මීට වසර ගනනකට පෙර නිම්මිගේ නෑ කමින් මාමා කෙනෙකු වූ හිටපු ජනාධිපති ලේකම් බාලපටබැඳි මහතා ඕස්ට්‍රේලියාවෙ ශ්‍රී ලංකා මහ කොමසාරිස් හැටියට පත් විය. කැන්බරාවල ඔහුට හිටි එකම නෑදැයා නිම්මි නිසාත්, ඔහු මගේ පාසලේම ආදි ශිෂ්‍යයෙකු වීම නිසාත් අපව ඉතා කිට්ටුවෙන් ආශ්‍රය කලේ ය. ඔහුට පාලු දැනුනු විට අපට තානාපති නිවසට රෑ කෑමට නිතරම ආරාධනා කලේ කෑමට පමනක් නොව ඔහුගේ බීමේ සගයාත් මා වූ නිසා.
ඔහු වරක් මට කතා කොට
‘පුතා, මේ මංත්‍රීවරියක් ඇවිල්ලා ඉන්නවා ලංකාවෙන්. මම හරිම බිසී අද. පුතාට පුලුවන්ද එයාට කැන්බරා පෙන්නන්න’ ඇසුවේ මම බෑ නොකියන බව දැනගෙන.
ඒ දවස්වල නිම්මි කැන්බරා වලින් කිලෝමීටරය 200 පමන දුරින් වූ බීගා කියන නගරයේ රෝහලක වැඩ කලේ. දුවත් සති අන්තයේ එයාගෙ ක්‍රීඩා වලට වෙලාව ගත කරන නිසා මට විශේෂ දෙයක් කිරීමට නොමැති නිසා
‘හා අංකල්, මම එක්ක යන්නම්’ කිව්වෙ කැමැත්තෙන්මයි.
මම අංකල්ලගෙ ගෙදරට ගොස් ඒ මන්ත්‍රීතුමිය හඳුනාගත් විට මගේ සතුට තවත් කීප ගුනයකින් වැඩි විය.
ඇය පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක් නොව දකුනු පලාත්සභාවේ මන්ත්‍රීවරියකි. දැන් ඔබ සිතනවා ඇති ඇය දකුනු පලාතේ නිසා මමත් දකුනේ නිසා, සතුටු වෙන්න ඇති කියා.
ඔබ එසේ සිතුවා නම් ඔබ වැරදියි. මේ මන්ත්‍රීවරිය වඩා ප්‍රසිද්ධ වූයේ නිලියක් හැටියටයි. ඇය ඇයව මට හඳුන්වා දුන්නේ අනර්කලී යනුවෙන්. ඒ වන විට මම ඇය ගැන අසා තිබුනත් ඇයගේ එකම චිත්රපටයක්වත් ටෙලිනාට්‍යයක්වත් දැක තිබුනේ නැහැ. මම සතුටු උනේ මම හිතාගෙන ගියේ වයසක මන්ත්‍රීවරියක් කැන්බරා නුවර පෙන්වන්න සිතා ගෙන. නමුත් දැන් තරුන ලස්සන කෙනෙක් තමයි මට ගෙන යන්න තියෙන්නෙ කියලා. ඒ මදිවට එයා හරිම මිත්රශීලියි.
‘බොහොම සන්තෝසයි හඳුන ගන්න ලැබීම’ ඇය මගේ අත තරයේ මිරිකමින් කීවේ ලස්සන හිනාවකින් සංග්‍රහ කරමිනි. තරයේ අත මිරිකන්නේ සුහද කම උනුසුම්කම වැඩි වූ විටත්, අත යන්තමින් අල්ලා ආචාර කරන්නේ එය නොකර බැරි වූ අවස්ථාවලදී යනු සම්මතයකි. ඒ නිසා ඇය උනුසුම් අන්දමින් මට ආචාර කල බවක් මට දැනුනි.
‘මටත් ඔබ හමුවීම සතුටක්’ මමත් කිව්වෙමි.
‘තානාපතිතුමා ඔයාගේ හොඳ කියමින් හිටියේ’
අංකල් මා දෙස බලා සිනා සුනේ එය අනුමත කරනවා වගේ.
‘අංකල්, අපි යන්නම් එහෙනම්’
‘ආහ් හොඳයි. අපි හවස ඩිනර් වලට හමු වෙමු’
අංකල්ගෙන් සමු අරගෙන කාර් එකට අපි ආවිට මම දොර ඇර එයාට වාඩි වෙන්නට සැලැස්සූවෙමි.
‘ෂාහ්, නියම මහත්මයෙක් නෙ’ කියා යලිත් සිනා සුනේ මාව සෑහෙන කල් දන්නා යාලුවෙකු පරිද්දෙන්.
අනර්කලී මගෙ BMW 335ci කාර් එකේ වාඩි වූ ගමන් එහි සීට් එක තමන්ට පහසු විදියට සකසා ගත්තෙ කාලයක් තිස්සෙ මගේ කාර් එකේ ගමන් කර ඇති අයෙක් වගේ.
ඉන් පසු සන් රූෆ් එක අරින ගමන්,
‘මම මේක ඇරියට කමක් නැහැ නේ’ කියා ඇසී ය.
මම පිලිතුරු දෙන්න හිතන විට, එය සම්පූර්නයෙන්ම ඇරී හමාර ය. මම කොහොමත් එය අරින නිසා සීතල නැති දවසට, එය මට ප්‍රශ්නයක් නොවුනි.
‘කොහේ ද අපි යන්නෙ’ එයා කතාව අරඹමින්.
‘කැන්බරාවලට කවුරුහරි ආවම සාමාන්‍යයෙන් යන තැන්වලට යමු කෝ’
‘මොනවද ඒ සාමාන්‍ය තැන්’
‘ඔයාට ලඟදීම දැනගන්න ලැබේවි’
‘ඔයා හරි ෆනී. බලමු බලමු’
මහ කොමසාරිස් නිල නිවාසය පිහිටා තිබුනේ අනික් තානාපති කාර්යාල සියල්ල ඇති ප්‍රදේශයේ. මම පාර දෙපැත්තේ ඇති අනික් රටවල තානාපති කාර්යාල පෙන්වමින්, කැන්බරාවල අංක එකේ සංචාරක ආකර්ෂනය වන පාර්ලිමේන්තුවට ප්‍රථමයෙන් ගියෙමු.
‘මේ මොකක් ද’
‘ඕස්ට්‍රෙලියාවෙ ෆෙඩරල් පාර්ලිමේන්තුව’
‘ඇත්තට. කෝ සෙකියුරිටි? අපි කෙලින්ම ඒකෙ යට කාර් පාක් එකට ආවේ. කවුරුවත් කාර් එක චෙක් කලේ නැහැ නේ’
‘මෙහේ කවුරුත් මාව දන්නවා’
‘ඇයි ඔයා ඒ තරම් ප්‍රසිද්ධ කෙනෙක්ද මෙහේ’
‘නැහැ. ලංකාවෙන් ආපු අය මෙතෙන්ට එක්කගෙනම ඇවිල්ලා’
එයා සුපුරුදු විදියට ඉකි ගගහා සිනා සුනේ ය.
‘නැහැ මෙහේ එහෙම තමයි, පොලිටිශන්ස්ලා දෙවියො නෙවෙයි සේවයකයො. ඒක නේ පාර්ලිමේන්තුවෙ වහල උඩ තනකොල වවලා ඒකේ උඩ මිනිස්සු පික්නික් උනත් දාන්නෙ’
අනර්කලී ආසාවෙන් මා කියූ විස්තර අසමින් යන ගමන අතුරු ප්‍රශ්නද ඇසුවා ය. ඉන් පසු පාර්ලිමේන්තුවේ රූෆ් ටොප් එකට ගිය විට, ඈත පේන පරන පාර්ලිමේන්තුවත් යුද්ධ ස්මාරකයත්, කලු කන්දේ ටෙල්ස්ට්‍රා කුලුනත්, බර්ලි ගෘෆින් වැවත් එහි ඇති කැප්ටන් කුක් වතුර ජෙට් එකත් දැක
‘හරි ලස්සනයි නේ. නියමෙට ප්ලෑන් කරලා හදපු සිටි එකක් නේ’
‘ඔව් මේක හරියට ප්ලෑන් කරල හදපු එකක් තමයි’
‘මම ආසයි කැන්බරා. හැබැයි සිඩ්නි මෙල්බර්න් වගේ හැපනිං ප්ලේස් එකක් නෙවෙයි නේ නේ ද?’
‘ඔව්, ඒත් පවුල් ජීවිතයකට හොඳම නගරය’
‘ඒක නෙවෙයි. ඊ ලඟට කොහේ ද යන්නෙ?’
‘අපි යුද්ධ ස්මාරකය බලන්න යමු’
එයා මා දෙස බලා හිනා වෙලා
‘අයියො මාව බෝරිං තැන්වලට නේ එක්කගෙන යන්න හදන්නේ?’
‘ආ ඇත්තටම. කොහෙද ඔයාට යන්න ඕන’
‘මෙන්ස් ස්ට්‍රිපර්ස් ක්ලබ් නැද්ද මෙහේ?’
මම ටිකක් ගැස්සුන නමුත් එය නොපෙන්වා
‘මම ඒක නම් දන්නෙ නැහැ මොකද මම ගේ (සමලිංගික) නෙවෙයි නේ. ගෑනු ස්ට්‍රිපර්ස් ක්ලබ් නම් ඔන්න මම දන්නවා’ කියා සිනා සුනු විට
ඇයට සිනාව නවත්වා ගන්නට බැරි විය.
‘ඔයා මාර ෆන්. එන්න එන්නම මට ඔයාට තියෙන කැමැත්ත වැඩි වෙනවා’
‘මටත් එහෙමයි’ කිව්වෙ විහිලුවට වගේ.
ඉන් පසු ටිකක් එයා කල්පනා කරමින් සිට,
‘ප්ලීස්, මාව හොටෙල් එකට එක්ක ගෙන යන්න. පොඩි බඩුවක් අමතක උනා. ඊට පස්සෙ අනික් තැන් වලට යමු’
‘ඇයි ඔයා එම්බසි රෙසිඩන්ස්වල නෙවෙයිද ඉන්නේ’
‘නැහැ අනේ. මම ඉන්නේ හයාට් එකේ’
‘ඕකේ, ඒක මේක (පාර්ලිමේන්තුව) ඉස්සරහම නේ තියෙන්නෙ. යමු. ගිහිල්ලා කෝපි එකකුත් බොමු. එතන පේස්ට්‍රීස් මරු’
අපි පාර්ලිමේන්තු පාරේ පහලට විත්, චීන එම්බසිය පසු කොට හයාට් හෝටලයට ආවෙමු. මම ලොබි එකේ නැවතී කෝපි ඕඩර් කරන්න ලෑස්ති උනත්, එයාගේ කාමරයට එන ලෙස බල කල නිසා මම එයා සමග කාමරයට ගියෙමි.
එයා කේතලය රත් වෙන්න දමා, කෝපි තේ කිරි ආදිය මට පෙන්වා
‘Make yourself comfortable (ඔයා පහසුවෙලා ඉන්න). මම බාත් රූම් එකට ගිහිල්ලා එන තුරු’ කියා නානකාමරයේ දොර වසා ගත්තා ය. ඊට පසු ෂවර් එකේ සද්දය මට ඇසුනු විට, මට ඔලුවට සතුටට බර චකිතයක් ආවේ ‘make yourself comfortable’ කියා මෙහේ කෙල්ලක් නාන්නට යන්නේ කුමකටදැයි දන්නා බැවිනි.
මම මොකක්ද දැන් කරන්නේ? කාමරයෙන් පැනල යන්න ද? ඒත් ඉන්න කැමැත්තකුත් හිතේ තියෙනව වගෙත්. මම දෙලොවක් අතර. මෙහෙම හිත හිතා ඉන්නවිට අනර්කලී සුදු නයිට් ගවුමක් ඇඳගෙන කොන්ඩය කඩා දා ගෙන නාන කාමරයෙන් එලියට විත් මා වාඩි වී සිටි සෝපාවේ ඇන්ද උඩ වාඩි වී, ඔලුව මගේ උරහිසේ තබා මගේ අතින් ඇල්ලුවා ය.
මම ගැස්සී ඇහැරුනෙමි.
පසුවදනක්:
මගේ සත්‍ය කතාවක් ඇසුරෙන් ලියූ ප්‍රබන්ධය කියවූ ඔබ සැමට ස්තුතියි.
මේ කතාව මෙහේ පාටි වලදි කියන කොට,
මුලදී කවුරුත්
‘බොරු කියන්න එපා’ ආදී වශයෙන් කියනවා.
‘ආහ් එහෙනම් නොකියා ඉන්නම්’ කියලා මම කිව්වම,
එතකොට වැඩි දෙනා
‘නැහැ නැහැ, ප්ලීස් කියන්න’ කියලා පොරේ.
අන්තිම හරියට එන කොට කවුරුත් බලන්නෙ මගේ දිහා නෙවෙයි, නිම්මි දිහා. එයා කූල් එකේ හිනා වෙවී ඉන්න එකට අනික් අයට පුදුමයි.
‘කාර් එකේ මම වාඩිවෙන සීට් එකේ සෙටිංස් වෙනස් වෙලා තිබුනු නිසා මම දැන ගත්තා කවුරු හරි ගිය බව. ගැහැනු පර්ෆියුම් ලේසියෙන් යන්නෙත් නැහැ නේ’ කියන්නෙත් හිනා වෙවී.
උපුටා ගැනීම: Devapriya Siriwardena