එදා ලස්සන රාත්රියක්…හඳත් පායලා..
සේපාලිකා මලුත් පිපෙන්න අරන්..මන් මිදුලෙ ඉද්දි,අම්ම මට කතා කලා…
“මේ මස් එකට දාන්න,ඉඟුරු අලයක් ගලවන් එන්න”
කලුවර තිබ්බට,මන් හොල්මන් වලට බය එකක් යෑ.
මන් ගැම්මෙන් ගියා .
මන් කලුවරේම අම්මගෙ ඉඟුරු පඳුර ලගට ගිහින් අතට අහු වුණ ලොකුම පැලේ ලග හෑරුවා.පැලේ තරම්ම අලෙත් ලොකු ඇති කියලා හිතාගෙන.
හෑරුවා ,හෑරුවා ,ඇති අලයක් නෑ වගෙ..ඇද්දා ඇද්දා ගැලවෙන පාටකුත් නෑ.ටෝච් එක ගෙනාවෙත් නැති නිසා ,පඳුර අස්සට අත දාන්නත් බයයි,හදිසියෙ පොලඟෙක් වත් හිටියොත් ඒම නේද?.
“අම්මේ”
මන් කෑගහුව.ඉඟුරු ගලවන්න ආපු ගැම්ම කොහේද නෑ දැන්..
“මොකද? ..ඕකටත් මං එන්න ඕනද..ඔව් ඉතින් බැහැනෙ මුකුත් කරගන්න.කට නං තියෙනව..”
සුපුරුදු ගීතයකුත් ගායනා කරගෙනම අම්ම ටෝච් එකකුත් අරන් ආව.
“මේ පැල හයියයි..හාරන්න බෑනෙ .යටටම අල බැහැලද කොහෙද” මං නිදහසට හේතුවකුත් කිව්ව.
“මෙන්න මේ ටෝච් එක අල්ලගන්න”
ඉඟුරු පඳුරට ටෝච් එකත් ගහල බලපු අම්මා,බරට සුසුමකුත් හෙලලා කිව්වම මට දුකත් හිතුන…
.(..”ඊලග පාර මසක් මාලුවක් උයනකොට ,මං ම ස්වේච්ඡාවෙන්ම ගිහින් ඉඟුරු ගලවල දෙනවා, මාලු වගේ නම් කොරපොතු ටිකත් රැහැලා දෙනව.ගොරකා ටිකත් ගලේ අඹරලා,සුදුලූනු ටිකත් තලලා දෙන්න පුලුවන් වෙයි.අම්ම කියනකම් ඉන්නෑ “..මං එහෙම හිතාගත්තා එවෙලෙ.)
අම්මා,මන් හාරපු පැලය නැතුව වෙන එකක් ගලවලා ගත්තා අලය එක්ක.
“අම්මටත් ගලවන්න බෑ නේද..අර පැලේ හයියයි නේද..ඒක තමයි මටත් ගලවන්න බැරි වුනෙ..”
මං කිව්වා.
අම්ම රවල බලන එක නම් මට ටෝච් එක ගහන්නෙ නැතුව උනත් පෙණුනා එවෙලේ .
“කවදා හරිනැන්දම්මගෙන් මන් තමයි බැනුම් අහන්නෙ”
අම්මා සුපුරුදු දෙවෙනි ගීතයේ මුල් පදයක් ගායනා කරන්කොට,මන් නහයෙන් අඬන්න ගත්තා
“මොකක්ද අම්මෙ..ඉඟුරු පැලේ ගලවගන්න බැරි උනාමත් නැන්දම්ම කෙනෙක් ගැන කියවන්නෙ ..
ඔයාට උනත් බැරි උණානෙ ඒක ගලවගන්න..”මන් කිව්ව.
මෙ ඉඟුරු පැලයක් නිසා මගෙ තත්වෙ එහෙම්ම නැති වෙලා ගිහින්…
“ඔව් ඔව්,මන් ගලවන්න ගියේ නෑ මට තාම ඇහැ කන පේන නිසා .ඇහ කන පේන කෙනෙක් නම් ඉඟුරු අල ගලවන්න දාගෙන පුවක් පැලයක් හාරන්නෙ නෑනෙ….”
අම්මා රවාගෙනම ගෙට ගියා..
***
කතාව ඉවරයි..ඇයි බලන් ඉන්නෙ ඔයාල ?
ඔව් ඉතින් ඒක ලස්සන රාත්රියක්.ලැජ්ජාවට නෙවෙයි ගෙට නොගියෙ..සේපාලිකා මල් අතු අස්සෙන් හඳ දිහා තව ටිකක් බලන්න ඕනි නිසා…
****
උපුටා ගැනීම: Manik Singhawansha