ක්‍රීම්සෝඩා (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේක මම අඩයාලමට ලියන පලවෙනි කතාව. මීට කලින් මම ලියලමනෑ , කොටින්ම කියනවනම් සා/පෙ සින්හල පේපර් එකට රචනාව ලිව්වට පස්සේ ලියන පලවෙනි එක.
අඩයාලමේ සාමාජිකයෝ ලියන කතා කියෙව්වහම මටත් ලියන්ඩ හිතුනා. මේවගේ කතානම් ගොඩක් තියෙව හිමීට ලියන්නම්, මේක පලකරන්ඩ සුදුසුනම් පලකරන්ඩ . මේ කතාව සිදුවුනේ එක්දහස් නවසිය බරගනන්වල අන්තිම කාලේ,
එතකොට අපි ඉස්කෝලේ නවය වසරේ හරි දහය වසරෙ හරි (හරියටම වසරනම් මතකනෑ මොකද මගේ මතකේ ඒතරම්ම හොදයි හැබැයි සිද්දියනම් හොදට මතකයි )
ඒ දවස් වල අපේ සෙට් එකේ හිටිය හත් අට දෙනෙක්, වැඩේ කියන්නේ අපි ඔක්කොගෙම නම් පටන් ගන්නේ “න” යන්නෙන් . කොහොම වුණත් මේ කතාවෙදී මං අපේ අයියලාගේ නම් ටික නොකියා ඉන්නම්. නැත්නම් මුන් ටික එකතුවෙලා මට මොනව කරයිද දන්නෑ.හැබැයි මේකෙ ඉන්න අපේ ඉස්කෝලෙට ගිය අපේ පන්ති වල උන් ටික නම් මේ කතාව කියද්දී ම මේ කවුරු ගැනද කියන්නේ කියලා හොඳට දන්නවා.
මම ඉස්සෙල්ලම කියන්නම්කො, අපේ සෙට් එක මොන වගේද කියල. අපේ එවුන් ටික ඉතිං පන්තියේ ඉන්න නසරානි ම සෙට් එකම නෙමේ, පන්තියේ හොඳම ළමයිනුත් නෙමෙයි, වැඩි විස්තර ඔනෙනෑ ඔන්න මං කතාවට බහින්නම්.
ඔන්න එක දවසක් හවස පන්තියකට අපිට ඉස්කෝලේ නවතින්ඩ සිද්ධ වුණා ,ඒ කාලේ ඉතින් අපිට නිව්මෝනියාවට එනකං ක්රිකට් උණ හැදිලයි හිටියේ, කොටින්ම හිස් මුදුනේ ඉඳලා යට යටිපතුලට එනකම් ක්රිකට් , මොකද ඒ වෙද්දි වර්ල්ඩ් කප් එක දිනලා අවුරුදු දෙක තුනක් වගේ ගිහිල්ලා තිබ්බේ.
ඔන්න ඉතිං ඉස්කෝලේ ඇරිල පන්ති පටන් ගන්නකං අපේ පන්තියේ කොල්ලෝ සෙට් එක බැස්සා පිට්ටනියට, කුකබුරා බැට් එකක් ,නෑ නෑ මොන කුකබුරාද ලෑලි කෑල්ලක් කපල හදාගත්ත ක්රිකට් පිත්තයි ,ගහකින් කපල ගත්ත විකට් කූරු තුනයි අරගෙන.බෝල් දාන පැත්තේ විකට් එක ඉතින් සෙරෙප්පුවක් හරිද? දැන් ඔන්න මැච් එක පටන් ගත්තා, ටික වෙලාවක් ඔහොම යනකොට කොහේදෝ ඉඳලා කඩා පාත් වෙච්ච වැහි වලාකුළක් තරඟයට බාධා කරා .කොච්චර හොඳ ක්රීඩකයෝ වුණත් අපි ඉතින් වතුරත් එක්ක තියෙන්නෙ ආත්මීය බැඳීමක් නේ, වතුර කොහෙද අපි දිව්වා ,නානවා කියන එක ඇලජික් ඒ කාලේ ,දැන් කියලා ඉතිං අපේ උන් ගේවැඩි වෙනසක් නැතුව ඇති .
ක්රීඩකයෝ වැඩි හරියක් පැවිලියන් එකට දුවද්දී අපි හතර පස් දෙනා දිවුවෙ ඉස්කෝලේ මුර අංකල්ගෙ කාමරයට. සිංහලෙන් කියනවා නං ගාඩ් රූම් එකට, අපේ ඉස්කෝලේ පාරඅයිනෙ තමා පිට්ටනිය තියෙන්නෙ ,පිට්ටනිය අයින දිගට තියන පාරෙන් ගිහිල්ලා තමා ඉස්කෝලෙට යන්නේ .මුර කුටිය තියෙන්නෙ පාර අයිනෙම පිට්ටනියේ මුල්ලකට වෙන්න. (දැන්නම් ඒ ඔක්කොම වෙනස්වෙලා)
ඒ කාලේ අපේ ඉස්කෝලේ මුරට හිටියේ අංකල් කෙනෙක් නම මිල්ටන් අංකල්, (දැන් වෙද්දි ජීවතුන් අතර නැති හින්ද ඔන්න ඔහෙ නම කියලා ම දැම්ම). දැන් ඉතිං හෝ ගාල වහිනවා අපි දැන් මුර කුටියට වෙලා කියෝ කියෝ ඉන්නවා ලෝක ආර්ථික දේශපාලන තත්ත්වය, අඟහරු ලෝකේ ජීවියෝ ඉන්නවද නැද්ද, ඇත්තටම නිව්ටන් ඇයි ඇපල් ගහක් යට නිදා ගත්තෙ, ඔය වගේ බරසාර මාතෘකා තමා ඉතින් අපි කතා කර කර හිටියේ, එහෙම නැතුව කිසිම වැඩකට නැති කෙල්ලො ගැන හෙම නෙමේ. ඒ වෙලාවේ මිල්ටන් අංකල් හිටියේ නෑ, මිනිහා ඉස්කෝලේ ඇරුනට පස්සේ ඉස්කෝලෙ වටේ රවුමක් දාන්න යනවා.
ටික වෙලාවක් ඔහොම ඉන්නකොට සුළු දිය පහ කරන අවශ්යතාවයක් ආව අපේ එකෙක්ට . අහල පහලට යන්න විදිහකුත් නෑ අපි ඉන්න තැන වටේටම පේනවා, අනික පාර අයිනෙම නේ අපි ඉතින් ලැජ්ජ බයට හැදිච්ච කොල්ලො නේ .
කොහොමහරි ඉතිං අපේ එකෙක්ගේ තීක්ෂණ ඇහැට මුරකුටිය මුල්ලක තිබ්බ බෝතලයක් අහුවුණා, අපි ඉතින් පොඩ්ඩක් පරික්ෂා කරල බැලුව. අම්මට හුඩු බලද්දි ක්රීම් සෝඩා බෝතලයක්, මූඩිය කඩල වත් නෑ අලුත්ම බෝතලේ ,අපරාදේනේ ඉතින් , ඕක ඔතන තියෙන්නෙ එකෙක් ගත්ත බෝතලේ කටින්ම කැඩුව , ඒ කාලේ දත් හොඳට අයියයි මදින්නේ සිග්නල් දාලා නේ . ඊට පස්සේ බෝතලේට වෙච්ච දේ ඉරකි, තිතකි කොමාවකි , අපරාදේ ඉතිං ක්රීම් සෝඩා බෝතලේ . බෝතලේ ඉවරයි, බීල ඉවර වෙලා මූඩිය වහලා තිබ්බ විදිහටම තිබ්බා . වැස්සෙ නම් ලොකු අඩුවක් නෑ, තාම වහිනවා. මේ වෙලාවේ අපිට ටැප් එකක් ඇරපු සද්දයක් වගේ සද්දයක් ඇහෙනවා හැරිලා බලද්දි අපේ එකා තමන්ගෙ මුළු බරම ක්රීම් සෝඩා බෝත්ලේට බර කරල , හරියටම පුරෝලා එකයි. ගොඩක් වෙලා අව්වේ සෙල්ලම් කරපු හින්ද ද කොහෙද පාටත් ක්රීම් සෝඩමතමා ඇරපු අතක් නෑ. හිස් බෝතලේ අහුවෙනවා ට වඩා මෙහෙම හොඳයි නේ කියලා මූඩිය හොඳට වහලා තිබ්බා.
ටිකකින් වැස්ස පෑවුවා. අපිත් එහෙම ම පංතියට ගියා ,ටීචර් ඇවිල්ලා පන්තිය පටන් ගත්තා. සුවච කීකරු ළමයි වගේ පන්තියටත් ඉඳලා ගෙදර ගියා. සිද්ධිය එතනින් ඉවරයි කියලා තමයි අපිට හිතුනේ, පහුවදා උදේ පුරුදු විදිහට ඉස්කෝලෙට ආවා.
උදේ රැස්වීමේ ඉවර වෙලා පීරියඩ් දෙක තුනක් ඉවර වෙද්දි අපේ ඉස්කෝලේ ක්රීඩා භාර සර් අපේ පන්තියෙ පිරිමි ළමයින්ට එන්ඩ කියලා පණිවිඩයක් එවලා තිබ්බා. ක්රීඩා භාර සර් කියන්නේ ඉස්කෝලෙම නැවතිලා ඉස්කෝලෙට ලොකු සේවයක් කරපු ගුරුවරයෙක්, ඒ වගේම තමා සර් ගෙ නම ඇහුනම සුළු දිය පහ වෙන සයිස් තමා, ඒ දවස් වල දැන් කියලත් ඉතින් ලොකු වෙනසක් නෑ, හැබැයි සර් දැන් පැන්ෂන් .
අපි කට්ටිය පැවිලියන් එකට ගියා යනකොට මිල්ටන් අංකලුත් පැත්තකට වෙලා හිටගෙන ඉන්නවා. සර් වේ වැලකුත් අරගෙන .අපි දැන් පෝලිමට හිටගෙන ඉන්නවා . ඊයෙ හවස පන්ති හිටියේ කවුද? පන්ති හිටපු නැති උන් පලයල්ලා කිව්වා. දෙතුන් දෙනෙක් පන්තියට ගියා. ඊට පස්සේ ඇහුවා වැහැපු වෙලාවේ මුරකුටිය හිටියේ කවුද කියලා, එකෙක්වත් සද්ද නෑ මොකද ඒ දවස් වල අපේ උන් මැරුවත් පාවලා දෙන්න නම් නෑ .
කොහොමහරි අපේ කරුමෙට ද මිල්ටන් අන්කල්ගේ කරුමෙට දන්නෑ , කවුරුහරි දැකලා තිබ්බා කළු උන් හය දෙනෙක් මුර කුටියෙ හිටියා කියලා.කොහොමහරි සුදු උන් ටිකටත් සමාව ලැබුණා . හැබැයි ඒ අතර අපේ එකෙකුත් හිටියා . උන් ටිකත් පන්තියට ගියා .ඊට පස්සේ පැවිලියන් එකේ හිටිය උන් ටික වත් හොයා ගත්තා.උන් ටිකටත් ජනාධිපති සමාව හම්බවුණා .කොහොමින් කොහොමින් හරි පෙරිලා පෙන්නලා අපි හය දෙනා ඉතුරු උනා.
දැන් ඉතින් අපේ දෙකොනේ රත් වෙලා ඉන්නේ, ඒත් ඉතින් මැරුවත් පාවලා දෙන්නේ නම් නෑ. දැන් සර් වේවැල වනලා එහෙම ඇහුවා “දැන් කියපු කියපියව් තොපි හයදෙනාගෙන් මොකාද ඊයෙ මුරකුටිය තිබ්බ ක්රීම් සෝඩා බෝතලේ ට චූ කරලා තිබ්බෙ කියලා” එකෙක් වත් සද්ද නෑ.
මෙච්චර වෙලා සිද්ධිය බලාගෙන පැත්තකට වෙලා හිටපු මිල්ටන් අන්කල් ” මං සර් උගුරක් බිව්වාත් එක්ක ” කියලා කිව්වා. ඒ වගේ කතාවක් ඇහුවම සද්ද නැතුව හිටිය හැකියැ, මල ගෙදරක ගියත් හිනා වෙලා පුරුද්ද තියෙන අපිට හොඳටම හිනා ගියා.සර්ට වැඩිය තද උනේ සර්ගෙ අතේ තිබ්බ වේවැලට. අපි හය දෙනාට ගේ පිටිපස්ස පැත්තට දෙතුන්පාරක්ම වැඩම්මුවා.
ඊට පස්සේ කාලයක් යනකන් අපේ යාළුවා මිල්ටන් අන්කල්ට ගහන්නත් ප්ලෑන් කර කර හිටියා හැබැයි ගහන්න නම් හම්බුන්නෑ. මේ කතාවට සම්බන්ධ වෙච්ච උන් ටික අද වෙද්දි හොද තැන්වල ඉන්නවා මිල්ටන් අන්කලනනම් ජීවතුන් අතර නෑ. අංකල් වත් ආදරයෙන් සිහිපත් කරනවා ඔය වගේ කතා නං ගොඩක් තියෙනවා පස්සේ වෙලාවක ලියන්නම් කෝ ගිහින් එන්නම්
උපුටා ගැනීම:  Nuwan Buddika

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!