“වැස්ස අයිස්ක්රීම් සුවඳ මෙන් දැණුන දවසේ, මම ඇති දැඩි කරපු හා පැටියා මගේ ඇස් ඉදිරිපිටම ස්වර්ගයට ගියා. පරණ ගොඩනැගිල්ලේ තඹ පයිප්ප පිළිස්සූ ආහාර මෙන් සුවඳ දැනුණු දවසේ, මගේ සහෝදරයා මගේ ඇස් ඉදිරිපිටම ස්වර්ගයට ගියා. මට ඔවුන්ව බේරා ගැන්න බැරි වුණා. ලොකු කණගාටුවක් දැණුනා. මේ කිසිම කෙනෙක්ට වැඩිහිටියෙකු වීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඔවුන් වැඩිහිටියන් විය යුතුව තිබුණා. ඔවුන්ට තමන්ගේම දරුවන් සිටිය යුතුව තිබුණා. ඒ දරුවන්ට ආදරය කළ යුතුව තිබුණා. මට අවශ්ය වන්නේ ඔවුන්ට ලබා ගැනීමට නොහැකි වුණ දේ අනෙක් පුද්ගලයින්ට ලබා දීමටයි.ඒ වගේම මට රූපවාහිනියක් අර ගන්න තරම් මුදලක් උපය ගන්නත් අවශ්යයි”
තමන්ගේ ජීවිතයේ ශෝකජනකම හෝ සතුටුදායකම අවස්ථාවන්, ඒ මොහොතේ දැනුණ සුවඳින් මතක තියා ගන්න පුද්ගලයෙක් ගැන අහලා තියෙනවද ? නැවත නැවත ඒ සුවඳ අහම්බයෙන් හරි ආඝ්රාණය කරන්න ලැබුණොත්, අපේ මේ කතා නායකයට ඊට අදාළ අතීත සිදුවීම පශ්චාත් ලෝකනයක් ආකාරයෙන් පෙනෙන්න ගන්නවා.ඒ අතීත සිදුවීම් සිදුවන මොහොතේ ඔහුට දැනුණ ආඝ්රාණයන් පවා මතක් වන තරමට ඔහුගේ ස්මරණය තියුණුයි. ඔහු තමයි The good doctor ටෙලි කතා මාළාවේ ප්රධාන චරිතය වන වෛද්ය ෂෝන් මර්ෆි. මේ ලිපිය වෙන් වන්නේ එම චරිතයේ සුවිශේෂීතා වෙනුවෙන්.
ෂෝන් මර්ෆි කියන්නේ වෛද්ය විද්යාලයෙන් සාර්ථකව උපාධිය ලබාගෙන, ජ්යෙෂ්ඨ ශල්ය වෛද්යවරුන්ගේ අධීක්ෂණය යටතේ සාන්ත බොනවෙන්චර් නමැති රෝහලක සේවය කරන පුහුණු වන ශල්ය වෛද්යවරයෙක්. නමුත් සම්මුඛ පරීක්ෂණයේදී මර්ෆි අභියෝගයට ලක් වෙනවා.හේතුව මර්ෆි ඔටිසම් තත්ත්වයත් සමඟ සටන් කරන පුද්ගලයෙකු නිසා. විශේෂ පුද්ගලයෙකුගේ අනුග්රහය තිබියදීත්, ශල්ය වෛද්යවරයෙකු වීමේ අභිප්රාය ගැන රෝහල් අධ්යක්ෂක මණ්ඩලයට ඒත්තු ගන්වන්න මර්ෆිට අමුතුවෙන්ම උත්සහයක් ගන්න වෙනවා.නමුත් ඔහු දක්ෂයෙක්, ඉතින් ශල්ය වෛද්යවරයෙක් වීම පිටුපස තියෙන අවශ්යතාවය, ඒ රෝහල් අධ්යක්ෂක මණ්ඩලයට ඔහු පැහැදිලි කරන තැනින් තමයි මම මේ ලිපිය පටන් අරගෙන තියෙන්නේ.
කිසියම් ක්ෂේත්රයක නිපුණ වෘත්තියවේදීයෙක් වෙන්න අපි කාටත් අවශ්යතාවය තියෙනවා.ඊට හේතුවන කාරණා ලැයිස්තුවක්ම සකස් කරගන්න පුළුවන් වුණත්, අපිට ඔය ඔක්කොම කාරණා තැන් දෙකකට කාණ්ඩ කරන්න පුළුවන්.එකක් මුදල්, අනික ආත්ම තෘප්තිය. කෙනෙකුට ඔය දෙකෙන් එකක් අනෙකට වඩා මූලික වෙන්න පුළුවන්. තවත් කෙනෙක් ඔය දෙකම එක හා සමාන තැනක තියා ගෙන ඉන්න පුළුවන්. මර්ෆි කියන්නේ මූලිකවම තම වෘත්තීය හරහා ආත්ම තෘප්තිය හොයන කෙනෙක්. සල්ලිත් මර්ෆිට අවශ්ය වුණත්, ඔහුට සල්ලි අවශ්ය වෙන්නේ බොහොම සරල කාරණා වලට. කෙනෙකුට හිතෙන්න පුළුවන් මර්ෆිට තියෙන ඔටිසම් තත්ත්වය නිසා ඒ විදිහට හැසිරෙනවා කියලා.නමුත් ඒක 100% ක් ඇත්තද කියලා විමසන්න වෙනවා.
ඔක්කොටම කලින් අපි ඔටිසම් තත්ත්වය කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉමු.
ඔටිසම් කියන්නේ දරුවන්ගේ සමාජීය හැකියාවන් හා හැසිරීම සම්බන්ධයෙන් ගැටළු ඇති කරවන තත්ත්වයක්. ළමා වියේදී ඇතිවන, මොළයේ ස්නායු වර්ධනයේ ගැටළු තමයි මේ ඔටිසම් තත්ත්වයට හේතු වෙන්නේ. මෙම ගැටළුකාරී තත්ත්වය උපතින් පසු දරුවකුගේ පළමු වසර තුල දී පමණ ඇතිවෙනවා. දරුවාට වයස අවරුදු දෙක පමණ කාලය මෙහි රෝග විනිශ්චය සිදු කිරීමට සුදුසුම කාලය වන අතර, ඒ කාලයේ දී රෝගය හඳුනාගැනීම මඟින් ඉදිරියේ දී දරුවාට ඇති විය හැකි සංකුලතා මගහරවා ගැනීමට උදව් වෙනවා. නමුත් බොහෝ විට පෙරපාසල් අවධිය දක්වාම මෙම ගැටලුකාරී තත්ත්වය හඳුනාගැනීම ප්රමාද වීමක් දකින්නට පුළුවන්. බොහෝ දුරට මේ තත්ත්වය සම්බන්ධයෙන් දෙමව්පියන්ට තිබෙන අඩු දැනුමත්, මේ ප්රමාදයට බලපානවා.
ඔටිසම් වලට බලපානවා යැයි කිවහැකි ස්ථිර හේතුවක් මේ දක්වා සොයාගෙන නැහැ කියලා තමයි කරුණු හොයද්දී දැනගන්න ලැබුණේ. නමුත් පළමුකොටම දරු උපත් ආශ්රිත ගැටළු මෙයට බලපාන්නට පුළුවන් බව කියැවෙනවා. බොහෝවිට ගැබිණි සමයේදී මවට ඇති වෙන රෝගවලට ලබා ගන්නා බෙහෙත් දරුවාට බලපාන්නට පුළුවන්. එමෙන්ම ගැබිණි සමයේ දී මව මානසික ගැටළු පීඩා වලට ලක් වීමත් දරුවාට අනිසි ලෙස බලපානවා. මීට අමතරව, දරුවා බිහිවන අවස්ථාවේ දරුවාට ලැබෙන ඔක්සිජන් ප්රමාණය හිඟ වීම නිසා මොළයට අවශ්ය තරම් ඔක්සිජන් නොලැබී යාමෙන් ඇතිවන තත්ත්වයන් ද හේතු වෙන්න පුළුවන්.
එමෙන්ම ජානමය හේතූ නිසාත්, ඔටිසම් ඇතිවීමේ අවදානමක් තියෙනවා. මවගේ හෝ පියාගේ පරම්පරාවේ ඔටිසම් තත්ත්වයට ලක් වූ අයෙකු සිටී නම්, දරුවන්ටත් එය ඇති වන්නට සම්භාවිතාවක් තිබෙනවා. තවද ළදරු වියේදී ඇතිවන බරපතල රෝගී තත්ත්වයන්ද ඔටිසම් ඇති වීම සදහා හේතු වෙන අවස්ථා තිබෙනවා.
ඕට්සම් තත්ත්වයේ මූලික රෝග ලක්ෂණ විදිහට සමාජ සම්බන්ධතාවයන් පැත්තෙන් තිබෙන දුබලතා, සන්නිවේදන ගැටළු හා සීමිත ප්රියතාවයන් හෝ අසාමාන්ය ක්රියාකාරී බව වශයෙන් හඳුනා ගන්න පුළුවන්.ඇසට ඇස බලා කතා නොකිරීම, යහළුවන් ඇති කර නොගැනීම, තනිව සෙල්ලම් කිරීමට ඇති කැමැත්ත, සෙල්ලම් කිරීමේදී වයසට නොගැලපෙන ස්වරූපය, තම සිත තුළ ඇති දේ ප්රකාශ කිරීමේ අපහසුව, අන් අයගේ හැගීම්, ප්රකාශ, නියෝග හඳුනාගැනීමේ අපහසුව, එකම වචනය නැවත නැවත උච්චාරණය කිරීම,අරමුණකින් හෝ හේතුවකින් තොරව හැඩීම සහ සිනාසීම වැනි තත්වයන් ඔටිසම් වලින් පෙළෙන කෙනෙකුගෙන් දැක ගන්න පුළුවන්.
ෂෝන් මර්ෆිගේ තත්ත්වයේදී අපිට දකින්න ලැබෙන්නේ එයාට එච්චර උපකාර වෙන පවුලක් නෙවෙයි.මර්ෆිගේ ළමා කාලය ගැටළු වලින් ගහණ ආදරය අඩුවෙන් ලැබුණ අවධියක්.ඔහුට ආදරය කළේ,ඔහුට ගරු කළේ මර්ෆිගේ බාල සොහොයුරා පමණයි.නමුත් මර්ෆිට තමන්ගේ මේ ඔටිසම් තත්ත්වයත් එක්ක පැන නැඟුණු සමාජ සම්බන්ධතා සහ සන්නිවේදන දුර්වලතා වලින් යම්තාක් දුරකට ගොඩ එන්න පුළුවන් වෙනවා එක් කල්යාණ මිත්රයෙක් නිසා.ඒ තමයි වෛද්ය ආරොන් ග්ලාස්මන්.
ග්ලාස්මන් ෂෝන් මර්ෆිගේ සංකූලතා විතරක් නෙවෙයි..තවත් එක විශේෂ දෙයක් තේරුම් ගන්නවා.ඒ තමයි savant syndrome කියන තත්ත්වය.ඔබ The good doctor ටෙලි කතා මාළාව නරඹන්න සූදානම් වෙනවා නම් මේ ඔටිසම් තත්ත්වයත් එක්ක savant syndrome කියන්නේ මොකක්ද, ඒක ඔටිසම් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න එක පෙර සූදානමක් විදිහට හරි වටිනවා.
සවන්ට් සින්ඩ්රෝමය යනු ඔටිසම් වැනි සැලකිය යුතු මානසික ආබාධ සහිත අයෙකුගෙන් දකින්න ලැබෙන තත්ත්වයක්.හැබැයි මෙවැනි මානසික සංකූලතා එක්ක savant syndrome එක දකින්න ලැබෙන එක කලාතුරකින් සිද්ධ වෙන දෙයක්.ඒකයි වෛද්ය ෂෝන් මර්ෆි අනෙකුත් ඔටිසම් සමඟ සටන් කරන පුද්ගලයන් ගෙන් වෙනස් වෙන්නේ.
Savant syndrome එක සහිතව ඔටිසම් වලින් පෙළෙන පුද්ගලයෙක් ඔටිසම් තත්ත්වය සමඟ සිටින අනෙකුත් පුද්ගලයන් මෙන් උක්ත රෝග ලක්ෂණ පෙන්නුම් කළත්, ඔවුන් කිසියම් දෙයක් සම්බන්ධයෙන් අද්විතීය දක්ෂතාවයක් පෙන්නුම් කරනවා.මෙවැනි පුද්ගලයන් සංගීතය, චිත්ර ඇඳීම, ගණිතය, සිතියම් නිර්මාණය කිරීම සහ 3D ආකෘති නිර්මාණය ආදී සියලුම දේවල් පිළිබඳ දක්ෂතා පෙන්වනවා.මෙම රෝගය සහිත පුද්ගලයන්ට ඉලක්කම් තුනේ සංඛ්යාවල ගුණිතයන් පැවසීමට, 3017 මැයි 05 වැනි දින සතියේ කවර දිනයක්ද යන්න පැවසීම සඳහා ගත වන්නේ එක් ක්ෂණයක් පමණයි.
ඉතින් ෂෝන් මර්ෆිටත් මේ Savant syndrome එක නිසා සුවිශේෂ හැකියාවක් ලැබෙනවා.ඒ තමයි අසාමාන්ය මතක ශක්තිය. ඒ ශක්තියත් සමඟ ඔහු තව තවත් අතුරු කුසලතා දියුණු කරගන්නවා. ආරෝන් ග්ලාස්මන් නම් වෛද්යවරයා මේ තත්ත්වය තේරුම් ගන්න නිසා ෂෝන් මර්ෆිගේ මේ අසාමාන්ය මතක ශක්තිය වෛද්ය විද්යාව දෙසට ඔහු යොමු කරනවනවා. Rain man චිත්රපටයේ ඩස්ටින් හොෆ්මන් රඟ දක්වන්නේ ද මෙවැනිම සමාන චරිතයක්.
මේ තත්ත්වය මම තේරුම් ගත්තේ මේ විදිහට. අහලා තියෙනවද කතාවක් ඇස් නොපෙනෙන මිනිසුන්ගේ ශ්රවණ හැකියාව සාමාන්ය පෙනීම තිබෙන මිනිසුන්ට වඩා වැඩියි කියලා.ඔවුන්ගේ එක සංවේදනයක් අහිමි වුණ නිසා අනෙකුත් සංවේදන වැඩි වශයෙන් භාවිත කරන්න පෙළඹීමෙන් එහෙම වෙනවා.ඉතින් සාමාන්ය මිනිසෙකුගේ මානසික මට්ටමත් එක්ක බලද්දී ඔටිසම් සහිත පුද්ගලයෙක් දේවල් කිහිපයක් පිළිබඳ එකවිට අවධානය යොමු කිරීම හෝ ඉලක්කගත වීමේ හැකියාව අඩුයි.අපිට නම් පෞද්ගලික ජීවිතයේ ප්රශ්න තියෙනවා, රැකියාව කරන කොට ගැටළු මතු වෙනවා, අවට අසල්වැසියන්,යහළු හිත මිත්රාදීන් ගේ ගැටළු වලට සංවේදී වෙන්න සිද්ධ වෙනවා, ඔය අතරෙම අපි රටේ ප්රශ්න ගැනත් දැනුවත් වෙන්න උත්සහ ගන්නවා. ඒ කියන්නේ අපේ මනස යකාගේ කම්මල වගේ දාහක් දේවල් පස්සේ දුවනවා.නමුත් ඔටිසම් තත්ත්වය තියෙන කෙනෙකුට මේ හැකියාව නැහැ.ඔවුන්ට එවැනි පීඩනයක් දරා ගන්න බැහැ.ඔවුන්ට එකවිට දෙයක් පිළිබඳ අවධානය හෝ ඉලක්කගත වීමේ පරාසය සාපේක්ෂව පටුයි.ඔවුන් ඒ පටු පරාසය වෙනුවෙන් තමාගේ මුළු මානසික ශක්තියම යොදනවා.ඉතින් ඒ පටු දෙය තුළ ඔවුන් ප්රවීණයන් වෙනවා.අපේ මේ ශක්තිය සමාජීය දේවල් හා න්යායාත්මක දේවල් අතරේ සමානව බෙදී යන නිසා හැම පැත්තක් ගැනම සාමාන්ය ලෙස හෝ අඩු වැඩි වශයෙන් දක්ෂතාවය පෙන්වනවා.මේක savant syndrome එක සම්බන්ධයෙන් නිවැරදිම පැහැදිලි කිරීමක් කියලා මම කියන්නේ නැහැ.මේ මම තේරුම් ගත්ත විදිහ.
The good doctor කියන්නේ සැබැවින්ම මානුෂිකත්වය කැටි කරගත් ටෙලි කතා මාලාවක්.ජීවිතයේ යථාර්ථය රෝහලක් ඇතුළේ ඔවුන් දක්ෂ ලෙස ප්රේක්ෂකයා හමුවට ගෙන එනවා.බලාපොරොත්තු ඇතිවීම් කඩවීම්,දුප්පතා පොහොසතා එක් අවස්ථාවකදී එකම මට්ටමට පැමිණීම, මේ හැම දෙයක් අතරෙම ඔවුන්ගේ මනුස්සකම් ඉස්මතු වෙන හැටි, ඒ අතර වෛද්ය විද්යාව ගැන දැනුමකුත් ලබා දෙමින් කතාව ගලාගෙන යනවා. ඒ වගේම එරට රෝහල් පද්ධතියේ අඩු ලුහුඩුකම් වලටත් නොදැනෙන්න පහර ගහනවා.එතනදි සමහර වෙලාවට ඔවුනුයි අපියි සෞඛ්ය සේවාව පැත්තෙන් මුහුණ දෙන ප්රශ්න එක සමානයි කියලා හිතෙනවා.
පුද්ගලිකවම මට මේ කතාව ගොඩක්ම දැණුනේ ෂෝන් මර්ෆි සහ ඔහුගේ බාල සොහොයුරා අතර පවතින බැදීම නිසයි.ෂෝන් ජීවිතේ ගොඩක් පාඩම් ඉගෙන ගන්නේ මේ ඔහුගේ එකම සොහොයුරා සමග ගත කල කෙටි කාලය නිසයි.ලෝකයේ මිනිස්සු අසංවේදී විදිහට මුදල් පස්සේ හෝ තනතුරු පස්සේ දුවන අතරේ ෂෝන් මර්ෆි කියන්නේ කොන්දේසි විරහිතවම සේවයට කැපවුණ මානුෂීය ගතිගුණ වලින් පිරිපුන් වෛද්යවරයෙක්.ඔහුගේ මානසික මට්ටම නිසාම ඔහු අවංකයි.ඒ අවංකකම මුළදී ඔහුගේ වෘත්තීය සගයන්ට ඉතා ආගන්තුක වුණත්, පස්සේ පස්සේ ඔහු වටා ඔහු වෙනුවෙන් පෙනී ඉන්න,ඔහුට ආදරය කරන පිරිසක් ගොඩනැගෙනවා.ඔහුගේ සරල ජීවන රටාව නිසා ඔහුගේ සගයන් තමන්ගේ ජීවිතයේ අතහැරුණු සොඳුරු තැන් ආපහු හොයාගෙන යන්න පෙළඹෙනවා.
මම මුළදී කිව්වා මර්ෆි තමන්ගේ ජීවිතයේ වැදගත්ම අවස්ථා සිදුවන මොහොතේ ආඝ්රාණය වුණ ගන්ධයන් පවා මතක තබා ගන්නා පුද්ගලයෙක් කියලා.ඉතින් දන්නවද ෂෝන් මර්ෆිට පයින් ශාක වල සුවඳ දැනෙද්දී මතකයට නැඟෙන්නේ කුමන මොහොතද කියලා. ඕනෑවට වඩා ස්පොයිල් කරන්නේ මොකද ! ඒක නරඹලම දැන ගන්න.
ඒත් එක්කම ෂෝන් මර්ෆිගේ චරිතයට පණ පොවන ෆ්රෙඩී හයිමෝර් ගැනත් නොකියම බැහැ. මතකද අපේ ළමා කාලය හැඩ කරපු චාලි ඇන්ඩ් ද චොක්ලට් ෆැක්ටරි චිත්රපටය ? විලී වොන්කගේ චොක්ලට් ෆැක්ටරියට යන්න රත්තරන් ටිකට් එක ලැබුණු චාලි කියන නිහතමානී කොළු ගැටයා තමයි අද ෂෝන් මර්ෆිගේ චරිතයට පණ දෙන්නේ.
උපුටා ගැනීම: Milan Perera