“අම්මගෙ චූටි දෝනි. දවස් හතරකට පස්සෙ ගෙදර ඇවිත් දැන් ඉන්නව නිකං ලමා තැනී වගේ. නාවලා ගෙට ගන්නද කියන්නෙ.”
“කවුද ඒ මිනිහා. එක්කං ගියාට වඩා ඉක්මනට ගෙනත් දාලා ගියේ. යසයි උබට”
“බඩකුත් උස්සගෙන ආවම අපි බාරගන්න ඕනද. ජරා ගෑනි.”
“තොගේ ඔය කට පියවන්නෙ නෑනෙ එක තත්රේකට. ඒකමයි ඒ මිනිහටත් උබව එපා වෙන්න ඇත්තෙ. කට වාචාල කලු පෙරේති.
“ගෙදරටත් එකෙක් ආවා ගියා නේද කවි කියාගෙන. පොත්තෙ පාටට රැවටිලා ගියා නේද ආතක් පාතක් නැති එකෙක් එක්ක. දැන් හරිද උබට”
මෙවැනි බැනුම් පසුගිය දින දෙක පුරාවටම මා මුවින් පිට විය. කලු දෝණිඇන්දා දකින දකින වාරයක් පාසා අම්මාට ඇසෙන සේ මෙලෙස උසුලු විසුලු කිරීමෙන් මා කුරිරු සතුටක් වින්දෙමි.
*****
මැය පොට්ට පූසෙකි. ගඳ සුවඳ නොදැනෙන අතර ඇස් පෙනීමද අඩු යැයි මා අනුමාන කරමි. කෑමක් කට ලඟට දුන්නත් එය හඳුනා නොගන්නා මෙම මූසලිය දන්නා එකම දෙය නලාව හැඬවීම පමණි. ඇය හැඩීමට හේතු වන කරුණු ලැයිස්තුව පහත පරිදි වේ.
1- බඩගින්න
2- අල්ලාගැනීමට නොහැකි උස් ස්තානයක සිටින හූනෙක් දුටු විට.
3- කෑමට යමක් දෙන තුරු.
4- කෑමට යමක් දුන් විට ආහාර ගන්නා අතර තුර.
5 – කෑම අවසන් වූ විට.
6- වැඩියෙන් කෑම ලබා දුන් විට එය කා අවසන් කරගැනීමට නොහැකි වූ විට.
7- කිසිවෙකුත් පෙනෙන්නට නැති විට
8- නිදි නැති සෑම අවස්තාවකම
නලා හඬ ඉවසිය නොහැකි අවස්ථාවල මා අතට හසුවන ඕනෑම දෙයකින් පහර දීම නිසා දැන් මා දුටු විගස කලුවා පලා යයි. පසුගිය දිනක කුස්සියෙන් හොරකම් කරගත් බෝල්ලෙකු ඔවසාගෙන දිවයන විට බෝල්ලා උදුරාගෙන එය ම විසි කර පහර දෙන ලදී. නමුත් අම්මාට නම් බේරීමක් නැත. කලුලේ වෙලෙමින් ම සිටී. අම්මාටත් ඌ නැතිව බැරිය.
බැලලිය හමුවීමට කලු බලලෙකු නිතර ආ ගිය අතර බැලලිගේ පෙම පතා රෑට රෑට සීපද කියන්නට පටන්ගෙන තිබුණි.
පසුගිය සතියේ දින කිහිපයක් මා නිවසින් දුර බැහැරට යාමෙන් පසු අම්මා දිනක් හැඬූ කඳුලින් මා අමතා කියා සිටියේ පූසා දින තුනකින් දකින්නට නොලැබුණු බවකි.
” බලන්නකො අනේ මූ නෑනෙ. කවදාවත් ගෙදරින් එලියට යන්නෙ නෑනෙ. කිසිම දවසක මේ ඉඩමෙන් එලියට ගිහින් නෑ. රෑක පාරට වත් ගිහින් සතෙක් වත් අල්ලගෙන කාලද දන්නෙ නෑ … බ්ලා බ්ලා බ්ලා…” විනාඩි විස්සක පමණ ඇමතුම විසන්ධි වන විට ඇය ලීටර් පහක් පමණ කඳුලු සලන්නට ඇත.
ඉන් පසු දින මා නිවසට පැමිණි අතර එදින රාත්රීයේ මට සුපුරුදු නලා හඬ ඇසෙන්නට විය. විදුලි පන්දම රැගෙන මිදුලට පැමිනි මා දුටුවේ පොල් සම්බල් පැහැති ගෆීල්ඩ් මොඩල් පූසෙකු සමග කැලෑව අතරින් පැමිණෙන කලු දෝණියයි. බැලලිය නිවසට ඇරලවූ ගාෆීල්ඩ් නැවත අඳුරේ සැඟව යන ලදී. අම්මාගේ ආදරණීය දියනිය අම්මාගේ මූනේ දැලි ගෑවාය.
පසු දින උදෑසන පැමිණි කවි කාරයා විසින් කලු දෝණියට පහර දෙන ලදී චපල බැලලිය කල දෙයට ඇති පදමින් පහර දුන් කවි කාරයා නික්ම ගිය පසු අම්මා බැලලියට කවාපොවා නලවා සනසන ලදී. එතැන් පටන් බැලලියට ඇනුම් පද ගෙතීම ඇරඹුනි. තාත්තා පවසන ආකාරයට නම්,
” ඔයාගෙ ඔය කියවිල්ලට මම හරි ආදරෙයි” කියා බැලලිය සමග පෙමින් වෙලී සඳපානේම ඇය පන්නගෙන ගිය ගාෆීල්ඩ් දින තුනකට පසු “තොගේ ඔය කියවිල්ල නවත්ත ගනින් ගෑනියේ. කට පියාගන්නෙ නෑනෙ එක විනාඩියකට” කියා බැලලිය නැවත මහගෙදරට දමා ගොස් ඇත. බොක්කෙන්ම පෙම් කල කවියාට අන්තිමේ උරුම බොක්කටම වැදුනු බූට් එක පමණි. බලලා උවත් ගෑනු සතා චපලය.
මේවා හොඳ පාඩම් ලෙස සිහි තබාගත යුතුය. කච කච ගා කියවන කෙල්ලන්ට දපණේ වැටීමට හෝ කවි ලියා පෙම් කිරීමට පෙර මෙම උගත් පාඩම් නැවතත් සිහි කරගත යුතුය. තාත්තා මා හා එසේ පවසමින් අම්මා දෙස බැලූ බැල්මට ඇස් වලින්ම ලැබුණු ප්රතිචාරය අනුව නම් අද රෑට තාත්තාටත් මටත් ලුණු නැතිව කන්න වන බව නම් පැහැදිලිය.
උපුටා ගැනීම: සුපුන් උදාර