්ඔයම තිත්ත වී තිබුණු රොසෑන් දිනක් පළතුරු විකුණූ සීයාව හොයාගෙන ගියෙ නර්මදාට ඔහුව බලන්නටම වුවමනා යැයි කියූ නිසාමය..
• සීයා කීවෙ ඒ කෙල්ල පාරෙන් ගියා කියලනෙ. රංගනගෙ කට උත්තරය අනුව ඒ ළමයා ගිහින් තිබ්බෙ කැලෑ පාරකින්නෙ…!
” ඒක තමයි.. මටත් ඒක පුදුමයි. කමක් නෑ කොහොමහරි ඒ සීයා නිසානෙ මේක විසඳුනෙ.. අර ළමයගෙ ආත්මයට සැනසීමක් ලැබෙයි.. ආගමානුකූලව ඒ අවශේෂ වැළලුවාලු. පිං අනුමෝදන් කරලා..”
පළතුරු ලෑල්ල ළඟ අද සිටියෙ තරුණ යුවලකි…
• මෙතන ඉන්න සීයා..?
සීයා..?
• ඔව්. මීට මාස දෙකකට විතර උඩදි හිටියෙ..
තරුණ යුවල තුස්නිම්භූත විය..!
මෙතන අපිමයි ඉන්නෙ..!
• වෙන්න බෑ. මට ඒ සීයා ගොඩක් වැදගත් කතා කිව්වා. මම මෙතන ඉඳන්ම පේර ගෙඩි දෙකකුත් කාලා රුපියල් පන්සීයකුත් දීලා ගියෙ..!
අර යුවළ තවමත් පුදුමයෙනි.
දවසක් අපි එද්දි මෙතන පන්සියෙ කොළයක් තිබුණා නම් තමයි. එදා අපේ ගෙදරින් පණිවිඩයක් ආවා අපේ පොඩි එකා ගස් නගින්න ගිහින් වැටිලා කියලා. අපි කලබලේට දෙන්නම මෙතන මෙහමම දාලා දිව්වා. සාමාන්යයෙන් කවුරුත් හොරකම් කරන්නෙත් නෑනෙ , එද්දි පේර ගෙඩියක් යට පන්සීයක් තිබුණා නම් තමයි..
රොසෑන් නර්මදා දෙසත් නර්මදා රොසෑන් දෙසත් බැලීය…
මෙතන ඔයාලට කලින් කවුද වෙළඳාම් කරේ..? ඒ පැනය නර්මදාගෙනි..
නිකිණි කියලා ගමේ නංගි කෙනෙකුයි එයාගෙ තාත්තයි…! ඒ මාමා නම් වයසටත් වඩා වයසට ගිහින් හිටියෙ, දියවැඩියාව තිබුණනෙ.පස්සේ කාලෙක නිකිණි නංගි තනියම වෙළඳාම් කරේ , මාමාට ගොඩාක්ම අසනීප වුණ නිසා. ඒ නංගි කොල්ලෙක් එක්ක පැනලා ගියා කියලා හිතලා ලැජ්ජාවට මාමා ඔයට පැනලා මැරුණා..! පව්..! නිකිණිගෙත්…
” අහ් හරි අපි ගිහින් එන්නම්..! “
නර්මදා වහාම ක්ලාන්ත වීමට ආසන්න රොසෑන්ව මෝටර් රියට දමාගත්තෙ අර යුවල පුදුමයෙනුත් පුදුමයට පත්ව මහා ප්රශ්ණාර්ථයකින් ඔවුන් දෙස බලාසිටියදීමය..
රොසෑන් අශාන්ව දික්කසාද කළාය. ඔවුන්ගෙ වෙඩිංග් ඇල්බම් එක ලැබී සති දෙකකින් ඔවුන්ට දික්කසාද තීන්දුව ලැබිණි.
ඊට මසකට පසු රොසෑන්ට අශාන්ගෙ නිවසින් ඇමතුමක් ලැබිණි.
• දුව , අශාන් ඔයා දික්කසාද වෙච්ච දවසේ ඉඳලා හරිම දුකෙන් හිටියෙ. පිස්සෙක් වගෙ හැසිරුනෙ. බලාගත්තු අත බලාගෙනම කියවන්න ගත්තා.. හරියට බොනවා..! රට යන්නත් අදිමදි කරා. එයා ගිය සතියෙ තනියමම ඔයාලා හනිමූන් ගිය ඒ කාළකණ්නි තානායමට ගියා. එහෙදි අසනීප වෙලා දැන් හොස්පිට්ල් ඇඩ්මිට් කරලා ඉන්නෙ. තාම ලෙඩේ හොයාගන්න බැරිවුණා. ඔය හිතෙ සාංකාව ඇත්තෙ. එහෙ ගියෙත් ඒ මතකයන් එක්ක හරි ජීවත් වෙනවා කියලා හිතලා වෙන්න ඇති.. පුතා ඕවා අමතක කරලා එයාට සමාව දීලා එයාව බලන්න එන්න..
රොසෑන් ඇමතුම විසන්ධි කළාය. පසුවදා උදේම ඇයට නර්මදා කතා කළාය.
” රොසෑන් අශාන් නැතිවෙලා.. නෑ ලෙඩේ මොකක්ද කියලා හොයාගෙන නෑ..! “
පූචාගෙ පච කතා
සම්පූර්ණ මන:කල්පිතය.    

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!