මේ ලෝකයේ සිදුවී ඇති ඇතැම් දේවල් ගැන සොයා බලද්දි ඒවා ඇත්තම කතාද එහෙමත් නැතිනම් මනඃකල්පිත ප්රබන්ධද කියා සිතා ගැනීමටත් අපහසුයි. එම සිදුවීම්වල ඇති අද්භූතජනක ස්වභාවය නිසාම නවීන විද්යාවට වත් මේ කතාවල මුලක් හෝ අගක් හසුවන්නේ නැ.
ලොව පුරා සිදුවන මෙවැනි අද්භූත සිදුවීම් අතර ප්රධාන තැනක් ගන්නේ උන් හිටි ගමන් අතුරුදහන් වන්නන් පිළිබඳ කතාන්දරයි. වර්තමානයේදී මිනිස් ජීවිත පිළිබඳව ඇති වටිනාකම ගනන් නොගැනීම නිසා මිනිසෙක් අතුරුදහන් වීම එතරම් ලොකු සිදුවීමක් නොවූවත් අතීතයේදී එය ටිකක් දරුනු සිදුවීමක්. එකට කා බී සිටී අසල්වාසීන් හිටි හැටියේ අතුරුදහන් වීම එකල මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් වුනා. උතුරු ඇමරිකාව ආශ්රිතව මෙවැනි අතුරුදහන් වූවන් පිළිබඳ කතාන්දර රැසක් පවතින අතර ඒ බොහෝ සිදුවීම් නොවිසඳුණු අබිරහස් ගොන්නට වැටීලා තියෙනවා.
කැනඩාවේ ඈත පිටිසර නුනවට් ජනපදයෙහි ඇන්ගිකුනි විල ආසන්නයේ තිබූ එක් කුඩා ගම්මානයක් සම්පූර්ණයෙන්ම අතුරුදහන් වී යාම මෙසේ වූ අබිරහස් ගොන්නට වැටුණු තවත් එක් සිදුවීමක්. 20 වන සියවසේ මුල් භාගයේදී සිදුවූ මෙම අභාග්යසම්පන්න සිදුවීමෙන් ඒ පාළු සීතල ධීවර ගම්මානයේ විසූ ගැහැනු, පිරිමි, ළමයි පමණක් නොව සතා සීපාවා පවා ආගිය අතක් ගැන හෝඩුවාවක් නැතිව ගියා. ඉනියුට් ධීවරයන් විසූ මේ ගම මනුෂ්ය වාසයක්ව පවතිද්දී නොයෙක් වයස් මට්ටම්වල සිටි 30 ක පමණ මිනිස් ප්රජාවක් එහි ජීවත් වෙලා තියෙනවා.
ආක්ටික් කලාපයේ හිම මිදෙන මිටියාවතක සිදුවුණු මේ බිහිසුණු කතාවට මුල පිරෙන්නේ 1930 නොවැම්බර් අග භාගයේ දිනකයි. ජෝ ලබේල්, ලොම් සඳහා සතුන් දඩයම් කරන දඩයම් කාරයෙක් වූ අතර ඔහු මෙම ගමට එපිටින් තනිව ජීවත් වී ඇති අතර අධික හිම නිසා දඩයමේ යාමට
නොහැකිව ආහාරය සදහා යමක් ඉල්ලා ගැනීමට තම අසල්වැසි ධීවර ගම්මානයට ගොස් ඇත.
සාමාන්යයෙන් ඇස්කිමෝවරුන්ටම ආවේණික කූඩාරම් බඳු පැල්පත් පිරුණු ඒ ගම ඉතාමත් කාර්යබහුල වුවත් එදා ඔහුට කිසිවෙක් දැකගැනීමට ලැබී නැත. මුළු ගමම, ගෙවල් දොරවල්, ධීවර හා දඩයම් අවි ඇතුළු ආම්පන්න, ඇඳුම් පැළඳුම්, ලිප් මත අර්ධව පිසුණු ආහාර ඇතුළු නිවෙස් තුළත් පිටතත් තිබුණු සබ්බ සකලමනාවම ඒ ආකාරයෙන්ම නිරුපද්රිතව තිබී ඇත. ඒත් ගමේ සිටි මිනිස්සු, සත්තු කිසිවෙක් පෙනෙන්නට නැත.
ලබේල් කුඩා පෙට්ටි බඳු වූ ඒ අඳුරු පැල්පතින් පැල්පතට යමින් කිසියම් හෝ ජීවියෙකු සිටීදැයි සෙවීය. ඒ පැල්පත් තුළ තිබූ නටබුන් සියල්ලෙන්ම පැහැදිලි වූයේ ආසන්න කාලයේදී එම ජනාවාසය ඉතාමත්ම සජීවීව තිබී ඇති බවයි. තැනෙක ලිප උඩ ඉදෙන්නට තැබූ දඩ මස් හැළියක් එහිම කර වී ගොසිනි. බොහෝ නිවෙස් තුළ පිසූ ආහාර බඳුන්වල කෑම ඉතිරිව තිබුණි. තවත් නිවෙසක බංකුවක් මත කුඩා දරුවකුගේ මසා නිම නොකළ සීත කබායක් විය. සීල් මත්ස්ය සම යොදාගනිමින් සකස් කරමින් තිබූ එම කබාය මැසීමට ගත් සත්ව ඇට ඉඳිකටුව ඇඳුමෙහිම රැඳවී තිබුණි.
සෑම නිවෙසකම ආහාර ගබඩා පිරී තිබුණු අතර අවි ගබඩාද කිසිදු කෙනෙකුගේ බලපෑමකට හසුවූ බවක් නොපෙනුණි. හිම කබා, ඇඳුම් පැළඳුම්, හිම සපත්තු සියල්ල තිබූ තැන්වලම එසේම පවතී. ධීවරයන්ගේ ඔරුද ගස්වල ගැටගසා වැව් ඉවුරේම රඳවා තිබුණි.
නිවෙස් තුළින් එළියට පැමිණි ලබේල් අවට පිළිබඳ විමසිලිමත් විය. කිසිම තැනක කලබලයක්, පොරයක්, අරගලයක්, යුද්ධයක් ඇති වූ බවට සලකුණුකුදු දක්නට නොමැත. සියල්ල සාමකාමීය. මෙවැනි දරුණු සීත කාලයක, හතර අතින් වනාන්තරයෙන් වටවූ මෙවැනි ගම්මානයක ගම්මුන් අවි ආයුධ කිසිවක් නොගෙන රංචු පිටින් ගමින් පිට නොයන බව ලබේල් දනී. විශේෂයෙන්ම සීත සමයේදී පුරුදු ඉසව්ව අත හැර වෙනත් ප්රදේශයකට සංක්රමණය වීම කිසි සේත්ම සිදු නොවන්නකි. එහෙත් කිසිවෙකුගේ හෝ බල කිරීමකට ඔවුන් පිට වූවාද?
ගමේ දේශ සීමා මායිම වෙත ගිය ලබේල් එම ස්ථානය දැඩිව පරීක්ෂාවට ලක්කරනු ලැබුණි. එහෙත් ගම්මුන් එසේ පිටවී ගිය බවට සලකුණු කිසිවක්ද එහි නොවීය. එලෙස ගියා නම් අර විදියට ආහාර පාන සකස් කරමින් සිට සියල්ල අතහැර දමා හිටි හැටියේ යයිද?
දැඩි සීතලේම සැතපුම් කිහිපයක් ඈතින් පිහිටි ටෙලි ග්රාෆ් කාර්යාලය වෙත ගිය ලබේල් ළඟම පිහිටි පොලිස් (RCMP) බැරැක්කය වෙත පණිවිඩයක යැවීය. දුෂ්කර ගමන් මඟක් ගෙවමින් ඇන්ගිකුනි විල සොයා පැමිණෙන පොලිසිය මඳක් ගිමන් නිවා ගැනීමට Armand Laurent නම් දඩයක්කරුවාගේ නිවස අසළ නතර විය. එහිදී ලොරෙන්ට් සහ ඔහුගේ පුතුන් දෙදෙනා සමග කතාවට වැටුණු පොලිස් නිලධාරීන් ඔවුන් යන ගමන පිළිබඳව පවසනු ලැබුණි.
මේ කතාව අසා සිටි දඩයක්කරුවා සහ පුතුන් පසුගිය දිනෙක ඔවුන් දුටු අසාමාන්ය සිදුවීමක් පිළිබඳව විස්තර කර ඇත. දින කිහිපයකට පෙර අහස හරහා ඇදී ගිය විකාර රූපී දීප්තිමත් වස්තුවක් පිළිබඳ තතු මොවුන් එහිදී පවසනු ලැබුණි. ලොරෙන්ට් එය විස්තර කරමින් කියා සිටියේ, මේ දැවැන්ත දීප්තිමත් ‘දෙය’ ඔවුන්ගේ ඇස් ඉදිරිපිටම සිය හැඩය වෙනස් කරගත් බවයි. පළමුව සිලින්ඩරයක් මෙන් දිස්වුණු එම වස්තුව ක්ෂණයකින් වෙඩි උණ්ඩයක් වැනි ස්වරූපයක් ගත් බව ඔහු පවසා තිබුණි. ඔවුන් තවදුරටත් පැවසූවේ මේ අමුතු වස්තුව ඇන්ගිකුනි ගම දෙසට ගමන් ගත් බවයි.
ලබේල් මෙන්ම ආසන්න ගම්මානවල වැසියන්ද සැපයූ තොරතුරුත් සමග මේ ගම තුළ කිසියම් අවාසනාවන්ත සිදුවීමක් වී ඇති බව තෙරුම ගත් පොලිකිය වහා පරීක්ෂණ ඇරඹුනි. ගෙවල් දොරවල්, විල, කැළෑව…. ගම පුරා, ගම අවට අස්සක් මුල්ලක් නෑර සෙවීම් ඇරඹුනි.
මෙහිදී ගමට අයත් සොහොන් බිමද පරීක්ෂාවට ලක් වූ අතර සුසාන භූමිය තුළ තිබූ සොහොන් සියල්ල හිස් වී තිබුණි. ඉනියුට් මුතුන් මිත්තන් ඇතුළු වළ දමා තිබූ මළ මිනී, ඇට සැකිලි සියල්ල අතුරුදහන් වී තිබුබි. එපමණක් නොව, එහි තිබූ සොහොන් කොත් දෙකට මැදින් පළා සොහොන් දෙපස පිළිවෙළකට ගොඩ ගසා තිබුණි. මෙම කරුණු සලකා බැලීමේදී මෙය සතුන් විසින් කරන ලද්දක් යැයි කෙසේවත් සැක කළ නොහැකි විය. එසේම ඉනියුට් ප්රජාවගේ විශ්වාසයන්ට අනුව මළ මිනියකට මෙලෙස අගෞරව කිරීම බරපතල වරදක් මෙන්ම පන්නා පහර දෙන පාපයකි.
ගුප්ත විශ්වාසයන් බහුලව වැළඳගෙන සිටින ඉනියුට් වරුන් අතරින් කිසිවෙකුත් මෙවන් විනාශයක් කිරීමට ඉදිරිපත් වෙතැයි සිතිය නොහැක. අනික් කරුණ නම්, මිනී වළවල් මතුපිට තට්ටු පිට තට්ටු වැටී ගල් වී තිබූ හිම නිසා ඒ මිනී වළවල් විවෘත කිරීම එසේ මෙසේ කෙනෙකුට කළ හැකි පහසු කාර්යයක්ද නොවීය.
තව් දුරටහ් සෙවීමේදී ගම මායිමේ සිට අඩි 300 ක් පමණ එපිටින් වළ දමා තිබූ හිම යානා අදින බල්ලන් 7 දෙනෙකුගේ මළකුණු සොයා ගැනීමට හැකි විය. මේ මළකුණු පරීක්ෂාවේදී හෙළි වූයේ සියලූම බල්ලන් නිරාහාරව හාමත් වීමෙන් මිය ගොස් ඇති බවයි. මෙම බලූ සිරුරු අඩි දොළහක් ගැඹුරට වළලා තිබී ඇත. කටු ගැසී නාටු වී තිබූ ඒ බලු මළ සිරුරුවල තදින් ගැට ගැසූ සලකුණු දක්නට තිබුණු අතර මිය යන තෙක් ආහාර සොයා යා නොහැකි ලෙස එම සතුන් ගස්වල ගැට ගසා සිටින්නට ඇතැයි එයින් නිගමනය විය.
එහෙත් එය පිළිබඳව තාර්කිකව සිතා බැලීමේදී ගම අතුරුදහන් වූ දිනයත් (ගමෙහි ඉතුරු වී තිබූ ආහාර ද්රව්ය හා වෙනත් දෑ පරීක්ෂා කිරීමෙන් එගම වැසියන් ලබේල් පැමිණීමට මාස දෙකකට පමණ පෙර සිට අතුරුදහන් වී ඇති බව හෙළිදරව් වී ඇත.) ලබේල් පැමිණි දිනයත් බල්ලෙකුට සාගින්නේ මිය යාමට ගතවන කාලයත් අතර පරස්පරකම් රැසක් දක්නට තිබුණි. අනික් අතට අතුරුදහන් වීමට පෙර ගම්මුන් විසින්ම හිතා මතා මේ බල්ලන් ගස් බැඳ නිරාහාරව තැබුවාය යන්න කිසිසේත්ම පිළිගත නොහැකි තර්කයක් විය. ස්ලෙඩ් බල්ලන් ඔවුන්ට එතරම්ම වටී. එවැනි සතකුට ඔවුන් ඒ ආකාරයට සලකතැයි කෙසේවත් සිතිය නොහැක්කකි. එසේ නම් මේ සිදුවී ඇත්තේ කුමක්ද? ගමේ මිනිස්සු කොහේ ගිහින්ද?
මේ ගැටලු සියල්ල අදටත් නොවිසඳුණු අබිරහසකි. 1930 සිදුවූ මේ සිදුවීම මිනිසුන්ගේ මතකයෙන් කෙමෙන් කෙමෙන් ගිලිහී යද්දී එය නැවතත් එළියට පැමිණෙන්නේ 1959 දීය. ඒ ෆ්රෑන්ක් එඩ්වඩ් නම් ඇමරිකානු ජාතික පුවත්පත් කලාවේදියා විසින් ලියූ Stranger than Science කෘතියෙනි. එහි මෙම අතුරුදහන් ඉනියුට් ගම්මානය පිළිබඳ සියලූම තොරතුරු ඇතුළත් කර තිබුණි. ලබේල් එම ගමට ගිය සැටිත් ඒ පිළිබඳව පොලිසියට වාර්තා කළ සැටිත් පොලිසිය පැමිණි විට එම සිදුවීම හෙළි කළ සැටිත් සවිස්තරාත්මකව එම පොතෙහි සඳහන් වේ.
Stranger than Science පොත ප්රකාශයට පත් වීමත් සමග කැනේඩියානු පොලිසිය පවසා සිටියේ එඩ්වඩ් විසින් මනඃකල්පිත කතාවක් ගොතා පළ කොට ඇති බවකි. ඇන්ගිකුනි විල ආශ්රිතව එවැනි විශාල ජනගහනයක් සහිත ගම්මානයක් තිබූ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවත් එවන් අතුරුදහන් වීමක් ගැන පරීක්ෂාවක් කළ බවට කිසිදු සටහනක් නොමැති බවත් පොලිසිය පවසා තිබුණි.
එහෙත් මේ අතුරුදහන් වූ ගම පිළිබඳව වරින් වර වාර්තාමය සටහන්වලට මෙන්ම පොත්පත්වලටද ඇතුළත් වූ අතර පොලිසිය පැවසූ අන්දමට මෙය ප්රබන්ධයක් යැයි සිතිය නොහැකි බව බොහෝ දෙනෙකුගේ අදහස විය.
එසේම පසුව කළ පරීක්ෂණවලින් මෙම සිදුවීම පොලිස් වාර්තාවල ඇති බවද හෙළිදරව් විය. සම්පූර්ණ ගමක්ම අතුරුදහන් වීම පිළිබඳව කිසිදු පිළිගත හැකි සාධාරණ සටහනක් එම වාර්තාවල සඳහන් වී නොතිබූ බව බොහෝ දෙනෙක් පවසති. පොලිස් විමර්ශනවලට අනුව මෙය සාමාන්ය සිදුවීමකි. පොලිසිය පවසන අන්දමට ගම්මුන් ගම හැර වෙනත් ප්රදේශයකට සංක්රමණය වී ඇත.
එහෙත් මේ ගම් වැසියන් දැඩි සීත දේශගුණයක් තුළ තමන් සතු වස්තූන් හැර දමා ගියේ මන්දැයි යන්න පිළිබඳව පිළිගත හැකි තොරතුරක් එම විමර්ශන සටහනෙහි ඇතුළත් වී නැත.
ලබේල්ද මේ පිළිබඳව අදහසක් ඉදිරිපත් කර ඇති අතර ඔහුට අනුව මෙය දෙවියන්ගේ ප්රාතිහාර්යයකි. Torngarsuk නම් ප්රාදේශීය දුෂ්ට දේවතාවකු විසින් මේ ගම අතුරුදහන් කර ඇත.
මේ සියල්ලටම වඩා බහුතර මතය වී ඇත්තේ පිටසක්වලින් පැමිණි ජීවීන් විසින් ගමේ පිරිස රැගෙන ගොස් ඇති බවයි.කෙසේ නමුත් මෙය අදටත් අභිරහසකි.
උපුටාගැනීම අන්තර්ජාලයනි
මූලාශ්‍රය: රාම් වණා