හෝ හෝ යාලුවනේ!!…
මගෙ උසස්පෙළ විභාග ඉවර වෙලා අපි ගියා එක්තරා කළුතර බීච් හොටෙල් එකට.( 2015). එක්සෑම් ලියලා මලවලා මොලේට වැටුනු සමනල් ගැටේ ලිහාගන්න කියලා තමයි ඉතින් කට්ටියම එක්ක ගියේ. ඒක ෆැමිලි ට්‍රිප් එකක්. කොහොමහරි අපි හොටෙල් එකට ගිහිල්ලා චේන්ජ් කරගෙන ගියා බීච් එකට. ගිහිල්ලා ප්ලේ මෝඩ් ඔන් කරගෙන ක්‍රිකට් ගැහුවා වොලි බෝල් ගැහුවා සෙල්ලම් කෝටියයි. ඔය අස්සෙ ඉතින් සුද්දොත් බීච් එකේ වැලි බත් උය උයා බිකිනි ඇදන් බට්ට පැන පැනා කළුතර බීච් එක යායට ලාස් වේගාස් වගේ.. සුද්දි අක්කලා සුද්දි නැන්දලා රියෝ සැනකෙලි ගිහින් වගේ. කොහොමහරි එක ෆැමිලි එකක් හිටියා එයාලා හරිම මිත්‍රශීලීයි. එතනින් ටිකක් මැදිවයසෙ පොරක් මාත් එක්ක හිනා උනා. ලංකාවට ආවේණික ඒකදේශික සිරිතක් ලෙස ආගන්තුක සත්කාරේ ඉස්මුදනටත් ටිකක් ඉහළින් තියාගෙන හිටපු මන් දිමුතු දසන් පේලියට තියලා කට හතරැස් කරගෙන දිස්නෙ වදින්නම හිනා උනා. හිනාවට පැහැදුනු සුද්දි මාමයි සුද්දි නැන්දයි අපිත් එක්ක යාලුවෙලා ෆොටෝවකටත් එකතු උනා.
ඊටපස්සෙ ඉතින් පූල් බැහලා ඉන්නකොටත් මේ දෙන්නා අපිට පෙනී නොපෙනි ආයේ පෙනී නොපෙනී හිටියා. මොකද මන් වතුර යටට යද්දි එයාලව පේන්නෙනෑ. ආයෙ උඩට එනකොට එයාලව පේනවා. මොනවා උනත් අපරාදෙ කියන්න බෑ අලුත බැදපු පරිවි ජෝඩුවක් වගේ දෙන්නම ඇලිලා බද්ද වෙලා හරි ආදරෙන් තමයි හිටියේ. එදා දවස එහෙම ගෙවිලා රාත්‍රිය ඇයි තවම නොඑන්නේ කියලා බලන් ඉන්නකොට ආන්න පුන්සද කළුතර බීච් එක පැත්තට වමට සිග්නල් දාගෙන මෝදු උනා. දැන් ඉතින් එහෙ බැලුවත් කෑම මෙහෙ බැලුවත් කෑම වටපිටාවෙ බැලු බැලු හැමතැනම කෑම ජාති.
සෝමාලියාවෙන් අරන් හදාගත්තු වැස්සි පැටියා වගේ මටත් ඉතින් කෑම වලින් තොර ලෝකයක් තිබුනේ නෑ. දැන් ඉතින් ගිහින් මන් පිගන් හොයනවා හොයනවා පිගන් නෑ. බැරිම තැන මිතතනියගෙ වස්ත්‍රෙ මතක් කරලා ලග හිටපු අපේ නෑදෑ අක්කෙක්ට කීවා. ෆයිස්ටා කියලා කීවට මේකෙ පිගනුත් නෑ කියලා. හරිම සංවර හිනාවකින් මට සංග්‍රහ කරපු වේටර් උත්තමයා කීවා එන්න මිස් මේහාට කියලා.. වහලා තිබුනු ප්ලේට් සෙට් එක ඇරලා පෙන්නුවා. ගමේ දානෙ ගෙවල් මල ගෙවල් වල වගේ ප්ලේට් එක උඩ එක උඩ ගහලා තියන්නෙනෑ කියලා තේරුම් ගත්තු මන් ඒක මගේ යටිබඩ සංචිතයෙ තැන්පත් කරගත්තා. ඔව්වා සේරම කරගෙන පිටිපස්ස බලනකොට ලග හිටපු අක්කා මාව දාලා ගිහින්. කොහොමහරි ආයෙ සෙරමලා එනකන් ඉදලා එයාලා කරන පිලිවෙලටම මාත් බලාගෙන එයාලා බෙදාගන්න ඒවම බෙදාගත්තා.
දෙවනි වටේ ඩෙසර්ට් බෙදාගන්න යනකොට නිකමට පිටිපස්ස හැරිලා බලපුවාම අර සුද්දා මාමා ඉන්නවා නිකන් මී මැස්සෙක්ට පවුඩර් ගාලා දත් ටික පේන්න තොල් දෙකට ටින්ටස් ඇණ ගහලා වගේ. හරිම ප්‍රසන්නයි ඒ හිනාව, කලුකුමෙක්ට දුම්මල ගහලා වගේ බෙල්ලත් වනනවා හිනා වෙනකොට. ඒ වෙලාව තමයි මට හිතුනේ මේ සුද්දා මාමට මාත් එක්ක මොකක් හරි සාංසාරික බැදීමක් තියනවා කියලා.
එදා ඒ හොටලේ ගෙස්ලා කොටසක් වෙනම සයිඩ් එකක් ඉල්ලගෙන පාටියක් දාලා. ඩාන්ස් කරන්න තමයි තියෙන්නේ. අපිට ආරධනාවක් නොලැබුනත් පාටි වලට අතිශය පෙරේත අපේ අක්කල නන්ගිලා මල්ලිලා අයියලා සේරලටම ඉතින් ඔතෙන්ට ගිහින් කස්තිරමක් කාවඩි අඩියක් අල්ලන්න පුදුම උණක් තිබුනේ. ඔතනින් විභාගෙ ලියලා මොලේ උණ හැදිලා හිටපු මටත් දැන් පුදුම ආසාවක් තිබුන යන්න. රම්පෙට පොරි විසික්කනවා වගේ ඒ අස්සෙ මල් වෙඩිත් දානවා. ටිකක් වෙලා එලියට වෙලා ඉදගෙන දෑස පිනව පිනව හිටපු අපි දැක්කා දැන් එකා දෙන්නා සමුර්දි කූපන් ගන්න වගේ ටික ටික නටා නටා කොහොමහරි අතෙන්ට සෙට් වෙනවා. සමහරු ඉන්න තැන ඉදන් වැනියං කලු වැනියන් කියලා වැනෙනවා.
ඔය අස්සෙ මොකෙක් හරි කරුමක්කාරයෙක් සුද්දොන්ට සරමකුයි සුද්දියන්ට රෙද්දකුයි අන්දවලා.. අන්දන අන්දන එකාව අර ගොඩට දානවා බයිලා වලට නටන්න. මේ සිංහල සුපිරිසිදු බයිලා කියන්නේත්.. ශ්‍රී ලාංකිකත්කය විහිදා විහිදා අපේ එවුන් නටනවා.. බීපු මිනිස්සුනම් ගොඩක්ම කරේ භූමි නමස්කාර වගේ දේශියත්වයෙන් පිරිපුන් සකල විධ කලා හැකියා තමයි. අපිත් දැන් කේජු කන කපුටා දිහා බල බලා කෙලගිනි ගං කබරයො වගේ අරුන් නටන දිහා බල බලා මෙහෙ ඉදන් තාල අල්ලනවා. ටික ටික දැන් සුද්දොයි අපියි කලවම් වෙවී ව්‍යාප්ත වෙනකන් ඉදලා අපිත් මෙහෙ ඉදන් අල්ලපු අඩි වන්නම් කරගෙන තුරගා වන්නමෙන් ජියර් දාගෙන හනුමා වන්නමෙන් සිග්නල් දාගෙන නෛයියඩි වන්නමෙන් ඇදීගෙන අන්තිමට කිරළඩි වන්නමෙන් හිටගෙන නටන්න ගත්තා.
දැන් ඉතින් කැකුළිට ආවේස උනු වන්නිල ඇත්තෝ කිරි කොරහා නටනවා වගේ දන්න අඩි සේරම දාලා මමත් නටනවා. බයිලා නම් බයිලා එව්වා තමයි බයිලා.. ලංකාවට බයිලා ගෙනාපු වොලී බැස්ටියන්ටත් සාධු` සාධු` සා… කියලා අපිත් දිගටම තාලෙ ගන්නවා.. මට තේරෙනවා දැන් ටික ටික මගෙ අත ලස්ස්ස්නට කැරකිලා එනවා.. එක අතක් උඩ යනකොට අනිත් අත තාලෙට ඇල කරලා පාතට ගන්නවා. අනේ මන් ලස්සනට නටනවා.. මූනෙන් ඇස් ඉගි කර කර නටනවා.. අනේ සමහරි විඩියොත් කරනවා. මන් ඉතින් තව දන්න සෙල්ලම් සේරම දාලා නටනවා.. අර සුද්දා මාමත් ආවා ලගට. එයත් දැන් වීඩියෝ කරනවා. දැන් අපි හිනාවෙලා එහෙම අදුරන්වත් නේ. දැන් එයා ඒ රටට ගිහිල්ලත් වීඩියෝ එක පෙන්නන ගමන් කියයි නේ මන් ගැන. ඒ මනුස්සයාගෙ නම්බුවත් රකින්න එපැයි කියලා මන් ඉතින් තව අගර දගර දාලා රෙදි මිරිකනවා වගේ වම දකුනු මාරු කර කර නටනවා. ඇත්තම කීවොත් දැන් ඇගත් කකියනවා මගේ. එහෙමයි කියලා බෑ නේ. නටනකොට මූනෙ හිනාව තියෙන්න ඕනා. 6 වසරෙ නැටුම් පීරියඩ් එකේදි එහෙමයි කීවේ. බුම්මගෙන නටන්න එපා කීවා.
ඉතින් කමක් නෑ කියලා දාඩිය දාගෙන තව වටයක් ඇබරෙන්න කියනකොටම එක පාර දෙතුන් දෙනෙක් එස්කියුස් මී කිය කියා මට අයින් වෙන්න කීවා. කොටින්ම මගෙ ඩාන්ස් එක විඩියො කරපු අපේ මලයත් “” අපෝ අක්කෙ අයින් වෙනවකො කියලා මාව පැත්තකට කරාමයි දැක්කෙ මට පිටිපස්සෙන් එකෙක් ඉදගෙන ගැඩවිලෙක් වගෙ බිම දිගේ යනව. ඊටපස්සෙ එකපාර පිම්මක් අරගෙන ආයෙ හිටගන්නවා. ආයෙ විදුරු පිහිනවා වගේ මොකක්ද කරනවා. ආයෙ කෙලින් හිටගන්නවා. ඊටපස්සෙ බඹර චක්කර පත්තු කරලා බල්ලෝ චූ කරනවා වගෙ කකුලක් දික්කරගෙන වටේටම කැරකෙනවා… ආයේ බිම…ටම පත් වෙලා පොළෙවෙ හොම්බ වදින්න ඔන්න මෙන්න තියද්දි කෙලින් හිටගන්නවා. වටේම එවුන් ඌට හුරේ දදා විඩියෝ කරනවා. අනේ උන්ගේ නැටුම්! ඌ වගේද මගෙ ඩාන්ස්! මන් ඩාන්ස් කරේ ලාලිත්‍යට සුකුමාල විදියට.
ඔය සුකු මාලේ බෙල්ල වටේ එතිලා වද මාලේ වෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ හැබැයි. අර දගර වලිග ඩාන්ස් එක ඉවර උනාට පස්සෙ හැමෝම එයාට අත්පුඩි ගහලා තම තමන්ගේ ලෝකවල ආයෙ හිතුමතේ නටන්න පටන් ගත්තා. සුද්දා මාමයි ඒ නැන්දයිත් අපි ලගම නටනවා.
දැන් ඉතින් අපි ආයෙත් නටනවා… ටකර ටකර ටකර ටකං ටං ටං.. වෙරලේ මුහුදු රැල්ලේ… කන්දේ ඈත නිල්ලේ.. පොඩි ළමයි අතින් අත අල්ලා දුවන්නා කිය කියා අපිත් දැන් රැල්ල වගේ වැනිලා කන්ද වගේ හිටගෙන නිල්ල වගේ පැද්දි පැද්දී… මදුරුවන්ට මොටීන් පොවලා වගේ එලෝ මෙලෝ සිහියක් නැතුව නටනවා.. සින්දුවෙන් සින්දුවට තාල අල්ලනවා..
ඊලග සින්දුව පටන් ගත්තා.. දැන් ෆන් එක උපරිමයි…
ඈ නීල වරල පීරලා… කියනකොට ඉතින් මාත් මගේ වරලස අරගෙන ඉස්සරහට දාගෙන ආයෙ නටනවා.
ඈ යන ගමන හැඩ වෙලා… කියනකොට මාත් ඉතින් අඩි දෙකක් ඉස්සරහට තියන්න ගියා තමයි.. මගෙ සෙරප්පුව අස්සෙ මොකක් හරි හිර වෙලා මාව බැලන්ස් නැතුව ගියා කියලා තේරුනා.
“” ගම්මානෙ මිහිරියාව ගමම එලිකලා “” කියනකොටම එහාටද මෙහාටද කොහාටද කියලා හිතාගන්න බැරුව හද ගාවින් ගියපු වල්ගාතරුව වගෙ පුස්! ගාලා මාව වැටෙන්න ගියා.. මාත් ඉතින් ඔය සෙනග ගොඩේ එහෙම කඩා වැටෙන්න බැරි හින්දා පුළුවන් උපරිම ගැම්ම දාලා ලග තිබ්බ එකක එල්ලුනා. අර ගිලෙන්න යන එකාට පිදුරු ගහක් හරි කමක් නෑ කියනවානෙ එල්ලෙන්න. ඒ වගේ මාත් අහු උනු එකක එල්ලුනා තමයි එල්ලිල්ලක්….
“”” පුන්සද රැස් කැලුම්… විහිදන්න් පටන් ගත්තා අර සෙනග මැද්දේ…
ඒ වෙලාවෙ තමයි මන් දැනගත්තේ නිකන් වල්ගාතරුවක් නෙවෙයි එහෙම් පිටින්ම ගැලැක්සියක්ම මන් බිමට ඇදලා දාලා නේද දෙයියනේ කියලා..
මොකද පින්වතුනි… අර සාංසාරික පතාගෙන ආව සුදු මාමගෙ සරමෙ තමයි මන් එල්ලිලා තිබ්බේ.. සුද්දා හිටන් සරම කඩන්!
මොනා කරන්නද..
“” ඈ සුර දෙව්ලියක් වෙලා.. සුසුම් නටයි පවන් සල සලා…”” කියනකොට,
වෙරලේ වැලි ටික ගස ගසා මාත් නැගිටලා අර සාන්ත වගේ හිනාවෙලා සුද්දා මාමට සොරි කීවා.
අවුලක් නෑ සුද්දා යටට සූට්ටන් කොට කලිසන් කෑල්ලක් ඇදලා හිටියේ.
කැත කමෙන්ට් දාන්න ඔට්ටු නෑ ඕන්…….
* ඉල්ලංකනසිංහ *