” ලොකූ, ඉවසීම තමයි ඕනෑම දේකට හොඳම බෙහෙත. අනිත් එක දෙන්නා අඳුනා ගන්න කාලයක් යනවා.ටිකක් ඉවසන්න පුතේ. දමා ගහලා යන එක නෙවේනේ වීරකම”
අම්මා අක්කාගේ ඔලුව අතගාන ගමන් කියද්දී අක්කාගේ ඇහේ දිලිසෙන කඳුළු මං නොදැක්කා නෙවෙයි. ඒ කඳුලු මගේ ඇහේ හැපෙන්නේ ඊයම් බරු වගේ. මේ විදියට මේ දේවල් සිද්ධ වෙන එක ඇත්තටම හොඳ ද කියලා මං හිතමින් හිටිය නිසා මට බොහොම දේවල් මතක් වෙමින් තිබුණා.
අක්කා ආදරයක පැටලුණේ එයා කැම්පස් එකේ ඉද්දී. දිනූෂ අයියා ගැන මහා වර්ණනා ඇහෙනකොට ආදරේ කියන්නේ පුදුමාකාර ලස්සන දෙයක් කියලා උසස්පෙළ පන්තියට අඩිය තියලා මහ දවසක් නොගිය මටත් හිතෙන්න ගත්තා. ඒත් ඒ ලෙවල් ක්ලාස් වල හිටිය කොල්ලන්ට ලව් කරනවාට වඩා මට මගේ හීන තිබුණා.
අක්කා එයාගේ සුරංගනා කතාවක් වගේ ලස්සන ආදරේ හිත පුරා විඳිමින් හිටියා. ඒ ලෙවල් වලට පාඩම් කරද්දී නිදි මරන නිසා මං හොඳටම කෙට්ටු වෙනකොට ඇඳුම් අල්මාරිය පොඩ්ඩක් අස්පස් කරලා අක්කා එක්ක ගනුදෙනු කරන්න මං හිතුවේ අක්කා නිවාඩුවට ගෙදර ආ දවසක. ඩෙනිම් හැම එකම මහත් වෙලා; මං කෙට්ටු වෙලා. දැන් ඒවා අයිති අක්කට.
“මට එපා සුදූ. ඔයාට අඳින්න බැරි නම් අරන් තියන්න.නැන්දලාගේ නංගිට දෙමු..”
අක්කා දැන් කොළඹ ගිහින් ස්ටයිලිෂ් වෙලා නිසා මං පට්ට ගහපු ඇඳුම් අඳින්න අකමැති ඇති. ඒත් ඒ හිතිවිල්ල මැරිලා යන්න ලොකු වෙලාවක් ගියෙත් නෑ.
” දිනූ ආස නෑ ඩෙනිම් අඳිනවට. මං දැන් අඳින්නෙම දිග ගවුම්..”
අක්කා දැන් ඇහිබැම හදන පාටක් නැති බවත්, වෙනදාට තාත්තාගෙන් බැනුම් අහ අහ හරි දසවද දීපු කොණ්ඩේ ඔහේ කම්මැලිකමට පිට දිග නිදා ඉන්න බවත් මට පෙනුණේ ඒ වෙලාවේ.
“දිනූෂ ආස චාම් කෙල්ලෙක්ට…”
හරියට බැලුවා නම් ඒ තමයි පළමුවෙනි රතු එළිය. අක්කා තවදුරටත් ඉදිරියට යන එක අපිට නවත්තන්න තිබුණු පළමුවැනි දවස.
ඒත් අපිට අපේ ලෝක තිබුණා. මම හිටියේ ඒ ලෙවල් ගැන පීඩනයෙන් සහ අනාගත හීන මවන ගමන්. අක්කා කුළුදුල් ආදරේ ගැන මත් වීමකින්. අම්මලා නිතරම කීවේ තෝරා ගත්තු කොල්ලා එක්කම ජීවිතේ ගෙවන්න කියලා. එහෙම කොල්ලො මාරු කරන එක කෙල්ලෙකුට ගැළපෙනව ද?
අක්කා දිනූෂ අයියා එක්ක වෙඩින් එකට ලෑස්ති වෙන කාලෙදි කෙල්ලෙක්ට නොගැළපෙන දේ කරන්න මං තීරණය කරලා තිබ්බා. ෆේස්බුක් පාස්වර්ඩ් ඉල්ලමින් වදයක් වුණු බැච් එකේ කොල්ලෝ එක්ක කතා කරන වාරයක් ගාණේ රටේ තියන කුණුකතා ඔක්කොම කියපු කොල්ලෙක්ව අත් ඇරලා දාන්න කැම්පස් එකේ ෆස්ට් ඉයර් කෙල්ලෙක් වෙලා හිටිය මට හයිය තිබුණා.එහෙම කොල්ලෝ මාරු කරන විසකුඩිච්චියක් තමන්ගේ නෑනා වීම ගැන දිනූෂ අයියා බොහොම විස්සෝප වුණත් මට ඒ ගැන හිතන්නවත් උවමනා වුණේ නැහැ.
අක්කා විවාහ වුණා.මම ඉගෙන ගත්තා. රස්සාවක් කරන ගෑනියෙක්ට වඩා ගෙදර ඉන්න ගෑනියෙක් දිනූෂ අයියාට ඕනෑ වුණු නිසා අක්කා බොහොම කැමැත්තෙන් හවුස් වයිෆ් කියන රස්සාව තෝරා ගත්තා. අක්කා ඇත්තටම ඉන්නේ සතුටින් ද කියලා හිතන වෙලාවත් මං මගේ සතුට වෙනුවෙන් කැප කරමින් හිටියා.
නඳුන් මගේ ජීවිතේට ආවේ වසන්තය අරගෙන. පවුල් පසුබිම,රස්සාව විතරක් නෙවෙයි මම සතපහකට ගණන් නොගන්න කුලය පවා අම්මාට ඕනෑ හැටියට නඳුන් ළඟ තිබීම අම්මා පොඩි බෑනාට ලකුණු සීයම දෙන්න හේතු වෙලා තිබුණා.
” අක්කා වගේ මනුස්සයාට අවංක නොවුණොත් නම් ජීවිතේ අමාරුයි චූටි. නඳුන් වැදගත් ළමයෙක් වුණාට ඔයා එක්ක ඉහ ගහන හැටි මටම පුදුමයි..”
අම්මා බනින්නේ එහෙම.
“ජීවිතේ අපිට තියෙන්නේ හරිම පුංචි කාලයක් සාවි. ඔයා ආස තරම් ඉගෙන ගන්න. මහන්සි හිතෙනකොට මම ඉන්නවා ළඟම..”
නඳුන් කියන්නේ එහෙම. සති අන්තෙට යාළුවෝ එක්ක කඳු නඟින මට බාධා නොකරන, රස්සාව කරන ගමන් තවත් ඉගෙන ගන්න මගේ එක්සෑම් වලට සල්ලි බැඳලා ඇවිත් හිනා වෙන, මහන්සි දැනෙද්දී තරහ යන පොඩි කෙල්ලක්ව වැළඳගෙන වචනයක්වත් නොකියන නඳුන් එක්ක ජීවිතේ හරිම පහසුයි. සමහර කොට ඇඳුම් වලට මම ඇත්තටම ලස්සන බව දන්නේ ඔහු. මගේ මිතුරන්ගෙන් “කොහොමද මචං” කියලා අහන්නේ, ඔහු සහ මිතුරු පිරිස දෙගොල්ලක් බව තේරුම් ගන්නේ ඔහු.
මං හිටියේ ඇත්තටම සතුටින්.
අක්කාගේ හැඬීම අහගෙන ඉන්නකම් මම හිටියේ සතුටින්. වෙන සම්බන්ධකම් ගණනාවක් තියන, අක්කාට පහර දෙන මිනිහෙක් අත් ඇරලා එනවා නම් නඩුවට යන හැම වියදමම දරන්න මම ලෑස්ති වෙනකොට අම්මා ආයෙමත් මට විරුද්ධ වුණා.
“දික්කසාද ගෑනියෙක්ට සමාජේ තියන තැන මොකක්ද? අක්කා ඩිවෝස් කිව්වම අර ළමයගේ ගෙදරින් ඔයාට කැමති වෙන එකකුත් නෑ. ඕවා ඉවසීමෙන් විසඳා ගන්න පුලුවන්..”
අම්මා වෙන වචන නාස්ති කරන්න කැමති වුණේ නෑ. අක්කාත් ඒ ගැන කතා කරන වෙලාව අඩු කරමින් හිටියා. මටත් නඳුන්ටත් වෙඩින් එක ප්ලෑන් කරන වැඩ ගොඩ ගැහෙමින් තිබුණා.
වෙඩින් එකේ මල් සැරසිලි ගැන අවධානය යොමු කරමින් හිටිය හවස් වරුවක නඳුන්ගේ ෆෝන් එකට ආපු කෝල් එකක් අවසානයේ එයා මගේ අත අල්ලා ගත්තේ හරි පරිස්සමින්. මල් පොකුරු මැද අතරමං වෙලා හිටිය මට එයා කතා කරන හඬ ඇහුණේ හරිම හෙමින්.
“බබා.. අක්කා ටිකක් අසනීපෙන්. අපි එහෙ යං.. “
මල් සැකසුම් අතර ආයෙම තියන්න අමතක වුණු සුදු රෝස මලකුත් අරගෙනම මං අක්කා බලන්න ආවා. අසනීපෙන් ඉන්න එයාට තෑග්ගක් කියලා දෙන්න ඕනෑ.අක්කා ආසම මල සුදු රෝස බව මට මතක් වුණේ හදිසියෙම.
ඒත් ඊළඟ හැම තත්පරයක්ම අපැහැදිලි මතකයක්. යුගල යහනේ ඇඳ රෙද්ද කුස්සියේ බාල්කෙක එල්ලෙමින් තිබුණා.නඳුන් මාව අල්ලා ගත් හැටි, අම්මාගේ විලාපය, හැමදේටම එහෙට මෙහෙට දුවන නඳුන් සහ නෑදෑයන් ජීවිතේ කිසිම දවසක නොමැකෙන අපැහැදිලි කළු සුදු මතකයක් මට ඉතිරි කරමින් තිබුණා.
අක්කාගේ සීතල අතකින් මම සුදු රෝස මල තිබ්බේ පරිස්සමින්. අම්මා ඉස්සරම දවසක කියා දුන්නු සුරංගනා කතාවක සුරංගනාවියක් වගේ එයා ඒ මල අරගෙන දිව්‍ය ලෝකේ යන බව මට විශ්වාසයි.
“හොඳම දේ ඉවසීම නෙවෙයි..” මං එහෙම විලාප තිබ්බේ අක්කා ගෙදරින් එළියට යද්දී.
ඇත්ත, දරා ගැනීමවත් ඉවසීමවත් ගෑනියෙකුට බලහත්කාරයෙන් පවරන්න ඕනෑ දෙයක් නෙවෙයි. ඉවසීම අහවර වෙන්නේ වඩා නරකකින් වෙන්න බැරි ද?
උපුටා ගැනීම: Nibandhika Wanninayake