අවුරුදු විස්සකට එපිටදි මම ටියුෂන් පෝලිමේ හිටියා.නුවර සුදර්ශියේ කීර්ති සර්ගෙ ෆිසික්ස් ක්ලාස් එකට ගැහැණු ළමයි වෙනමයි පිරිමි ළමයි වෙනමයි පෝලිං දෙකක් තිබුන.එක ක්ලාස් එකක් ඉවර වෙලා අපෙ එක පටන් ගන්නකල් එහෙම පොලිමේ ඉන්න ඕන.
මම ඒ ලෙවල් කළාට මොකද තාම සෙල්ලම් ගෙවල් දාන පෙනුමක සහ එහෙමම මානසිකත්වයක උන්නෙ.ඒ නිසා පිරිමි ළමයි එක්ක බැල්මක කතා බහකවත් සම්බන්ධයක් තිබුනෙ නෑ.බස් එකේදි පිරිමි ළමයෙක් කතා කලොත් දහඅට සන්නිය හැදිල වගේ හිත ඇතුලෙන් වෙව්ලනවා මං.ඉතිං කතාබහ එතනම ලොප්.
ඉතිං එදා එතන පෝලිමේ දන්න එකියක්වත් හිටියෙ නෑ කතාවක්වත් දාන්න.මං උඩ බිම බල බල ,සර් උගන්නන ගමන් කියන කතාවලට පන්තියේ එව්වො කැකිරි පලන හැටි අහගෙන ඔහේ උන්න. එහෙම ඉද්දි එකපාරටම මට දැනුනා පිරිමි ළමයි පෝලිමේ කෙනෙක්ගෙ බැල්මක් මගෙ දිහාට වැටිල කියල.මං නිකමට බැලුව ඒ පැත්ත. කිරි අප්පේ ඒ කොල්ලගෙ ඇස් දෙක.. මගෙ දිහාම හෙණ ගහන්නා වගේ බලා උන්නෙ මං මෙච්චර කාලෙකට දැකපු ලස්සනම කොල්ලා.කියන්න කිසිම අඩුපාඩුවක් නෑ.සුදු උස ,උසට හරියන මහත,ඇඳුම් පැළඳුම් නීට් ඔක්කෝමත් හරි දෙයියනේ ඒ මූණ.. ඇස් නහය කට වාත්තු කළා වගේ. කොණ්ඩෙ ටිකක් පොකුටුයි. මං මෙහෙම විස්තර කලාට ඒ වෙලාවෙ දැක්කෙ ඒ ඇස්වල රැස් විහිදිල්ල විතරයි.මං එසැණින් අහක බලාගත්ත.ඒත් ඒ බැල්ම කොයි වෙලාවෙ බැලුවත් මගෙ දිහාටම එල්ල වෙලා තිබුන බව මට දැනුනා.පුදුම අපහසුතාවයකට මාව පත්වුනෙ.ඇයි යකෝ මං වගේ මෙලෝ රහක් නැති එකියක් දිහා මෙච්චර ලස්සන එකෙක් මෙහෙම කන්න වගේ බලන් ඉන්නෙ දෙයියනේ ..
එදා ෆිසික්ස්වලට මොනා ඉගැන්නුවද කියල මට මතක නෑ.ඉතිං අර නෙත් සරය නිසා අසරණ මම ආකාසෙ පාවෙන්න පටන් ගත්ත. එයින් පස්සෙ ෆිසික්ස් හා කෙමිස්ට්‍රි ක්ලාස්වලදි ඒ ඇස්වල විදුලි සැරය වරින් වර වැදුන නිසා මාත් නොදැනුවත්වම පන්තිවලදි ඒ ඇස් හොයන්න වුනා. මගේ යාළුවත් අන්න අන්න උඹෙ භෘංග රාජයා කිය කිය පෙන්නන්න පටන්ගත්ත.ඒකි එහෙන් මෙහෙන් විස්තරත් මට හොයල කිව්ව.අන්තිමට එකම එක වචනයක් කතා නොකරම මම ඒ ඇස්වලට ආදරේ කරන්න ගත්ත.මම කවි ලියන්න ගත්ත.ඒ මූණ මට කටපාඩම් වුනා. කටුවැඩ කොළ පුරා ඒ මූණ ඇඳුනා.
හැබැයි මට ඕන වුනේ එයා දිහා බලන් ඉන්න විතරමයි. ඒත් එයාට හොරෙන්.කතාබහ කරන්න තරම් ශක්තියක් තිබුනෙත් නෑ. ඒ නිසා මම එයාට නොදැනෙන්න එයා දිහා බැලුවා.එයා බලද්දි අහක බලන් උන්නා. කිසිසේත්ම මම එයා ගැන උනන්දු බවක් පෙන්නුවෙ නෑ.ඒත් හදවතින් මම එයාට පරම පවිත්‍ර විදිහට ආදරේ කරමින් උන්නා.එයා පන්තියෙන් කලින් නැඟිටලා ගිය දවසට එතැනින් එහාට ඉගනගන්න බැරිවුනා.සුසුම් හෙලුනා. ඒ අර නන්දාමාලිනියගේ ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයයි කියන සිංදුවේ විදිහෙ ආදරයක්. මගෙ හදවතේ මොළේ ඇස්පියවල ලේවල හැමතැනම එයා උන්නා.
මෙහෙම කලක් යද්දි එයා මං ගැනත් විශේෂ විදිහට බලන එක නැතිවෙලා ගියා. වෙන ගෑණු ළමයෙක් එක්ක එක බංකුව වාඩිවෙලා කතා කර කර හිටිය දැක්කම මට මහා දුකක් ඇති වුනා. ඒත් මොනා කරන්නද? අපි ආදරේ තියා කතා කරලවත් තියනවයැ.
ඔහොම මං ඒකපාර්ශවික ආදරෙන් පරාජය වෙලා නිකම්ම කාලය ගතවුනා.ඒත් එයා දිගටම මගේ කවිවල, හීනවල,ඇස්පිය යට උන්න.ඒ විදිහෙ ඇස් දෙකක් නලලක් දැක්කම හිතේ කොණක විදුලියක් කෙටුවා.ඒ ලෙවල්වලින් පස්සෙ එකම එක දවසක් පේරාදෙණිය කැම්පස් එක ඉස්සරහ ඉන්නව දැක්ක දවසෙ මගේ උගුර හිරවුන එක ගෙදර එනකල්ම හරිගියේ නෑ.ඉන්පසුව කලාතුරකින්වත් නොදැක්ක ඔහු පස්සෙ පස්සෙ ගැඹුරු මතකයට ගිහින් වරින් වර උඩට ආවා.
පස්සෙ මම රස්සාවට ඇවිත් කාලයක්ම ගතවෙලා ගියා.එෆ් බී එකේ පරණ යාළුවෝ හොයන ගමන් මට එයාවත් හොයන්න හිතුනා.ඒත් දෙයියනේ මම දන්නෙ මගෙත් එක්ක අර ඒ ලෙවල් ක්ලාස් ගිය යාළුවා හොයල දුන්න නමයි ඉස්කෝලෙ නමයි විතරයිනෙ.කමක් නෑ ඒ නමින් හොයනවා .නමක එක කොටසකුයි ඉස්කෝලෙ නමයි ගහල සර්ච් කලාම හෙන තොගයක් එනවනෙ.මම ඔව්ව එකින් එකට ඕපන් කර කර පෆාටෝ බලනවා.දවස් කීපයක්ම එහෙම හෙව්වට හම්බුනේ නෑ.ඒ විස්තරත් හරිද කියල දන්නෙත් නැතුවනෙ මේ කොටිවලිගෙ අල්ලගත්තෙ.එක දවසක් බාගෙට සර්ච් කලාම ඊළඟ දවසෙත් ඒ ටිකම ආයෙත් එනවනෙ.ඉතිං දවසක් ඉවර වෙනකල් සර්ච් කර මිස නොනැගිටිමි කියල හිතාගෙන ඒ ඉස්කෝලෙ ඒ නමින් ඉන්න හැමෝගෙට ෆොටෝ බලන්න පටන්ගත්ත. එක තැනකදි හදවත තප්පර ගානකට නැවතිලා ආයෙ ගැහෙන්න ගත්ත.වෙව්ලන අතින් ඒ ප්‍රොෆයිල් එක ඕපන් කළාම මෙන්න ඒ ඇස් ඒ නහය ඒ කට ඒ නලල. ඒ එයාමයි වයිෆ් එහා පැත්තෙ. මට දුක හිතුනද කියල මට හරියට තේරෙන්නෑ.හැබැයි අමුතු හැඟීමකින් ගත හිත සලිත වෙලා ගියා.
ඉතිං අවුරුදු විස්සකට පස්සෙ ඇස්වලින් විතරක් කතාකළ එකම එක වචනයක් කතා නොකළ මගේ ඒකපාර්ශ්වික පෙම්වතාගෙ මූණ විතරක් ලොකුවට පේන විදිහට සූම් කරගෙන ,මගේ ප්‍රියතම සිංදුවක් වෙච්ච නාරද දිසාසේකර මහත්තයාගෙ මුළු හදින් මම ඇයට පෙම් කොට සිංදුව පසුබිමෙන් දාගෙන ඇස් බොඳ වෙලා නොපෙනී යනකල්ම එ් මූණ දිහා බලා උන්න.
උපුටා ගැනීම: නදීකා මැදගෙදර