අපි දකින හැමදේම දෘෂ්ටි මායාවක්ද..?
“Eisenheim the Illusionist” කියන කෙටිකතාව ආශ්රයෙන් නිර්මාණය වුන The Illusionist චිත්රපටියේ එක තැනක කියවෙනවා “ඔබලා මේ දකින හැමදේම මායාවක්” කියල.මේ ප්රකාශය තමයි ඒ චිත්රපටියේ සම්පූර්ණ සිද්ධි දාමයටම පදනම සපයන වැදගත්ම කොටස.මොකද ප්රේක්ෂකයා දකින කතාවට වඩා වෙනස්ම සිදුවීමක් තමයි ඇත්තටම ඒ චිත්රපටියෙ සිද්ධවෙන්නේ.
ඒ චිත්රපටියෙ වගේම අපි එදිනෙදා අහන දකින ගොඩක් දේවලුත් ඇත්තටම අපි දකින දේට වඩා වෙනස්ම අයුරකින් සිදුවෙනවා වෙන්න බැරිද.අපි දකින්නේ දෘෂ්ටි මායාවක් වගේ දෙයක් වෙන්න බැරිද.එක තැනකදී රතුපාටට පෙනෙන රුධිරය තව තැනකදී වෙනත් පාටකින් පේන්නේ ඒ නිසාද.මේ වියමන ඒ ගැන.
අපිට රුධිරය රතු පැහැයෙන් පෙනෙන්නේ රුධිරය රතු පාට නිසා නෙමෙයි.ඒ රුධිරය කියන මිශ්රණයේ සෛලීය කොටසින් වැඩිපුරම තියෙන්නේ රතුරුධිරාණු වීම නිසා.සමස්ථ රුධිරයෙන් බහුතරයක්(55%) රුධිර ප්ලාස්මාව වුනත් එහි දොඩම් යුශ වැනි ලා කහපැහැති වර්ණය අභිබවා රතු රුධිරාණුවල රතු පැහැය නැගී සිටිනවා.රතු රුධිරාණුවට රතු පැහැය එන්නේ ඒ සෛලවල අඩංගුවෙන හිමෝග්ලොබීන් නම් වර්ණකය නිසා.අපි හුස්ම ගන්න වාතයේ තියෙන ඔක්සිජන්(O2) අපේ පෙනහළු වල ඉඳල අනෙකුත් සෛල කරා රැගෙන යාමත්, පරිවෘත්තිය ක්රියාවලදී ඒ සෛල මගින් නිපඳවෙන කාබන්ඩයොක්සයිඩ්(CO2) නැවත පෙනහළු දක්වා රැගෙන ඒමත් තමයි මේ හිමොග්ලොබීන් වල ප්රධානම රාජකාරිය.
ඉතින් මේ රතුපාට ලේ අපිට රතු පාටින් පෙනුනට මුහුදේ ගැඹුරට කිමිදීමෙදී නම් රතු පාටට පේන්නේ නැහැ.උදාහරණයක් විදියට අඩි තිහක් තරම් ගැඹුරට ගියාම අපේ ලේ පෙනෙන්නේ මේ පහල චායාරූපයේ වගේ කොළ පාටට.ඒකට හේතුව තමයි අඩි තිහක් දක්වා ගැබුරකට රතු ආලෝක කිරණ ගමන් නොකිරීම.
එතකොට මොනවද මේ රතු ආලෝක කිරණ.?අපිට මේ පේන ආලෝකය,උදාහරණයක් විදියට හිරු එළිය අවර්ණයි වගේ පෙනුනට ඒ අවර්ණ ආලෝකය හැදිල තියෙන්නේ එකිනෙකට වෙනස් වර්ණ හතක ආලෝකය මිශ්ර වෙලා.මේ බව මුලින්ම හොයාගන්නේ ගුරුත්වාකර්ෂණය හඳුන්වාදීපු ශ්රීමත් අයිසැක් නිවුටන්මයි.ප්රිස්මයක් ඇතුලට යන හිරු එළිය එකිනෙකට වෙනස් වර්ණ හතක් විදියට ප්රිස්මයෙන් පිටවෙනව දවසක් නිව්ටන් දකිනවා.අන්න එහෙම තමා ආලෝක වර්ණාවලිය හොයාගැනුනේ.එතනදී ඇත්තටම වුනේ අර ආලෝක මිශ්රණයේ තිබුනු වර්ණ හතක ආලෝකය ඒවායේ එකිනෙක වෙනස් වර්තනාංකය අනුව ප්රිස්මය තුලදී වර්තනයට ලක්වීම.සරලවම කිව්වොත් හැරීමකට ලක්වීම.දේදුන්න හැදෙන්නෙත් අන්න ඒ ක්රමයට.වායුගෝලයේ තියෙන ජලබිඳු හරහා සූර්යාලෝක කිරණ ගමන් කරද්දී ශඩ්වර්ණය ඒවායේ වර්තනාංක අනුව විවිධ කෝණවලින් නැමීමකට ලක්වෙලා ලස්සන පාට හතක් විදියට පේන්න පටන් ගන්නවා.
ඉතින් මේ දේදුන්නෙ පාට වගේ වෙනත් ලස්සන ලස්සන වස්තූන් අපිට පේන්නේ කොහොමද.? එතනදී වෙන්නේ යම් වස්තුවක් මතට වැටෙන ආලෝක කිරණ සමහරක් පරාවර්තනය වෙලා ඇවිත් අපේ ඇසට ඇතුළු වෙන එක.ඇසේ ආලෝකයට සංවේදී කොටස වන දෘෂ්ටි විතානයේ ආලෝක සංවේදී සෛලවලින් ඒ එක් එක් ආලෝක කිරණයන් හඳුන ගෙන දෘෂ්ටික ස්නායුව තුල ඊට අදාල විද්යුත් රසායනික ආවේගයක් ඇති කරනවා.ඒ ආවේගය එතනින් යන්නේ මොළයට.මොළයේ දෘෂ්ටිය ප්රදේශ වලදී ඉතාම සූක්ෂමව ඒවා විශ්ලේෂණය කරලා තමයි අපි දකින්නේ මොකක්ද,ඒකෙ හැඩය මොකක්ද,පාට මොකක්ද කියල අපි කලින් හඳුනාගෙන තිබූ ආකෘතියකට අනුගත කරල අපිට දැනෙන්න සලස්වන්නේ.ඕනම වස්තුවක් මතට වැටෙන ෂඩ් වර්ණ ධවල ආලෝකයෙන් යම් කොටසක් ඒ අදාල වස්තුව අවශෝෂණය කරගනවා.උදාහරණයක් විදියට කහ පාට මලක් මතට මේ ශඩ්වර්ණය ආලෝකය වැටුනාම ඒ මල කහපාට හැර අනිල් සියළුම වර්ණයන් අවශෝෂණය කරගෙන කහපාට විතරක් ආපහු පරාවර්තනය කරනවා.ඒ කහ පාට ආලෝක කිරණ තමා අපේ ඇසයි මොළයයි එකතුවෙලා විශ්ලේෂණය කරන්නේ.විශ්වයේ තියෙන කළු කුහර පියවි ඇහැට පේන්නෙ නැත්තෙත් ඔය හේතුව නිසාමයි.මොකද කළු කුහර ආලෝකය පිටකරනවා වෙනුවට ඒවායේ අධික ගුරුත්වාකර්ෂණ බලයෙන් තමන් අසලින් යන ආලෝක කිරණ පවා ඇදල ගන්නවා තමන් තුලට.ඒ නිසා අපිට මේ කළු කුහර අපේ ඇස් වලින් දකින්න බැහැ.නමුත් X කිරණ වගේ විකිරණ මගින් මේ කළු කුහර හඳුනගන්න පුළුවන්.
ඉතින් මේ විදියට ආලෝකය අවශෝෂණය කරගැනීම මුහුදු ජලය වුනත් වෙනසක් නැතුව සිද්ධකරනවා.ඇත්තටම එහිදී අවශෝෂණය කරගන්නේ ආලෝක තරංගවල තියෙන ශක්තිය.ඒ අවශෝෂණය කරගැනීම ආලෝක තරංගයේ තරංග ආයාමය අනුව වෙනස් වෙනස් වෙනවා.මොකද තරංග ආයාමය එහු ශක්තියට ප්රතිලෝමව සමානුපාතික වන නිසා.ඒ අනුව වැඩිම තරංග ආයාමයක් තියෙන,ඒ කියන්නේ අඩුම ශක්තියක් තියෙන ආලෝක කිරණ මුලින්ම අවශෝෂණය කරගැනීම සිද්ධකරනවා.ආයාමය අඩු ශක්තිය වැඩි තරංග අවශෝෂණය කරගන්න ගතවෙන කාලය ශක්තිය අඩු ඒවට ගතවෙන කාලයට වඩා වැඩියි.මොකද ශක්තිය වැඩි නිසා.ඉතින් වැඩි කාලයක් ගතවෙනව කියන්නේ ඒ ආලෝක කිරණ වලට මුහුදේ වැඩි ගැඹුරකට කිමිදෙන්න පුළුවන්.ඉතින් දෘෂ්ය ආලෝක වර්ණාවලියේ ශක්තිය අඩුම කෙනා වන රතු ආලෝකය ඉක්මනින්ම අවශෝෂණය වෙද්දී ඊඩ වඩා වැඩි ශක්තියක් තියෙන කොළ ආලෝකය වඩාත් ගැඹුරට ඇදී යනවා.සාමාන්යයෙන් අඩි තිහක් පමණ ගියාම රතු ආලෝකය දකින්න ලැබෙන්නේ නැහැ.ඉතින් ඒ වගේ ගැඹුරකදී අපේ අතේ තුවාලයක් වෙලා ලේ ගලන්න ගත්තොත් අපිට ඒ ලේ පේන්නේ සුපුරුදු පරිදි රතු පාටට නෙමේ මේ චායාරූපයේ වගේ කොළ පාටට.
උපුටා ගැනීම: Sankalpa Gunathilaka – සංකල්ප ගුණතිලක