මේ මම දෙවෙනියට ලියන කතාව.කතාව කිව්වට පලවෙනි එක වගේම ඇත්තම සිද්ධියක්.මේ වගේ දෙයක් මම අද වෙනකන් අහල දැකල නෑ.කෙනෙක් මේක විස්වාස කරන එකකුත් නෑ.හැබැයි මාත් එක්ක මේ අත්දැකීමට සම්බන්ධ උන කෙනා අදටත් ජීවතුන් අතර ඉන්නව.ඕන කෙනෙක්ට එයාගෙ ෆෝන් නම්බර් එකත් දෙන්න පුලුවන් තහවුරු කරගන්න.
එතකොට මට වයස 19 විතර ඇති.මේකට සම්බන්ධ අනෙත් කෙනාට 24 ක් විතර ඇති.දැන් මට 62 යි.අපි දෙන්න අපේ වයසෙ අනිත් අයට වඩා බොහොම වෙනස්.නිකං රැඩිකල් වගේද මන්ද.අපි ඒ කාලෙ බොහොම කියවීමට ඇබ්බැහි වෙලා හිටිය.අපි කියෙව්වෙත් වෙනස් පොත පත.ජී.බී සේනානායකගෙ වරදත්ත,මාර්ටින් වික්රමසිංහගෙ භව තරණය,ආතර් සී ක්ලාක්ගෙ ගැඹුරු මුහුද,කතෘ මතක නැති ඉර හඳ සහ අපට පෙනෙන ග්රහ ලෝක වගේ පොත් සහ අතට අසුවුන සෑම පරිවර්තනයක්මත් කට පාඩම් වෙනකම් කියෙව්ව.කියෙවිව විතරක් නෙවෙයි ඒ පොත් ගැන අපි දෙන්න බොහොම ගැඹුරෙන් සාකචිඡා කලා.මේ සාකච්ඡා අපේ තරමට බොහොම ශාස්ත්රීයයි.
අපි මේ සාකච්ඡා කරන තැනක් තිබුන.තව දෙයක් මගේ අනෙත් පාර්ශව කරු මගේ මස්සිනා වෙනව.මම එයාට කීවෙ සුදු අයිය කියල.අපි මේ සාකච්ඡා පවත්වන්නෙ සුදු අයියගෙ ගේ ලඟ තිබුන දොල අයිනෙ හරහ වැටුනු දෙල් කොටයක වාඩිවෙල.මෙතන අපිට භාදා කරන්න කවුරුවත් නැහැ.පැය ගණන් අපි කතාකලා.
මේත් ඒ වගේ දවසක්.අපි කතා කරපු මාතෘකාව මට දැන් මතක නෑ.ඒත් බොහොම තර්ක විතර්ක මැද පැය ගනනක් ඉතාම දැඩිව මාතෘකාවට සම වැදිල තමයි අපි කතා කලේ.ඒ දහවල් කාලයක.එක සැරේම අපි දෙන්නම කතාව නවත්තල ටික වෙලාවක් හිටිය.ඒ වෙලාවෙ ඇත්තටම මම දැක්ක වෙන කෙනෙක් අපි දිහා බලා ඉන්න විදිහට තරමක් ඉහල ඉඳන් මම අපි දෙන්න දිහා බලා ඉන්නව.ඒ විනාඩියක් වගේ කාලයක්,මම පුදුම වෙලා ඒක කියන්න හදනකොටම සුදු අයිය කියපු දෙයින් මම තවත් පුදුම උනා.එයා කියපු වචන “මාර වැඩේනෙ ආනන්ද මම අතන උඩ ඉඳන් අපි දිහා බලා හිටියනෙ දැන්”අපිට මොන විදිහටවත් ඒ උන දේ අදටවත් තේරුම් ගන්න බෑ.දැනුත් කලාතුරකින් මට සුදු අයියව හමු උනාම සමහර වෙලාවට අපි මේ ගැන කතා කරනව.ඒත් තවමත් අපිට ඒ දේ ගැන වැටහීමක් නෑ.කාට හරි මේ ගැන අදහසක් තියේද.
උපුටා ගැනීම: Jagathsiri Ananda