තීන්ත පෑන
මටම කියා තීන්ත පෑනකුත් තීන්ත කූඩුවකුත් මට ලැබුණේ පහේ ශිෂ්යත්ව විභාගය සමත් වූ දාය.
ඒත් ඊට පෙරාතුව ගෙදර තිබූ පරණ තීන්ත පෑන් හදන පොඩි කම්මලක් මා සතුව තිබුණ බව මට මතකය.
ඇදවී ගිය සිහින් උල් තුඩත් , නිතරම තීන්ත උතුරා යන තීන්ත බටයත් මගේ අකුරු හැඩ කලේ නැත. පොත් පුරා තීන්ත ලප ඇතිරුවේය.
අතේ ඇගිලි වල පමණක් නොවේ අත්ලේ මෙන්ම පිටි අල්ලේද තීන්ත නොගෑවුනු දවසක් මතක නැත.
කාබන් පෑන් කොච්චර තිබුණත් මගේ හිත ගියේම තීන්ත පෑනටම විතරමය.
බැරිම තැන පරණ පෑන් එකතුකරගෙන සියල්ල සබන්දා සෝදා අලුතින් එකලස් කර අලුත්ම පන්නයේ පෑනක් සාදාගැනීම මට මහ දෙයක් නොවීය.
එහෙත් අවාසනාවට එහෙව් පෑනකින් සතියකට වඩා ලියන්න බැරිය.
කෙසේ වෙතත් සුදු ඇඳුම් වල නම් තීන්ත හලා නොගැනීමට මා බෙහෙවින් පරිස්සම් උනෙමි.
එසේ නොවූවානම් සිදුවන්නේ කනපුරා බැනුම් අසාගන්නටය.
අලුත් තීන්ත පෑණක් මට තෑගිලැබුණු දා මට දැනුණ සතුට නිමක් නැත.
කළු සහ නිල් තීන්ත පාට දෙකකින් තිබුණු අතර ඉතාම ලස්සනට තිබුණ් නිල් පැහැ අකුරුය.
චීනයේ අකුරු වලින් එය චීන නිශ්පාදිත බවත් හැමදාම තිබුණේ Hero වෙළද නාමය යටතේ තිබූ තීන්ත බෝතල් පමණක් බවද මට හොදහැටි මතකය.
කුකුල් සායම් යොදාගෙන රතුපාට සාදාගෙන අකුරු ලියූ මතකයක් ද මා සතුය.
නගරයට මේ තීන්ත පෑන් සුළභ උවත් මා උන්නු දුප්පත් ගම්මානයට එය ඉතා කලාතුරකින් ලැබෙන ධනවතුන්ගේ සුඛෝපභෝගි මෙවලමකි.
තීන්ත ඉවරවූ කුප්පි ගෙන එයට භූමිතෙල් දමා කුප්පිලාම්පු සාදාගෙන අකුරු කෙරූ දරුවන්ගේ කුලයට මාද අයිතිය.
කාලයත් සමග අලුත් පෑන්, තුඩමාරුකරණ පැන්සල් ආදී බොහෝ විසිතුරු මෙවලම් ඉගනුම් උපකරණ අතරට පැමිණියද මේ මහා අනර්ග තීන්ත පෑන මගෙන් ගිලිහුණේ අපොස සාමාන්ය පෙළ විභග කඩදාසිය බාල කඩදායක් වී තීන්ත බොදවෙන්නට ගත් පසුය.
එදාමෙන් අදටත්; ඒ අතීයේ තීන්ත පැල්ලමෙන් සුසැදි දෑතින් අකුරු ලියවෙද්දී තීන්ත පෑන මතකයේ ඉහලම තැන රැදී සිටී.
අතීතයේ දවසක ඔබත් තීන්ත පෑනක සාඩම්බර හිමිකරුවකු වන්නට ඇත.
වත්මන ඒ මතකයන් පවා සුන්දරය…
උපුටා ගැනීම: පාරමී සංකලණි