මගේ වයස යන්තම් අවුරුදු දෙකහමාරකට තුනකට විතර ඇති . ගෙදර කොහේ හරි තිබිලා අහුල ගන්න සල්ලියක් අරගෙන පාරේ එහා පැත්තෙ ගෙදර තියෙන කොරනේලිස් ආතගේ කඩේට යන්න පුරුදු උනේ කොහොම ද කියලා මතක නෑ. ඒත් මං කඩේ මේසෙ තරමට වත් උස නෑ.
යන්තම් ඇගිලි තුඩු වලින් ඉස්ස්සිලා මේසේ එල්ලිලා නාරං බික් ඉල්ලනවා. කොරනේලිස් සීයගෙ කන ඇහෙන්නෙ නෑ. ඒ මදිවට මාව ලොසිංජර බෝතල් වලට උසත් නෑ
මං සල්ලික් ගෙනාවා නාරං බික් ඕනී කියලා කෑ ගහනවා.
කොරනේලිස් සීයා මොනවද ඕනේ කියලා කෑ ගහල අහනවා.
මාත් අතාරින්නෙ නෑ . බෝතලේ පිට පැත්තට සල්ලියෙන් තට්ටුවක් දාලා හරි පෙන්නනවා.
නාරං බික් එක එක පාට ඒවා තිබ්බා.
රතුපාට , රෝස පාට කහ පාට තැඹිලි පාට වගේම කොළ පාට ඒවත් තිබ්බා කියලා මතකයි.
නාරං බික් දවටලා පාන් පිටි වගේ සුදුපාට කුඩක් තිබ්බා. ඒවා අතපුරා ගෑවෙනවා. හෝදන්නම ඕනි . පිහිදා ගත්තට වැඩක් උනේ නෑ.
මේ නාරං බික් කීයද කියලා මට මතකයක් නෑ.
ඒත් මාව හොයාගෙන පිටිපස්සෙන් ආපු පුංචි මගේ කනමිරිකපු හැටි නම් තාමත් මතකයි. තනියෙන් කඩේ ආවට දඩුවම් දුන්නෙ එහෙමයි .
ඒත් නාරං බික් වල ඇත්තටම දොඩං රසයක් තිබ්බානෙ.
ඒක නම් හොදටෝම මතකයි.
**************
කොරනේලිස් සීයගෙ කඩේම තමයි බුල්ටෝ තිබ්බේ. ඉස්සර ඒවා ඇවිත් තියෙන්නෙ ගුණසිරි කියන නිශ්පාදන යනතේ . ඒ හින්දා ගුණසිරි බුල්ටෝ කියලා ත් කියනවා.
මේ බුල්ටො කන්න නම් දත් මාර විදියට හය්ය වෙන්න ඕනි කියලා මං ඒ දවස් වල හිතුවෙ. මොනතරම් වෙර වීරිය දැම්මත් දතින් හපලා නම් බුල්ටෝ එකක් කෑලි කඩන්න බෑ.
මොනවා උනත් සව් කොලයක් වගේ සුදුපාට කොළේක ඔතලා තියෙන බුල්ටෝ එකේ පැණි බේරිලා සව් කොලේ අස්සෙන් පේනවා . එතකොට නම් බුල්ටො නොකා ඉන්න බෑ.
ඒ හක්කෙන් මේ හක්කට මේ හක්කෙන් ඒ හක්කට මාරුකර කර සූප්පු කරන බුල්ටො එකක් කාල ඉවරවෙන්න සෑහෙන්න වෙලාවක් යනවා.
මොනවා උනත් ඒවා දත් වල ඇලුණෙ නෑ.
මේ ලගකදි බුල්ටෝ වගයක් කඩේක දාලා තියෙනවා දැකලා ආසාවට කන්න ගත්තා . ඒත් කටේ ඇලෙනවා. කවදාවත් ඉස්සර තිබ්බ බුල්ටො රස ආයෙ අපට ලැබෙන එකක් නැති වෙයි .
ඒත් ඒ රස තාමත් මතකයි.
නාරං බික් , බුල්ටෝ රස මතක අය තවත් ඉදීද….?
උපුටා ගැනීම: පාරමී සංකලණි