අපේ ආච්චී කාලයක හිටන් ඉන්නේ එකතැන් වෙලාය. උන්දෑට වයස,අවුරුදු වලින්ම අසු හතරකි. දැන් වසර කීපයක සිට අංශභාග රෝගයෙන් ඇය පීඬා විදිතත් සිහිකල්පනාව නම් වෙනදාට වඩා තියුණුය. කොටින්ම මහ රාත්රියට වත්ත පහල පොල් ගස් වලින් ගෙඩි වැටෙන හඩ පවා මනසින් ගණන් කරන ඈ.. පහුවදා උදේට ,
“ඊයේ පල්ලැහෑ ගස් දෙකේ පොල්ගෙඩි පහක් වැහ්නා… දැන් සේරෝම ඊට කලින්දා වැටුන ඒවා එක්ක ගෙඩි හතයි , ගස් දෙකේ ඉතුරු ගෙඩි තිස් හතරයි…”
ඒවා නිකං ඊස්සායලේ මොසාඩ් එකේ වාර්තා වගේය. හරියටම රයිට් ය. ඒත් ඇයට පෙර සේ නැගිට එහෙ මෙහේ යාමට බැරිවීම ගැන මට හරිම කණගාටුදායක හැඟීමක් ඇත. ඒ අවු අස්සේදී අර ගායක මහත්තයා ය කටාඬ යලි ලබාදුන් දේවදාසයා ගේ සුවකිරීමේ මෙහෙය මට නරඹන්නට ලැබුණු අතර , දේවදාසයා කෙරෙහි අචල භක්තිය සහිත ඕනෑම කෙනෙකුට එය කලහැකි බවද එතුමාණෝ වදාලේය.
වාඩා මාපලේය… ආච්චි සුවකිරීමේ කරත්ව්ව්ය මුනුපුරාණන් ගේ දෙවුර මතට පැවරී ඇත්තේය. අම්මා නාන්නට ලිඳට ගිය අස්සෙ මම ආච්චි සුවකිරීමේ මෙහෙයුම ආරම්භ කලෙමි. මුලින්ම රෝදපුටුව තල්ලු කරගෙන ඇයව සාලයට රැගෙන ආ අතර ඉන් පසු මම ඇයට මාගේ උදාර අරමුණ පැහැදිලි කලෙමි.
“මොක කලත් කමක් නෑ උඹට දෙන්න සල්ලි නං නෑ මයෙ ලඟ. බේත් ගන්න කියලා අතේ තියෙන්නෙම පන්සීයයි…”
ආච්චී එහෙමමය. කොස් කොල මිටියක් විතර සල්ලි කොල මිටියක් ඈ,සතුව ඇත, ඒවා කලු සල්ලිය. මුදල් රෙගුලාසි අනුව ඇය සිය වත්කම් ප්රකාශයේ දක්වා ඇත්තේ උඩින් කී රුපියල් පන්සීයත් තව ඇට කාසි තොගේකුත් විතරක් ය.
මහා බක්තියෙන් යුතුව මම උඩබලා ආච්චී සුවකිරීමේ මෙහෙයුම ආරම්භ කලෙමි.
” නුඹට ඒ කලාවු කොඩිවින බන්ධනයෙන්.. කටු ගසා නුබේ දෙපා වලට කටු ගසා නුබට කල ඒ බන්ධනයෙන්….
ආච්චී මැදින් පැන්නේය…
” හරියටම හරි… අර පෙතන්ගහ වත්තේ ලැයිසා ඔය දහදුරාවි තමා මගේ කකුල් වලට මර්තේලිස් කට්ටඬියා ලව්වා හූනියං කෙරව්වේ…ඕකිට අම්මපා…. “
“ආච්චි ගම කනවනේ… කට වහන් අහන් ඉන්ඩ මම මේ ඒක කපන්න් හදන්නේ”
මා නැවතත් පටන් ගත්තෙමි
“මා නුඹට අනකරනවා… එම්බල පසික්කාඩු හූතවාලි යක්ෂය….. තා දැන්මම මේ මොහොතේම මේ කාන්තාවගේ සරීරයෙන් බැහැරව….පලයාආආආආආආආආඅව් “
ම්හූ වෙනසක් නැත. අවුලක් නැත වීඩියෝ එකේ හැටියට තුන්පාරක් RRS තාලෙට (රෙද්දෙ #වෙන සයිස් එකට ) පලයව් කිව යුතුය. යක්ෂයා එවිට කුලී ගෙදරින් එලවාපු එකා සේ බැහෑලා යනවාය.
“එම්බල යක්ෂ පුත… මේ කාන්තාවට පෙරමෙන් ඇගේ දෙපයින් නැගී සිටීමට ඇවිදීමට අවශ්ය ශක්තිය ලබාදෙනු වස්…. මා තොපට අණ කර සිටිමි…. වාහම මේ දැන්ම ව……හා……ම පිට වී චුත වී…… ප…………ලෙ………..යාආආආආආ……….ව්…..”
ආච්චි ඒ පාර මහහඬින් සාදු කාරයක්ද දුන්නේ ය.
එවරද යක්ෂයා පිටවී ගියේ නැතිමුත් , ගිරිය පුප්පා තටමාගෙන කෑ ගැසූ නිසා මාගේ පස්චාත් බාගයෙන් ඩපයක් නම් පුහ් ගා පිටවී ගියේය. හොඳ වෙලාවට ආච්චීට ගඳ සුවඳ එතරම් දැනෙන්නේ නැත.
දැන් මටත් යක්ෂයා ආරූඪ වූ අතර. මේ යකා හුරතල් කොට කනිපින්දම් කීමෙන් යවන්නට පුලුහං යකෙක් නොවෙන බවද තේරුම් ගියේය.
“මං තොට දෙපාරක් කිව්ව…. හොඳ හිතින් මේ මොහොතෙම මේ දැන්නම ….. මගෙන් මැරුම් නොකා…. තෝ මල පෙරේත පාහරයක්ෂයා….මෙතනින් චුත වෙලා…..ප….”
ඒ එක්කම දඩිං…..ගාලා මහා ශබ්දයක් ඇහුණා. හරි මගේ කන්නලව්වට යක්ෂයා බය වෙලා… ඒ එක්කම මගේ පිට කොන්ද දිගේ කරන්ට් එකක් වදින ලයින් එකක් එක්ක අමුතු හීතලක් දැනෙන්න ගත්තා.. මං ස්ලෝ මෝෂන් එකේ පස්සට හැරුණා. කියන්න බෑනේ යකා මගේ පස්සෙන් නම්
යකෙක් නෑ…. ඒ වෙනුවට කුස්සියේ දොරේ පොල්ල අතේ තියන් අපේ අම්මා ඉන්නවා කාලි අම්මට ඇඳලා….
“තෝ මගේ අම්මා මරාගන්නද බල්ලො හදන්නේ ?”
අන්තිමේ යක්ෂයා ගෙදර ඉද්දි මං පලයව් වෙලා, දැන් මේ රෙදි පාංකඩ දෙක්ක බෑග් එකක දාන් වෙදමහත්තයා එනකන් ඉන්නවා පත්තුවක් බැඳගන්න.
එඤ්ඤං
උපුටා ගැනීම: කුෂාන් ප්රේමසිරි